Mind Map Management

Mind Map Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Map Management, Management Service, Colombo.

14/07/2026
ඩෙංගු......................................ඩෙංගු යනු මදුරුවාගේ ප්‍රශ්නයක් නොවේ. එය අපගේ මනස, සංස්කෘතිය සහ බල සම්බන්ධතා න...
12/07/2026

ඩෙංගු......................................

ඩෙංගු යනු මදුරුවාගේ ප්‍රශ්නයක් නොවේ. එය අපගේ මනස, සංස්කෘතිය සහ බල සම්බන්ධතා නිර්මාණය කළ රෝගයකි.
ඩෙංගු වසංගතය නැවත හිස ඔසවයි. සෑම වසරකම අපි මදුරුවන්ට යුද්ධ ප්‍රකාශ කරමු. ධූමකරණය කරමු. දඩ ගසමු. දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමු. එහෙත් ප්‍රශ්නය නැවත පැමිණෙයි.
පශ්චාත්-නූතන මනෝවිද්‍යාව අපෙන් අසන ප්‍රශ්නය වෙනස්ය.
"ඇත්තටම අපි සටන් කරන්නේ මදුරුවා සමඟද, නැත්නම් අප විසින්ම නිර්මාණය කළ ජීවන රටාව සමඟද?"
අප සවිඥානිකව (Consciously) පවසන්නේ, "ඩෙංගු වළක්වමු. පරිසරය පිරිසිදු කරමු."
නමුත් අපගේ අවිඥානික (Unconscious) සමාජ හැසිරීම් පවසන්නේ, "මෙය මගේ වගකීමක් නොවේ." "කවුරු හරි එයි, පිරිසිදු කරයි." "අද නොකළත් කමක් නැහැ."
මෙය පුද්ගලයාගේ පමණක් අසාර්ථකත්වයක් නොවේ. මෙය සංස්කෘතිය, දේශපාලනය, නාගරීකරණය, පරිභෝජනවාදය සහ වගකීම් බෙදාහැරීමේ ආකාරය විසින් නිර්මාණය කරන ලද මනෝවිද්‍යාත්මක ව්‍යුහයකි.
පශ්චාත්-නූතන චින්තනය පෙන්වා දෙන්නේ "වගකීම" පවා ස්ථාවර සත්‍යයක් නොව, සමාජය විසින් නිර්මාණය කරන කථාවක් (Narrative) බවයි. එබැවින් "ඩෙංගු මර්දනය" යනු වෛද්‍ය ක්‍රියාවලියක් පමණක් නොව, සමාජය තමන් ගැන ලියන කතාව නැවත ලිවීමකි.
අද මිනිසා ස්වභාවධර්මය පාලනය කළ හැකි බව විශ්වාස කරයි. නමුත් ස්වභාවධර්මය නැවත නැවතත් අපට මතක් කර දෙන්නේ, අප එහි හිමිකරුවන් නොව, එහි කොටසක් බවයි.
ඩෙංගු මදුරුවා බෝ වන්නේ කුණු ගොඩවල පමණක් නොවේ. එය බෝ වන්නේ අපගේ උදාසීනත්වයේ, අනෙකාට වගකීම පවරන සංස්කෘතියේ, පාරිසරික විරසකත්වයේ සහ "මම නොව අප" යන සමාජ සම්බන්ධතාව බිඳ වැටීමේ හිඩැස් තුළය.
ඩෙංගු නතර කිරීමට පෙර අප නැවැත්විය යුත්තේ මදුරුවා නොව, පරිසරයෙන් වෙන් වූ මිනිසා නිර්මාණය කරන එම මානසිකත්වයයි.
පශ්චාත්-නූතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ රෝගය සොයන්නට පෙර, රෝගය නිර්මාණය කරන කතාව සොයන්න කියාය.
=චන්දන ඒකනායක=
Psychology | Postmodern Psychology | Social Analysis

ගංජා,කුඩු,ගුළි සහ අරක්කු......................"සිහිය" යනු ඇත්තක්ද? නැත්නම් සමාජය විසින් ගොඩනැගූ තවත් කතාවක්ද?ලංකාවේ පමණක...
10/07/2026

ගංජා,කුඩු,ගුළි සහ අරක්කු......................

"සිහිය" යනු ඇත්තක්ද? නැත්නම් සමාජය විසින් ගොඩනැගූ තවත් කතාවක්ද?
ලංකාවේ පමණක් නොව, ලෝකයේම මිලියන ගණනක් මිනිසුන් මේ මොහොතේ මත්පැන්, ගංජා, අයිස්, හෙරොයින්, පෙති, මදන මෝදක හෝ වෙනත් මත්කාරක ද්‍රව්‍යවල බලපෑමෙන් මත්වී සිටිති. ප්‍රශ්නය වන්නේ ඔවුන් "නරක" මිනිසුන් වීම නොවේ. ඇත්ත ප්‍රශ්නය වන්නේ ඇයි මිනිසාට සිහියෙන් සිටීම ප්‍රමාණවත් නොවන්නේ? කියන එකයි.
පරිණාමීය මනෝවිද්‍යාව පවසන්නේ මිනිස් මොළය නිර්මාණය වී ඇත්තේ අද පවතින ලෝකය සඳහා නොව, දස දහස් ගණනක් වසර පැරණි පරිසරයක ජීවත් වීමට බවයි. එකී මොළය නවකත්වය,ත්‍යාගය, උද්දීපනය සහ වේදනාවෙන් ගැලවීම සොයයි. මත්ද්‍රව්‍ය එම පරිණාමීය පද්ධති කෙටි මාර්ගයකින් අල්ලා ගනී. එය ස්වභාවික ත්‍යාග පද්ධතිය හොරකම් කරන ක්‍රමයකි.
නමුත් පශ්චාත්-නූතන මනෝවිද්‍යාව තවත් ගැඹුරු ප්‍රශ්නයක් අසයි.
"මත් වීම" පමණක් රෝගයක් නම්, බලය, මුදල්, ජාතිවාදය, ආගම, ජාතිකත්වය, සමාජ මාධ්‍ය, පරිභෝජනය සහ ප්‍රසිද්ධියට ඇබ්බැහි වීම "සිහිය" ලෙස හඳුන්වන්නේ ඇයි?
Michel Foucault පෙන්වා දුන්නේ "සාමාන්‍ය" සහ "අසාමාන්‍ය" යන සීමා ස්වභාවධර්මය විසින් නොව, බලය දරන ආයතන විසින් නිර්මාණය කරන බවයි. එවිට "සිහිය" යනු ද ජීව විද්‍යාත්මක සත්‍යයක් පමණක් නොව, සමාජයක් විසින් පිළිගත් විනයක නාමය විය හැකිය.
Jacques Derrida අනුව, "සිහිය/මත් වීම" යන ද්වන්දවය පවා ස්ථාවර නොවේ. එක් සංස්කෘතියක සාමාන්‍ය දෙය තවත් සංස්කෘතියක අසාමාන්‍ය විය හැකිය. එබැවින් "සිහිය" යන්නට එක් සදාකාලික අර්ථයක් නොමැත.
Jean Baudrillard පවසන පරිදි, නූතන මිනිසා මත් වී සිටින්නේ රසායනික ද්‍රව්‍යවලින් පමණක් නොවේ. ඔහු රූපවලින්, වෙළඳ දැන්වීම්වලින්, සමාජ මාධ්‍යවලින්, වෙළඳ නාමවලින් සහ අතථ්‍ය ජීවිතවලින් ද මත් වී සිටියි. එවිට මත්ද්‍රව්‍ය යනු ඇබ්බැහියේ එකම ස්වරූපය නොව, එහි එක් ප්‍රකාශනයක් පමණි.
අද අප "සිහිය" ලෙස හඳුන්වන්නේ කුමක්ද? උදේ සිට රාත්‍රිය දක්වා වැඩ කිරීම? ණය ගෙවීමට ජීවත් වීම? අන් අයගේ අනුමැතිය වෙනුවෙන් සමාජ මාධ්‍යවල ජීවිතය රඟ දැක්වීම? එසේ නම්, අපි සැබවින්ම සිහියෙන්ද? නැත්නම් සමාජය විසින් පිළිගත් තවත් මත්වීමකද?
එබැවින් පශ්චාත්-නූතන විග්‍රහය මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීකරණය නොකරයි. ඒ වෙනුවට එය අපෙන් අසන්නේ තවත් අපහසු ප්‍රශ්නයකි.
"මිනිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබේද, නැත්නම් මුළු සංස්කෘතියම විවිධ ආකාරයේ ඇබ්බැහිවීම් මත ගොඩනැගී තිබේද?"
සමහර විට ප්‍රශ්නය "මිනිසා ඇයි මත් වන්නේ?" යන්න නොව, "අද ලෝකයේ සිහියෙන් සිටීම ඇත්තෙන්ම පහසුද?" යන්න විය හැකිය.
=චන්දන ඒකනායක =

ලාංකික වමේ අනන්‍ය වීම සහ ධනවාදයේ සංකේතීය ජයග්‍රහණය ධනවාදයේ අවසාන ජයග්‍රහණය වන්නේ වාමාංශිකයා පරාජය කිරීම නොවේ. වාමාංශිකයා...
05/07/2026

ලාංකික වමේ අනන්‍ය වීම සහ ධනවාදයේ සංකේතීය ජයග්‍රහණය
ධනවාදයේ අවසාන ජයග්‍රහණය වන්නේ වාමාංශිකයා පරාජය කිරීම නොවේ. වාමාංශිකයාගේ මනෝභාවය ධනවාදී උපකරණ මගින් ප්‍රතිනිර්මාණය කිරීමයි.
ධනවාදය ඔබව ඝාතනය කරන්නේ නැත. එය විසින්
ඔබව සිරගත කරන්නේත් නැත.
ඔබට වධ දෙන්නේත් නැත.
එය ඊට වඩා ආක්‍රමණශීලීය,සූක්ශම ලෙස බුද්ධ්මත්ය.
එය ඔබේ ආශාව නැවත ලියයි.
ඔබේ සිහිනය නැවත නිර්මාණය කරයි.
ඔබේ විප්ලවය පවා තම භාෂාවෙන් නැවත පරිවර්තනය කරයි.
ශ්‍රී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ධනවාදයට එරෙහි අඛණ්ඩ සටනක නිරත වන බව පෙනේ.
නමුත් ඔවුන්ගේ මනස තුළ සාර්ථකත්වයේ නිර්වචනය ලියන්නේ කවුද?
සුඛෝපභෝගී ජීවිතයක්.
ජාත්‍යන්තර සංචාර.
Social Media Visibility.
Luxury Coffee Culture.
Personal Brand.
Influencer Status.
මේ සියල්ලම නිර්මාණය කළේ කවුද?
ධනවාදයේ ආක්‍යානයන්‍යය.
සටන් පාඨය පමණක් රතු වූ පමණින් මනෝභාවයන් අනුකූල හැඩය නිර්මාණය කරන්නේ නැත.
අද බොහෝ දෙනෙක් ධනවාදය විවේචනය කරන්නේත් ධනවාදය විසින් ප්‍රතිශ්ථාපිත භාෂාවෙන්මය.
ඔවුන් පද්ධතියට එරෙහිව කෑගසන්නේ ඔවුන්ද
පද්ධතිය විසින් නිර්මාණය කළ සාර්ථකත්වයම හඹා යන බව නොදැනය.
ඔවුන් පරිභෝජනය විවේචනය කරයි.
නමුත් ඔවුන් තම අනන්‍යතාව ගොඩනඟන්නේ පරිභෝජනයෙන්ම බව නිදනී.
ඔවුන් නිදහස ගැන කතා කරයි.
නමුත් තම වටිනාකම මනින්නේ Likes, Shares සහ Followers ගණනින් බව නොදනී.
මෙය පාවාදීමක් නොවේ.
මෙය බලයේ නව ස්වරූපයයි.
පැරණි අධිපතීත්වය ඔබේ ශරීරය පාලනය කළේය.
නූතන අධිපතීත්වය ඔබේ මනස(Subconscious) නිෂ්පාදනය කරයි.
ඔබ හිතන්නේ ඔබ තෝරාගත් ජීවිතයක් , ඔබ විසින් සැලසුම් කරන ලද ජීවිතයක් ගත කරනවා කියලා.
ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ වෙළඳපොළ ඔබ වෙනුවෙන් තෝරා දුන් සිහිනයක.
ඔබ හිතන්නේ ඔබ විප්ලවවාදියෙක් කියලා.
සමහරවිට ඔබ වෙළඳපොළේ තවත් Brand එකක් පමණි.
ධනවාදය භාණ්ඩ විකුණන යුගය අවසන් වී බොහෝ කල්ය.
අද එය විකුණන්නේ අනන්‍යතා.
එය විකුණන්නේ විරෝධය.
එය විකුණන්නේ කැරැල්ල.
අවසානයේ එය විකුණන්නේ විප්ලවය.
ඒ නිසා ප්‍රශ්නය වාමාංශිකයා ගැන නොවේ.
ප්‍රශ්නය අප සැම ගැනයි.
අපගේ සිහිනය අපේමද?
නැත්නම් එය වෙළඳපොළ අප තුළ රෝපණය කළ ආශාවක්ද?
මෙම ප්‍රශ්නය අසන තැන සිටම සැබෑ විප්ලවය ආරම්භ වේ.
මන්ද පද්ධතිය පෙරළීමට පෙර,පද්ධතිය ඔබේ මනස තුළ ගොඩනඟා ඇති අධිරාජ්‍යය පෙරළිය යුතුය.
=චන්දන ඒකනායක =

කාලි අම්මා මියගොස් නැත. ඇය Algorithm එකක් බවට පුනර්ජීවනය වී ඇත.අප දැනගත යුත්තේ  මිනිසුන්ගේ වේදනාවට ස්ථාවර සත්‍යයක් නොමැත...
23/06/2026

කාලි අම්මා මියගොස් නැත. ඇය Algorithm එකක් බවට පුනර්ජීවනය වී ඇත.
අප දැනගත යුත්තේ මිනිසුන්ගේ වේදනාවට ස්ථාවර සත්‍යයක් නොමැති බවයි. අප ජීවත් වන්නේ සත්‍ය තුළ නොව, සත්‍ය නිපදවන කතාන්දර (narratives) තුළය.
එදා පීඩාවට පත් වූ කාන්තාවට තම සැමියාගේ බලයට සෘජුව අභියෝග කිරීමට සංස්කෘතික අවසරයක් නොතිබුණි. එවැනි සමාජයක ඇය ප්‍රතිරෝධය නිෂ්පාදනය කළේ "තමා" ලෙස නොව, "දේවිය" (සංස්කෘතික උපකරණ ) ලෙසය. කාලි අම්මා යනු අද්භූත අත්දැකීමකට වඩා, බල අසමතුලිතතාවය තාවකාලිකව ප්‍රතිව්‍යුහගත කළ සංස්කෘතික උපකරණයක් (cultural technology) විය හැකිය.
එය රෝගයක්ද?
නැත.
එය බොරුවක්ද?
එසේද නැත.
එය බලය නැවත සාකච්ඡාවට ගෙන ආ සමාජ රංගනයක් (social performance) හෝ සමාජ කථිකාවක්(social discourse)විය හැකිය.
අද අපි ජීවත් වන්නේ වෙනස් යුගයකය.
කාන්තාවට දේවාලයට යාම අවශ්‍ය නැත.
බෙර හඬ අවශ්‍ය නැත.
හෙවිසි අවශ්‍ය නැත.
ඇයට අවශ්‍ය වන්නේ Wi-Fi සම්බන්ධතාවයක් පමණි.
එදා දේවතාවියන් විසින් ඉටු කළ කාර්යයේ කොටසක් අද platform capitalism විසින් අත්පත් කරගෙන ඇත.
එදා පීඩාව කාන්දුවූයේ දේවාලයටය.
අද පීඩාව කාන්දුවන්නේ News Feed එකටය.
එදා සාක්ෂිකරුවන් වූයේ ගමේ මිනිසුන්ය.
අද සාක්ෂිකරුවන් වන්නේ followers ලාය.
එදා බෙරකරුවන් රිද්මය පාලනය කළහ.
අද algorithm එක අපගේ හැඟීම්වල රිද්මය පාලනය කරයි.
පශ්චාත්-නූතන අදහසක් අනුව මිනිසා තම වේදනාවෙන් නිදහස් වී නැත.
ඔහු තම වේදනාව rebrand කරගෙන ඇත.
ඇය තම ප්‍රතිරෝධය digitize කරගෙන ඇත.
සමාජය තම පාලන ක්‍රමය update කරගෙන ඇත.
අපි තවදුරටත් දේවතාවියන්ගේ යුගයක ජීවත් නොවෙමු.
අපි datafication වූ හැඟීම්වල යුගයක ජීවත් වෙමු.
අවසානයේ අසන්නට ඇත්තේ එක ප්‍රශ්නයකි.
කාලි අම්මා අතුරුදන් වුණාද?
නැත.
අපේ collective unconscious එක cloud server එකකට upload වී තිබේද?
චන්දන ඒකනායක
ජේෂ්ට මනෝචිකිත්සක.

Father's Day -මියගිය  තාත්තාගෙන් ලියුමක්."පුතේ,අද Father's Day කියලා මාව මතක් කරලා දුක් වෙන්න එපා.ඔයා පොඩි කාලේ මම ඔයාට ...
21/06/2026

Father's Day -මියගිය තාත්තාගෙන් ලියුමක්.
"පුතේ,
අද Father's Day කියලා මාව මතක් කරලා දුක් වෙන්න එපා.
ඔයා පොඩි කාලේ මම ඔයාට ආදරය, ආරක්ෂාව සහ සෙනෙහස දුන්නා. ඒක මගේ යුතුකමක්. හැබැයි මගේ ලොකුම තෑග්ග ඒක නෙවෙයි.
ඔයාටවත් නොදැනෙන්න මම ඔයාට තව දෙයක් ඉගැන්නුවා. මේ ලෝකය තේරුම් ගන්න විදිය.
මිනිසුන් හැමෝම හොඳ නැති බවත්, හැමෝම නරකත් නැති බවත්, ජීවිතය සාධාරණ වෙන්නම ඕනේ නැති බවත්, කඩා වැටෙන වෙලාවල නැවත නැගිටින්න ඕනේ බවත් මම ඔයාට ඉගැන්නුවා.
මම දැන් ඔයා ළඟ නැති එක ගැන කණගාටු වෙන්න එපා. මම නැති වුණා කියලා හිතන්නත් එපා.
මිනිසෙක් මිය යන්නේ ඔහුගේ ශරීරය විතරයි. ඔහු තවත් මිනිසෙකුගේ සිත තුළ ලෝකය කියවන ආකාරයක් බවට පත් වුණාම, ඔහු තවදුරටත් ජීවත් වෙනවා.
ඔයා ළඟ අදත් මම ඉන්නෙ ඒ විදියට.
පුතේ, මට කෘතගුණ සලකන්න ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මම දීපු ලෝක දැනුම භාවිත කරමින් මේ විෂම ලෝකය තේරුම් ගන්න. අනිත් අයව තේරුම් ගන්න. ජීවිතය නිමාවට පත් වෙන දවස දක්වා ඔයාට නියම වුණු ගමන සම්පූර්ණ කරන්න.
අවසානයේ අපි නැවත හමුවෙමු.
තව දෙයක් මතක තියාගන්න.
වැඩිහිටි වෙනකොට ආදරය කියන්නේ කඳුළු පමණක් නෙවෙයි. ආදරය කියන්නේ ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන එක.
පශ්චාත්-නූතන ලෝකයක පියෙකුගේ සැබෑ උරුමය වන්නේ දේපළ නොවෙයි. ඔහු දරුවා තුළ ගොඩනඟා දුන් ලෝක දැක්මයි.
ඒ නිසා මට ආදරය කරන්න නම් දුකෙන් ජීවත් වෙන්න එපා. මාව සදාකාලික කරන්නේ මාව මතක් කරන කඳුළු නෙවෙයි. මම ඔයා තුළ ඉතිරි කරලා ගිය දැනුම භාවිත කරන හැම මොහොතක්මයි.
එදාට ඔයාට තේරෙයි...
ඔයා මට ආදරය කරන්නේ හැඟීම්වලට වඩා තර්කයෙන්, අවබෝධයෙන් සහ ජීවිතය කියවීමේ හැකියාවෙන් කියලා.
ඒක තමයි පියෙකුට දිය හැකි ඉහළම ගෞරවය."
මීට ආදරණීය තාත්තා.

❤️

විශ්ව ආකර්ශන නීතිය.Law of Attraction : ස්වභාවධර්මය අපට ප්‍රතිචාර දෙනවාද, නැත්නම් අපගේ අවිඥානික වරදකාරී හැඟීම අපටම ප්‍රති...
16/06/2026

විශ්ව ආකර්ශන නීතිය.
Law of Attraction : ස්වභාවධර්මය අපට ප්‍රතිචාර දෙනවාද, නැත්නම් අපගේ අවිඥානික වරදකාරී හැඟීම අපටම ප්‍රතිචාර දෙනවාද?
21 වන සියවසේ මිනිසා අමුතු සත්වයෙකි.
ඔහු ස්වභාවධර්මය විනාශ කරමින් සිටින අතරම, ස්වභාවධර්මය සමඟ ඒකාත්මික වීම ගැන දේශනා කරයි.ඔහු ගස් කපා දමයි. ඉන්පසුව meditation retreat එකකට යයි.ඔහු ගංගා දූෂණය කරයි. ඉන්පසුව water energy ගැන කතා කරයි.
ඔහු මිනිස් සබඳතා වෙළඳ භාණ්ඩ බවට පත් කරයි. ඉන්පසුව universe එකෙන් ආදරය ඉල්ලයි.
මේක පරස්පර විරෝධයක් නොවෙයි.මේක late modern civilisation එකේ අවිඥානික ආරක්ෂණ යාන්ත්‍රණයකි.
පශ්චාත්-නූතන මනෝවිද්‍යාව අපට උගන්වන්නේ, මිනිසා යථාර්ථය තුළ ජීවත් නොවන බවයි. ඔහු ජීවත් වන්නේ තමන් විසින් නිර්මාණය කළ සංකේත (symbols), කතාන්දර (narratives) සහ භාෂා ලෝක (discourses) තුළයි.
එබැවින් අද 'Universe' කියන වචනය පවා අහස ගැන නොවෙයි.එය අහිමි වූ සම්බන්ධතාවය සඳහා භාවිත කරන සංස්කෘතික ප්‍රතිස්ථාපකයකි.
Michel Foucault අපට මතක් කර දෙන්නේ,
සමාජය පාලනය වෙන්නේ බලහත්කාරයෙන් පමණක් නොව, සත්‍යයන් නිෂ්පාදනය කිරීමෙන් කියලා.
ඒ අනුව අද අලුත් සත්‍යයක් නිෂ්පාදනය වී තිබෙනවා.
"ඔබේ ජීවිතයේ සෑම දෙයකටම වගකිව යුත්තේ ඔබේ vibration එකයි."
මෙය බලගැන්වීමක් වගේ පේනවා.නමුත් සමහරවිට මෙය අලුත් පාලන තාක්ෂණයක්.
දරිද්‍රතාවය පද්ධතියේ (system)වරදක් නොවෙයි.
ඔබ manifestation කළේ නැති නිසා.තනිකම සමාජ බිඳවැටීමක් නොවෙයි.
ඔබ energy align කළේ නැති නිසා.අසාර්ථකත්වය ආර්ථික අසමානතාවයක් නොවෙයි.
ඔබ universe එකට වැරදි සංඥා යැවූ නිසා.
බලන්න.
සමාජ ගැටලු පෞද්ගලික ආත්මීය වගකීම් බවට පරිවර්තනය වී තිබෙනවා.
Jean Baudrillard කියන සංකල්පයකට අනුව, අපි දැන් ජීවත් වන්නේ සත්‍යය තුළ නොව, සත්‍යය අනුකරණය කරන ලෝකයක (hyperreality) ය.ඒ නිසාම අද අපිට ඇත්ත ස්වභාවධර්මය අවශ්‍ය නැහැ.
අපිට අවශ්‍ය වෙන්නේ එහි Instagram සංස්කරණයයි.
අපිට කැලෑවක් අවශ්‍ය නැහැ.
Forest bathing workshop එකක් ඇති.අපිට සමාජයක් අවශ්‍ය නැහැ.Positive energy community එකක් ඇති.අපිට විප්ලවයක් අවශ්‍ය නැහැ.
Vision board එකක් ඇති.
අපි ස්වභාවධර්මය බේරා ගත්තේ නැහැ.අපි එහි සංකේතය පරිභෝජනය කරනවා.
Slavoj Žižek කියන අදහසකට ආසන්නව කියනවා නම්, නූතන මිනිසාට සත්‍යය අවශ්‍ය නැහැ.ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ කාංසාව සමඟ ජීවත් වීමට උපකාර කරන අලුත් මිථ්‍යාවක්.
Byung-Chul Han කියන පරිදි, අපි දැන් පීඩනයට ලක් කරන සමාජයක නොව, අපම අපව පීඩනයට ලක් කරන සමාජයක ජීවත් වෙනවා.
ඒ නිසා අද අපි අහන්නේ,
"කවුද මාව විනාශ කළේ?"
කියලා.නොවෙයි."මගේvibratin එකේවැරැද්දමොකක්ද?"කියලාසමහරවිට Law of Attraction කියන්නේ විශ්වයේ නීතියක් නොවෙයි.එය අපගේ collective ecological grief එකට, existential loneliness එකට සහ late capitalist alienation එකට දාපු ලස්සන නමක්.
විශ්වය අප සමඟ කතාකරන්නේ නැහැ.
අප විසින්ම නිහඬ කර දැමූ ස්වභාවධර්මය තවමත් අපේ ඇතුළත කතා කරනවා.
අපි සොයන්නේ විශ්වය නොවෙයි.අපි සොයන්නේ අප විසින්ම අහිමි කරගත්'ගෙදර'යි.
චන්දන ඒකනායක
(Senior Psychologist)

ආගමික වීරයන්ගේ මරණය සහ නව මිථ්‍යාවන්ගේ උපතආගමික නායකයන්ට තිබූ සමාජ බලය සහ පූජනීයත්වය ක්‍රමයෙන් දිය වී යමින් පවතින බව පෙන...
12/06/2026

ආගමික වීරයන්ගේ මරණය සහ නව මිථ්‍යාවන්ගේ උපත
ආගමික නායකයන්ට තිබූ සමාජ බලය සහ පූජනීයත්වය ක්‍රමයෙන් දිය වී යමින් පවතින බව පෙනේ. බොහෝ දෙනා එය සදාචාරයේ බිඳවැටීමක් ලෙස කියවති. නමුත් පශ්චාත්-නූතන දෘෂ්ටිකෝණයකින් බලන විට, මෙය සදාචාරයේ අර්බුදයක් නොව "මහා කතාන්දර" (Grand Narratives) බිඳවැටීමේ තවත් අවස්ථාවකි.
අතීත සමාජයන් තම බිය, අනාරක්ෂිතභාවය සහ අර්ථ සෙවීමේ වේදනාව ආගමික නායකයන් මත ප්‍රක්ෂේපණය කළහ. එවිට එම පුද්ගලයන් මිනිසුන් නොව, සංකේත බවට පත් විය. ඔවුන් සත්‍යය නියෝජනය කළේ නැත. ඔවුන් සමාජය සත්‍යය ලෙස විශ්වාස කිරීමට කැමති වූ කතාව නියෝජනය කළහ.
පරිණාමීය මනෝවිද්‍යාවට අනුව මිනිස් මොළය අර්ථය, පිළිවෙල සහ නායකත්වය සොයා යයි. එහෙත් පශ්චාත්-නූතනවාදය අපට මතක් කරන්නේ "සත්‍යය" යනු බොහෝ විට බලය විසින් නිෂ්පාදනය කරන ලද කතිකාවක් (discourse) බවයි.
එබැවින් ආගමික වීරයන් බිඳ වැටෙන්නේ ඔවුන් දූෂිත වූ නිසා පමණක් නොවේ. ඔවුන් වටා ගොඩනැගුණු කතිකාව තවදුරටත් සමාජය විසින් විශ්වාස නොකරන නිසාය.
අද මිනිසා ආගමික වීරයන්ගෙන් නිදහස් වී ඇතැයි සිතයි. නමුත් ඔහු වීරයන්ගෙන් නිදහස් වී නැත. ඔහු වීරයන්ගේ වෙළෙඳපොළ පමණක් වෙනස් කර ඇත.
ඊයේ දේවමාළිගාවේ සිටි ගැලවුම්කරුවා අද YouTube නාලිකාවක සිටී. ඊයේ පූජාසනය මත සිටි ප්‍රාමාණිකත්වය අද Followers ගණනින් මනිනු ලැබේ. ඊයේ ආගමික අධිකාරියක් වූ දේ අද Algorithm එකක් වී ඇත.
ආගමික වීරයා මියගොස් නැත. ඔහු Influencer කෙනෙකු ලෙස නැවත උපත ලබා ඇත.
පශ්චාත්-නූතන සමාජයේ විශාලතම මායාව වන්නේ අපි මිථ්‍යාවන්ගෙන් නිදහස් වී ඇතැයි සිතීමයි. සැබවින්ම සිදුවී ඇත්තේ පැරණි මිථ්‍යාවන් වෙනුවට නව මිථ්‍යාවන් ආදේශ වීම පමණි.
ඒ නිසා ප්‍රශ්නය "ආගමික වීරයන් කොහේ ගියාද?" යන්න නොවේ.
ප්‍රශ්නය වන්නේ "අපගේ අර්ථ පිපාසය, ගැලවීමේ පිපාසය සහ අනුගමනය කිරීමේ පිපාසය අද කුමන නව සංකේත තුළ සැඟවී ඇත්ද?" යන්නයි.
සමහරවිට වීරයන්ගේ මරණය සිදුවී නැත.
සිදුවී ඇත්තේ වීරයාගේ වෙස් මුහුණ මාරු වීම පමණි.
චන්දන ඒකනායක
මනෝචිකිත්සක.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Map Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share