18/12/2025
EV එකක් ගන්න කලින් කියවන්නම ඕන ඇත්ත කතාව
EV (Electric Vehicles) කියන්නේ නරක වාහන ජාතියක් නෙවෙයි.
නමුත් Petrol හෝ Diesel වාහන වලට වඩා මේවා තාක්ෂණිකව ගොඩක් වෙනස්.
ඒ නිසා EV එකක් ගන්න කලින් මේ තිත්ත ඇත්ත (Hard Facts) ටික පිළිගන්න ඔබ ලෑස්ති වෙන්න ඕන.
ඔබට මේ කාරණා ගැන ගැටළුවක් නැත්නම්, EV එකක් කියන්නේ ඔබට හොඳ තේරීමක්.
නමුත් එහෙම නැත්නම්, මේ තීරණය ගැන පස්සේ ඔබ නිහඬව දුක් වෙන්න ඉඩ තියෙනවා.
පළමු ඇත්ත: EV එකක් කියන්නේ ආයෝජනයක් (Financial Asset) නෙවෙයි.
ලංකාවේ අපිට පුරුදු, ගත්ත වාහනේ විකුණද්දී ලාභයක් ගන්න හෝ ගත්ත ගානටම දෙන්න. ආනයන සීමා සහ යන්ත්‍රවල කල් පැවැත්ම නිසා ඉන්ධන වාහන වලට ඒක වලංගු වුනා. නමුත් EV වලට තාම ඒක අදාළ නෑ. බැටරි හෙල්ත් එක (Battery health) පිටතට පේන්නේ නැති නිසා සහ බැටරි මාරු කරන වියදම ගැන බියක් තියෙන නිසා, හොඳටම තියෙන EV එකක වුනත් Second hand market එකේදී වටිනාකම වේගයෙන් අඩුවෙන්න පුළුවන්.
දෙවන ඇත්ත: තාක්ෂණය ඉතා වේගයෙන් පරණ වෙනවා (Outdated fast).
බැටරි තාක්ෂණය, Charging වේගය සහ Electronics දියුණු වෙන්නේ හිතාගන්න බැරි වේගයකින්. අද අලුත්ම තාක්ෂණය කියලා හිතෙන වාහනයක් අවුරුදු දෙක තුනකින් පරණ මොඩල් එකක් වෙන්න පුළුවන්. Software updates වලින් යම් සහනයක් ලැබුනත්, හාඩ්වෙයාර් වෙනස් කරන්න බැහැ. "අලුත්ම වාහනය" පදින්න ආස කෙනෙක් නම්, මේ ඉක්මන් වෙනස් වීම බාරගන්න වෙනවා.
තුන්වන ඇත්ත: පොතේ තියෙන Range එක පාරේදී ලැබෙන්නේ නැහැ.
Brochure එකේ තියෙන Range එක ලැබෙන්නේ පාලිත තත්ත්වයන් යටතේ විතරයි. ලංකාවේ පාරවල් වල Traffic එක, රස්නය, කඳු සහ විශේෂයෙන්ම අපි පාවිච්චි කරන AC එක Range එකට කෙලින්ම බලපානවා. වේගයෙන් යද්දී වායු ප්‍රතිරෝධය (Drag) නිසා බැටරිය බහින වේගය වැඩියි. ගමනක් සැලසුම් නොකර ගියොත් මගදී කරදරේ වැටෙන්න (Range anxiety) ඉඩ තියෙනවා.
හතරවන ඇත්ත: City එකට මරු, Highway එකට දුර්වලයි.
වාහන තදබදයේදී Regenerative braking නිසා EV ඉතා කාර්යක්ෂමයි. නමුත් අධිවේගී මාර්ගවල දිගටම යනකොට බැටරිය ඉක්මනින් බහිනවා. Petrol වාහන වැඩ කරන්නේ මේකේ අනිත් පැත්තට. ඔබ නිතරම දුර ගමන් හෝ Highway දුවන කෙනෙක් නම් මේ වෙනස බාරගන්න වෙනවා.
පස්වන ඇත්ත: මේකට විනයක් (Discipline) තියෙන්න ඕන.
EV එකක් පදින්න නම් ගෙදර 100% විශ්වාසවන්ත විදුලි සැපයුමක් සහ Charging පහසුකම් තියෙන්න ඕන. රෑට වාහනේ Charge කරන්න අමතක වුනොත් පහුවදා ගමනම අවුල් වෙනවා. තෙල් ගහගෙන යනවා වගේ Public charging තාම ලංකාවේ හැමතැනම නෑ. "නගිනවා - යනවා" (Refuel-and-go) පුරුද්ද EV එක්ක හරියන්නේ නෑ.
හයවන ඇත්ත: වාහනේ වටිනාම කොටස දවසින් දවස අඩු වෙනව
වාහනේ දවස් ගාණක් පැදවූවේ නැතත්, රසායනික හේතු මත බැටරිය දවසින් දවස පිරිහෙනවා (Degrade). අපේ රටේ රස්නය සහ Fast charging මේක තවත් වැඩි කරනවා. එන්ජිමක් වගේ අඩුවට අලුත්වැඩියා කරන්න බැහැ. මේ රිස්ක් එකට මානසිකව සහ මූල්‍යමය වශයෙන් ලෑස්ති වෙන්න ඕන.
හත්වන ඇත්ත: හදිසි අවස්ථාවලදී (Accidents/Floods) වැඩේ සංකීර්ණයි.
ගංවතුරක් හෝ අනතුරක් වුනොත් EV එකක් ගොඩගන්න එක සංකීර්ණයි. High-voltage පද්ධති නිසා විශේෂ පුහුණුවක් සහ Flatbed ට්‍රක් රථ අවශ්‍ය වෙනවා. මේවා හැමදාම වෙන දේවල් නෙවෙයි, නමුත් වුනොත් යන වියදම සහ කරදරය වැඩියි.
ඔබ දුර මනින්නේ කිලෝමීටර් වලින් නෙවෙයි, බැටරි ප්‍රතිශතයෙන් (Percentage). සමහරු මේ තාක්ෂණික පාලනයට කැමතියි. සමහරු මේ වදේට කැමති නෑ. ඔබ කැමති මොකටද කියන එක තේරුම් ගන්න.
මේ කියන්නේ EV ගන්න එපා කියලා නෙවෙයි.
මේක ඇත්ත ඇති සැටියෙන් දැකීමක් (Reality check).
ඔබ මේ කාරණා වලට ලෑස්ති නම්, EV එකක් කියන්නේ ඉතාම හොඳ, සැප පහසු වාහනයක්.