Ceyports Impex

Ceyports Impex Export Hub with local producers and suppliers

03/02/2022

ආනයන අපනයන ක්‍රියාවලිය 4 කොටස

දැන් අපි බලමු ආනයන අපනයන වෙලදාමටම සුවිශේෂි පැති කිහිපයක්.

ගෙවීම් ක්‍රම (payment terms)
අන්තර්ජාතික වෙලඳාම කරන විට, ඉම්පෝටර් විසින් එක්ස්පෝටර්ට මුදල් ගෙවිය යුතුයිනෙ. එහිදී ලංකාවෙත් ලෝකයෙත් යොදා ගැනෙන්නෙ අන්තර්ජාතිකව පිලිගන්වා මුදල් ඒකක වන ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්ටර්ලිං පවුන්ඩ්, ජපන් යෙන් වේ. මෙම මුදල් එවන ප්‍රධාන ක්‍රම 4ක් ඇත.

1. Advance payment
2. Letter of Credit (L/C)
3. Documentary Collection
4. Open account

ඇඩ්වාන්ස් පේමන්ට් ක්‍රමයේදි ආනයනකරු අපනයනකරු වෙත මුදල් එවනවා බඩු නැව්ගත කරන්නට පෙර. සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර මුදල් හුවමාරු කරන ක්‍රමවේදය වන Telegraphic Transfer (T/T) හෙවත් SWIFT MT103 ඔස්සේ කෙලින්ම ඔබේ බැංකු ගිනුමට සල්ලි ලැබෙනවා දවසක් දෙකක් තුල. බැංකු ගාස්තු ඉතාම අඩුවීම මෙහි ඇති තවත් වාසියක්. මෙම ක්‍රමය අපනයනකරුට ඉතාම ඉතා හොඳම ක්‍රමයයි මොකද බඩු නැවට පටවන්නට පෙරම මුදල් ඔබට ලැබෙන නිසා. ආනයනකරු මුදල් නොදී මගහැරයාම ඉන් වැලකේ. එහෙත් මෙම ක්‍රමය ආනයනකරුට ඉතාම අවදානම් ක්‍රමයයි මොකද සල්ලි යැව්වට පසු අපනයනකරු බඩු නොයවා සිටීම හෝ බාල බඩු යැවිය හැකියිනෙ. එනිසා ඉම්පෝටර් මෙම ක්‍රමයට අකමැතියි. ඉම්පෝටර් හා එක්ස්පෝටර් දෙදෙනා අතර හොඳ විශ්වායක් ඇති වුනාට පසු මේ ක්‍රමයට ගෙවීම් කල හැකියි.

මෙම ක්‍රමයට සපුරා ප්‍රතිවිරුද්ධ ක්‍රමය වන්නේ open account ක්‍රමයයි. එහිදී අපනයනකරු බඩු සියල්ල නැව්ගත කලාට පසු ඉම්පෝටර් විසින් ඒවා තම රට තුලදී ලබා ගත් පසු ඉම්පෝටර් විසින් ටීටී ක්‍රමයට එක්ස්පෝටර්ට සල්ලි එවනවා. ඉම්පෝටර්ට මෙම ක්‍රමය ඉතා ආරක්ෂිත වාසිදායක ක්‍රමය වුවත් එක්ස්පෝටර්ට එය ඉතාම අනාරක්ෂිතයි. එනිසා එක්ස්පෝටර් කෙනෙක් වශයෙන් කිසිම අවස්ථාවක ඔබ මෙම ක්‍රමයට එකඟ නොවන්න. පෙර සේම බැංකු ගාස්තු ඉතාම අඩුය.

ඇත්තටම ආනයනකරු හා අපනයනකරු අතර දැඩි විශ්වාසයක් සාමාන්‍යයෙන් අන්තර්ජාතික වෙලදාමෙහි නැත. එනිසා ඉහත ගෙවීම් ක්‍රම අඩුවෙන් භාවිතා වෙනවා. එහෙත් කාලයක් තිස්සේ ගනුදෙනු කරන විට සමහරවිට විශ්වාසය ගොඩ නැගී ඉහත ක්‍රම යොදාගන්නටත් හැකියි.

L/C
විශ්වාසය දෙන්නට දෙන්නට නැතිවිට භාවිතා කල හැකි හොදම ක්‍රමය වන්නේ L/C හෙවත් ණයවර ලිපි ක්‍රමයයි. මෙහිදී බැංකු ඔබ දෙදෙනා වෙනුවෙන් මැදිහත් වේ. සාමාන්‍යයෙන් බැංකු යනු විශ්වාසදායක පිරිසකි. ඉතිං බැංකුවක් තවත් බැංකුවක් විශ්වාස කරනවා. එනිසා, අානයනකරු තම රටේ බැංකුවක් තමා වෙනුවෙන් මැදිහත්කර ගන්නවා. එය සිදුවන්නෙ මෙහෙමයි.

අානයනකරු හා අපනයනකරු අතර ගනුදෙනුව කතා කරගත් පසු ඉම්පෝටර් තම රටේ පිලිගත් බැංකුවක් වෙත ගොස් එක්ස්පෝටර්ගෙ නමට ණයවර ලිපිය යනුවෙන් හඳුන්වන ගෙවුම් ලිපිය විවෘත කරනවා. ණයවර ලිපියට අදාල පෝරමය ආනයනකරු විසින් පුරවන විට ඉතා සැලකිල්ලෙන් එය කල යුතුයි මොකද එහි සටහන් කල යුතු වෙනවා බඩු මොනවද, කොපමනද, ඒවායේ තිබිය යුතු ප්‍රමිතින්, අපනයනකරු විසින් ආනයනකරුට ලබා දිය යුතු ලිපිලේකන, හා වෙලදාමට අදාල සියලු කොන්දේසි. ඉතිං අපනයනකරු එම ණයවර ලිපියේ සටහන් ආකාරයට සියලු දේ ඉටු කලොත් පමනයි ඔබට මුදල් ලැබෙන්නෙ.

ඉතිං, ආනයනකරු තම රටේ බැංකුවට ගොස් එලෙස ණයවර ලිපිය විවෘත කරනවා. ඉන්පසු එම බැංකුව විසින් අපනයනකරුගෙ බැංකුවට එය දන්වනවා SWIFT යන සුවිශේෂි පරිගනක ජාලය හරහා. ඉන්පසු අපනයනකරු හා ආනයනකරු ගිවිසගත් පිලිවෙලට, එනම් ණයවර ලිපියේ සටහන් කොන්දේසි අනුව, භාන්ඩ තොගය පිලියෙල කර නැව්ගත කරනවා. ණයවර ලිපියේ සටහන් කර තිබෙන සියලු ලිපිලේකන අපනයනකරුගේ බැංකුවට ලබා දී ණයවර ලිපියෙ සටහන් මුදල ලබාගත හැකියි. ඉන්පසු අපනයනකරුගේ බැංකුව විසින් ආනයනකරුගෙ බැංකුවට මෙම ලේකන සෙට් එක DHL, Fedex වැනි කුරියර් සේවාවක් හරහා යවා, ආනයනකරුගෙ බැංකුවෙන් එම මුදල් අපනයනකරුගේ බැංකුවට හුවමාරු කර ගන්නවා. ආනයනකරුගේ බැංකුව එවිට ආනයනකරුට දන්වනවා ලිපිලේකන බැංකුවට විත් මුදල් ගෙවා රැගෙන යන ලෙසට. ඉතිං, ආනයනකරුට බඩු වරායෙන් නිදහස් කර ගැනීමට එම ලේකන අවශ්‍ය බැවින් සියලු මුදල් ගෙවා බැංකුවෙන් ලේකන ටික රැගෙන ගොස් බඩු ක්ලියර් කර ගන්නවා.

ඇත්තටම ණයවර ලිපි ගැන විශාල කරුනු රාශියක් කතා කිරීමට තිබුනත් මෙම ලියමන දිග වන බැවින් ඒ සියල්ල ගැන මෙහි මා කතා කරන්නෙ නැත. ණයවර ලිපිද වර්ග ගනනාවක් තිබෙනවා. අද භාවිතයෙ පවතින සාමාන්‍ය ණයවර ලිපි “අවලංගු කල නොහැකි ණයවර ලිපි” (irrevocable l/c) ලෙස හැඳින්වේ. මෙවැනි ණයවර ලිපියක් ආනයනකරු හා අපනයනකරු යන දෙදෙනාගෙම අවසරය තිබේ නම් පමනක් අවලංගු කල හැකියි. ඔබට මතක ඇති ලංකාවට චීනෙන් කාබනික පොහොර ගෙන ඒමේදි ලංකා රජයට (ඉම්පෝටර් වශයෙන් ) චීන පොහොර සමාගමට යැවූ ණයවර ලිපිය අවලංගු කල නොහැකි වුනා.

ණයවර ලිපි ආනයනකරු හා අපනයවකරු යන දෙදෙනාටම තිබෙන අවිශ්වාසය දුර කර ගනුදෙනුව සිදු කල හැකි හොදම ක්‍රමය වුවත්, එය බැංකු ගාස්තු හා වියදම අධිකම ක්‍රමය වේ.

D/P හා D/A
ණයවර ලිපිවලට පසුව ඇති ආරක්ෂිත ගෙවුම් ක්‍රමය තමයි documentary collection කියන්නෙ. මෙහිද ආකාර දෙකක් තිබෙනවා.
1. Documents against payment (D/P)
2. Documents against acceptance (D/A)

මෙම ක්‍රියාවලිය දැන් කෙටියෙන් බලමු. අපනයනකරු තම බැංකුවට ගොස් මීට අදාල පෝරමය පුරවා, ආනයනකරුගෙ බැංකුවට SWIFT බැංකු ජාලය හරහා මේ වග දන්වනවා. ඉන්පසු ආනයනකරුගෙ බැංකුව විසින් ආනයනකරුට දන්වනවා. ආනයනකරු ඔහුගෙ බැංකුවට ආ යුතුයි. එතැනදි තමයි ඩීඒ හා ඩීපී ක්‍රම දෙකෙහි වෙනස වැදගත් වන්නෙ.

අපනයනකරු යැව්වේ ඩීපී එකක් නම්, ආනයනකරුට සිදු වෙනවා සියලු මුදල් ඔහුගේ බැංකුවට ගෙවා අපනයන ලියවිලි බැංකුවෙන් ලබා ගන්නට.

අපනයනකරු යැව්වේ ඩීඒ එකක් නම්, ආනයනකරුට එවෙලෙහිම මුදල් ගෙවීමට අවශ්‍ය නැත. අපනයනකරු ඩීඒ ලිපියේ සටහන් කර තිබෙන යම් දින ගනනක් ඇතුලත එම මුදල් ගෙවීමෙ හැකියාව ආනයනකරුට ලැබෙනවා. එම දින ගනන දවස් 30, 45, 60 ආදි ලෙස විය හැකියි. ගනුදෙනුව කතාබහ කරන විට මේ කාලය කොපමනදැයි ආනයනකරු හා අපනයනකරු තීරනය කරගත යුතුයි. මෙවිට ආනයනකරු කරන්නෙ තම බැංකුවට ගොස් ඒ සටහන් කර ඇති කාල සීමාව තුල තමන් එම මුදල ගෙවන බවට බැංකුවට පොරොන්දු වී එහි ඒ වග අත්සන් කර අපනයන ලියවිලි බැංකුවෙන් රැගෙන යයි.

ඩීපී හා ඩීඒ විධි දෙකෙන්ම අපනයකරුට තම බැංකුවට අපනයන ලිපිලේකන ඉදිරිපත් කල හැටියෙම මුදල් ලැබෙන්නෙ නැත. ආනයනකරු ඇත්තටම ඔහුගෙ බැංකුවට මුදල් දී, ආනයනකරුගෙ බැංකුවෙන් අපනයනකරුගෙ බැංකුවට එය එවා, එම මුදල් අපනයනකරුගෙ බැංකුවෙන් අපනයනකරුට එම මුදල් ලැබෙන්නෙ. ඉතිං, ඩීඒ ක්‍රමයට නම් මුදල් ගෙවන්නේ ආනයනකරුට තවත් සති ගනනක් මුදල් ගෙවීමට ලබා දෙන බැවින් එම කාලයද අපනයනකරුට බලා සිටීමට සිදු වේ. තවද, ආනයනකරු මුදල් ගෙවන්නෙ බඩු ක්ලියර් කරගත්තට පසු බැවින් ඇත්තටම ඩීඒ ක්‍රමය අපනයනකරුට යම් අවදානමක් ඇති කරනවා. එනිසා හැකි පමන ඩීපී ක්‍රමයම තෝරා ගන්න.

එනිසා අපනයකරුවෙකු වශයෙන් ඔබ පලමුව ඇඩ්වාන්ස් ක්‍රමයට මුදල් ලබා ගැනීමට බැලිය යුතුයි. බොහොවිට එය බැරි වෙනවා. ඉන්පසු ණයවර ලිපි ක්‍රමයට යන්න. බැරිම වුනොත් ඩීපී ක්‍රමයට යන්න. අනෙක් ක්‍රමවලට එකඟ වුවොත් ඔබට අවදානම වැඩි වේ.

ඊ ලඟ ලිපියෙන් හමු වෙමු.

ආනයන අපනයන ක්‍රියාවලිය 3 කොටසව්‍යාපාර ලියාපදිංචියෙන් පසු ලැබෙන සහතිකය ටික දවසකින් ඔබට ලැබේවි. බැංකු ගිනුම් විවෘත කිරීමඑම...
03/02/2022

ආනයන අපනයන ක්‍රියාවලිය 3 කොටස

ව්‍යාපාර ලියාපදිංචියෙන් පසු ලැබෙන සහතිකය ටික දවසකින් ඔබට ලැබේවි.

බැංකු ගිනුම් විවෘත කිරීම
එම සහතිකයත් රැගෙන ඔබ බැංකුවකට ගොස් ව්‍යාපාරයේ නාමයෙන් ජංගම ගිනුමක් (current account) විවෘත කිරීමට අවශ්‍යයි. එහිදි සැලකිය යුතු කරුනු කිහිපයක් ඇත.

1. තමන්ට ආසන්නව ඇති බැංකු ශාකාවක් ඇති බැංකුවක් වීම හොඳය. එහි වැඩ කරන අය සුහදශීලි නම් තවත් හොඳයි. විශාල කීර්තියක් තිබෙන හා අන්තර්ජාතික බැංකු සමඟ ඍජු සම්බන්තා වැඩියෙන් තිබෙන (එනම් nostro accounts වැඩියෙන් තිබෙන) බැංකුවක් තෝරා ගන්න. තවද, අනිවාර්යෙන්ම අන්තර්ජාල බැංකු සේවාව උසස් මට්ටමින් එහි තිබීමද වැදගත්.
2. ජංගම ගිනුම් විවෘත කරන විට සමහර බැංකුවල වැඩිපුර ගනනක් තැන්පත් කිරීමට සිදු වේ. තවද, සමහර බැංකුවල සමහර ශාකාවල බැංකු ගිනුම් විවෘත කරන විටද වැඩිපුර ගාස්තු අය කරනවා. එනිසා ගාස්තු අවම බැංකුවක් මෙන්ම බැංකු ශාකාවක් තෝරා ගන්න. බැංකු කිහිපයකට ගොස් සාකච්ඡා කර හැඟීමක් ඇති කර ගත හැකියි.
3. ජංගම ගිනුමක් සමගම සාමාන්‍ය ඉතිරුම් ගිනුමක්ද (savings account) විවෘත කරන්න. ජංගම ගිනුමක මුදල් තියාගත්තට පොලී නොලැබේ. ඉතිං, ජංගම ගිනුමේ තිබෙන මුදල් මෙම ඉතිරුම් ගිනුමට මාරු කර තබන්න. ඔන්ලයින් පහසුකමින් මෙය පහසුවෙන් ගෙදර සිටම කල හැකියි. දිනපතා පොලී ගනනය කරන ඉතිරුම් ගිනුමක් වීමද වැදගත්. ව්‍යාපාරය දියුනු වූ පසු අවශ්‍ය නම් විදේශ විනිමය තැන්පත් කල හැකි ගිනුමක් වුවද විවෘත කරන්න.
4. ව්‍යාපාරයේ අයිතිකරුවන් කිහිප දෙනෙකු ඇති විට, ජංගම ගිනුමෙන් සල්ලි ආපසු ගැනීමෙදි (withdraw) ගැටලුවක් තිබේ. බැංකු පෝරමය පිරවීමෙදි ඔබට සඳහන් කිරීමට සිදු වෙනවා මුදල් ලබා ගත හැක්කේ ඔබට පමනද, නැතිනම් අයිතිකරුවන් දෙදෙනාම අත්සන් කල යුතුද, එහෙමත් නැතිනම් දෙදෙනාගෙන් ඕනම කෙනෙකුට ලබා ගත හැකිද යන වග. මා යෝජනා කරන්නෙ ඔබට පමනක් මුදල් ලබා ගත හැකි ලෙස සටහන් කරන්න කියායි.

දේශිය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචිය
ව්‍යාපාර ලියාපදිංචි සහතිකයත්, ඔබේ හැදුනුම්පතත් සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් TIN හා VAT අංක දෙක ලබා ගත යුතුය. මෙම කටයුත්ත අවශ්‍ය නම් www.ird.gov.lk යන දේශිය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්ද online සිදු කල හැකියි. කිසිදු වියදමක් වැය නොවේ. තරමක විශාල පෝරමයක් පිරවීමට සිදු වේ. හදිසියේ පුරවන්නෙ නැතිව ඉන්ටර්නෙට් එකෙන් පෝරමය හොඳින් කියවා එහි තිබෙන හා අසන දේවල් ගැන හොඳ දැනුමක් ලබා ගන්න. අවශ්‍ය නම් තව අයගෙන් ඒවා සාකච්ඡා කරන්න.

මෙම ලියාපදිංචිය තුල ඔබට බදු (tax) සම්බන්දව අංක දෙකක් ලැබේ. එකක් නම් Taxpayer Identification Number (TIN) යන නමින් හැඳින්වෙන ටින් අංකයයි. එම අංකයෙන් තමයි ඔබේ ව්‍යාපාරය ආදායම් බදු ගෙවන්නේ. බය නොවන්න මොකද එම අංකය ලබාගත් පලියට ඔබට බදු ගෙවීමට අනිවාර්යෙන් සිදු නොවේ. බදු ගෙවන්නට වෙන්නෙ ඔබගේ වාර්ෂික ආදායම යම් අගයකට වඩා වැඩි වන විට පමනි.

අනෙක් අංකය වන්නේ Value Added Tax (VAT) යන නමින් හැදින්වෙන වැට් අංකයයි. අපනයනයෙදි ඔබ වැට් ගෙවන්නෙ නැත. එහෙත් වැට් සඳහා ලියාපදිංචි විය යුතුයි. වැට් බද්ද වදින්නේ ලංකාව තුල යම් භාන්ඩයක් හෝ සේවාවන් පරිහරනය කරන අවස්ථාවලදි පමනි. ආනයනයෙදි නම් වැට් වදිනවා. පලමු පාරට වැට් ලියාපදිංචියෙදි ලැබෙන්නෙ තාවකාලික අංකයකි. පලමු අපනයන ගනුදෙනුව සම්පූර්න කලාට පසු අපනයන ලියවිලි පෙන්වා ඔබට ස්ථිර වැට් අංකයක් ලබා ගැනීමට සිදු වේ.

freight forwarder තෝරා ගැනීම
ඔබ අපනයනය කරන බඩු සපයාගෙන අවශ්‍ය කරන සැකසුම් සියල්ල කර ගත් පසු විශාල වැඩ කොටසක් තිබේ. රේගු කටයුතු කිරීමට තිබේ. බඩු ටික වරායට හෝ ගුවන් තොටුපොලට රැගෙන නැවකට හෝ ගුවන් යානයකට පැටවිය යුතු වේ. මේ රාජකාරි කර දෙන ව්‍යාපාර තමයි ෆ්‍රේට් ෆෝර්වර්ඩ්ර් කියන්නේ. රේගුව සමග වැඩ කිරීමට විශේෂ දැනුමක් මෙන්ම ලයින්ස් පත්‍රයක්ද අවශ්‍ය වේ. එනිසා තනියම ඔබට කස්ටම් වැඩ කල නොහැකියි. එක්කො ඔබට Customs House Agent (CHA) විභාගය සමත්ව එම ලයින්ස් එක රේගුවෙන් ගැනීමට සිදු වේ. එහෙමත් නැතිනම්, ඔබේ ව්‍යාපාරයෙ නමින් වෙන කෙනෙකුට එම ලයිසන්ස් අරං දිය හැකියි. මේ සියලු විස්තර www.customs.gov.lk යන රේගු වෙබ් අඩවියෙ ඇත.

(ඇත්ත තත්වය නම් රේගුවට පගාව දී විභාගය නොකරම එම ලයිසන්ස් ගත හැකියි. මාත් එම විභාගය කර ලකුනු 100න් 96 ක් ලබා සමත් වූවා කලකට පෙර. එහෙත් එය අසමත් වූ බොහෝ දෙනෙක් පගාව දී එම ලයිසන්ස් අර ගත්තා. රේගුව යනු හොර ගුහාවකි).

ඔබටම මෙම කටයුතු කර ගත හැකි නම් යම් වියදමෙ අඩුවක් වනු ඇත. එහෙත් එය බොහෝවිට ප්‍රායෝගික නැත. එනිසා හැමෝම කරන දේ නම් හොඳ freight forwarder කෙනකු සොයා ගැනීමයි. මෙම සේවාව සපයන අය ඕනෑ තරම් සිටිනවා. facebook එකෙන් වුවද මෙවන් අයව සොයාගත හැකියි. මා කියන්නේ එකපාරට කෙනකු තොරා නොගෙන freight forwarders කිහිප දෙනකු සමගම කතා කරන්න. විවිධ ගාස්තු ගැන කතා කරන්න. හැකි තරම් නිවැරදි දැනුමක් ලබා ගෙන ඔවුන් සමග කතා බහ කරන්න. නැතිනම් අනිවාර්යෙන්ම උන් ඔබව සූරං කනවා. අත්දැකීමෙන් මේ කියන්නෙ. රේගුව සමග වැඩ කරන පිරිසක් නිසා එවන් හැසිරීමක් ඔවුන්ට තිබීම ගැන පුදුමයකුත් නැත. ඔබ හරි දැනුමින් සන්නද්ද නම් ඔබව රැවටීමට තිබෙන ඉඩ අවම වේ. සුහදශී සේවාවක් සපයන කෙනෙකු තෝරා ගන්න මොකද ඔබ අපනයනයට අලුත් නිසා ගැටලු බොහොමයක් සිතේ ඇති වෙනවා. ඒවාට ප්‍රායෝගික විසදුම් freight forwarders විසින් ලබා ගත හැකි විය යුතුයි.

රේගුව තුල ලියාපදිංචිය
ඉහත කටයුතු සිදු කල පසු, ඔබේ ව්‍යාපාරය රේගුව තුලද ලියාපදිංචි කිරීමට සිදු වේ. ඒ සදහාද මුදලක් වැය නොවේ. මේ සඳහා ඉහත freight forwarder ගෙ සහය අවශ්‍ය වේ. ආනයන අපනයන වෙලදාමෙ සිටින සියලු දෙනා රේගුව තුල ලියාපදිංචි වීම අනිවාර්ය වේ. රේගු කටයුතු සිදු වන්නේ පරිගනක පද්ධතියක් ඇසුරින් නිසා එම රේගු පරිගනක පද්ධතිය තුල ඔබේ ව්‍යාපාරය ගැන තොරතුරු ඇතුලු කිරීම මෙමගින් සිදු වේ.

ඉස්සර ඔබේ ව්‍යාපාරය අපනයන සංවර්ධන මන්ඩලය (Export Development Board - EDB) තුලද ලියාපදිංචි කිරීම අනිවාර්ය වුවත්, දැන් එම ලියාපදිංචිය අනිවාර්ය නැත. එහෙත් එම මන්ඩලයෙන් ලැබෙන සේවා පහසුවෙන් ලබා ගැනීමට ඔවුන්ගේ ලියාපදිංචියද ඕන නම් ගන්න. ඉස්සර ඒ සදහා රුපියල් 100 ක් පමන ගත්තා වගේ මතකයි (හරියටම ගාන මට දැන් මතක නැහැ).

ඊලඟ ලිපියෙන් හමු වෙමු.

Sri lanka Customs is one of the oldest government departments, established in the year 1806. With the introduction of Customs Ordinance, it developed into a full-pledged state organization mainly responsible for the collection of revenue and the enforcement of law.

ආනයන අපනයන ක්‍රියාවලිය 2 කොටසඅපනයන ක්‍රියාවලිය දල වශයෙන් පහත ක්‍රියාකාරකම්වලින් යුක්ත වේ. 1. ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැ...
03/02/2022

ආනයන අපනයන ක්‍රියාවලිය 2 කොටස

අපනයන ක්‍රියාවලිය දල වශයෙන් පහත ක්‍රියාකාරකම්වලින් යුක්ත වේ.

1. ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැනීම (business registration) අනිවාර්ය වේ. අවශ්‍ය කරන සීල්ද (company seals) කපවා ගත යුතුය.
2. එම ව්‍යාපාරය ශ්‍රී ලංකා රේගුවේ (Sri Lanka Customs) හා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ (Inland Revenue Department) ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
3. ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් විවෘත කරගැනීමට අවශ්‍ය වේ.
4. අපනයන කරන බඩු නැවට/ගුවන්යානයට පැටවීම හා රේගු කටයුතු ආදිය කර ගැනීමට freight forwarder කෙනෙක් තෝරා ගත යුතු වේ.
5. අපනයන කරන බඩු සපයන පිරිස් (Suppliers) සමග සම්බන්දතා හා ගිවිසුම් ආදිය ඇතිකරගත යුතු වේ.
6. ආනයන කරුවන් සොයා ගැනීමට අවශ්‍ය වේ.
7. ව්‍යාපාරයේ නමින් අවශ්‍ය නිවැරදි තොරතුරු ඇතුලත් ලස්සන වෙබ් අඩවියක් (website) සාදා ගැනීම ඉතා හොඳ දෙයකි.

දැන් ඉහත දැක් වූ කාරනා එකින් එක සලකා බලමු.

ආනයන අපනයන වෙලදාම භාරදූර කාර්යක් බැවින් හිතුමතේ ඒවායෙ නියැලීමට බැරිය. එනිසා අනිවාර්යෙන්ම යම් ව්‍යාපාර නාමයක් (Business name) මගින් පමනක් එය කල යුතු වේ. ඒ සඳහා පුදගලයන්ට ක්‍රම 3ක් ඇත.
1. ඒකපුද්ගල ව්‍යාපාරයක් හෙවත් කේවල ස්වාමි ව්‍යාපාරයක් (sole enterprise හෙවත් proprietorship) ලියාපදිංචි කිරීම.
2. හවුල් ව්‍යාපාරයක් (partnership) ලියාපදිංචි කිරීම.
3. සීමාසහිත සමාගමක් (limited company) ලියාපදිංචි කිරීම.

ඔබ දැන් තීරනය කල යුතුයි ඉහත ක්‍රම තුනෙන් කුමන ක්‍රමය ඔබට සුදුසුද කියා. ඒ සදහා පහත කරුනු සලකා බලන්න.

ඒකපුද්ගල ව්‍යාපාරයක් යනු කුමක්ද?
තනි පුද්ගලයකුට හැකියි තනියම ව්‍යාපාරයක් අරඹන්න. එවිට එහි එකම අයිතිකරු තමන්ය. ලාබය හෝ පාඩු තමන් තනියම භුක්ති විඳියි. තමන් තෝරා ගත් නමකින් මෙම ව්‍යාපාරය අදාල ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ (Assistant Government Agent office - AGA office) ලියාපදිංචිය සිදු කරනවා. එම කාර්යාලයට ගොස් ඒකපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය යැයි කී විට ඔබට ෆෝර්ම් එක ලැබේ. එය පුරවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගෙද අත්සන ලබා ගෙන එම පෝරම අදාල ගාස්තු සමග (රුපියල් 1500ක් පමන) නැවත AGA ඔෆිස් එකට භාර දීමට සිදු වේ.

ඇත්තටම තවත් දෙයක් කිරීමට සිදු වේ. එනම් ඔබේ ප්‍රදේශය අයත් ප්‍රාදේශිය සභාව හෝ නගර සභාව හෝ මහා නගර සභාව (මේ තුනම පොදුවේ පලාත් පාලන ආයතනය (local governments) ලෙස හැඳින් වේ) වෙත ගොස් තමන් අහවල් ලිපිනය ඇති ස්ථානයේ අපනයන ව්‍යාපාරයක් අරඹන බව පවසා බලපත්‍රයක් ලබා ගැනීමට සිදු වේ. ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඔවුන් ඒ සඳහා යම් මුදලක් අය කරනවා. ඉතිං කතා බහ කර අවම මුදලක් අය කර ගැනීමට ඔබ වග බලා ගන්න. ගෙවීම කල පසු ඔබට රිසිට් පතක් ලැබෙන අතර AGA කාර්යාලයට පෝරම ලබා දෙන විට මෙම රිසිට් පතේ කොපියක්ද ඉදිරිපත් කල යුතුයි.

ඊටත් අමතරව ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානයේ එම ව්‍යාපාරය කරගෙන යෑමට හැකියාව තිබෙන බවට ඔප්පු කල යුතුද වෙනවා. එම ස්ථානය අයිති ඔබට නම් අවුලක් ඇත්තෙම නැත. එය අයිති පවුලේ කෙනෙකුට නම් එම කෙනා ලිපියකින් ඔබට එම ස්ථානයේ ව්‍යාපාරය කරගෙන යෑමට අවසර ලබා දිය යුතුය. එයද ග්‍රාම නිලධාරියා ලවා සහතික කරගත යුතුය. එහෙමත් නැතිනම්, එම ස්ථානය බදු ගත්තේ නම් බදු ඔප්පුව ඉදිරිපත් කල හැකිය.

මේ ලියවිලි ඉදිරිපත් කර සතියකින් පමන ඔබට එම ව්‍යාපාර නාමය ලියාපදිංචි කල බවට සහතිකය (Business Registration Certificate - BRC) ලැබේ.

හවුල් ව්‍යාපාර
තනියෙන් නොව කිහිප දෙනෙකු හවුල් වීද ඉහත ආකාරයටම ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කර ගත හැකියි. ක්‍රියාවලිය දල වශයෙන් ඉහත ආකාරයම වේ. උපරිම හවුල් කරුවන් (partners) 20ක් හවුල් කර ගත හැකියි. මෙහිදී ලාබ පාඩු හවුලේ බෙදී යයි. කිහිප දෙනෙකු සිටින නිසා වගකීම්ද බෙදාගෙන වැඩ කල හැකියි. කාලය යත්ම ආරවුල්ද ඇති විය හැකියි මොකද ඔබට තනි තීරන ගත නොහැකි නිසා. හොඳ අවබෝදයෙන් වැඩ කලොත් සාර්ථකව ව්‍යාපාරය කරගෙන යා හැකියි.

සීමාසහිත සමාගම්
ඉහත ව්‍යාපාර වර්ග දෙකටම වඩා මෙය වෙනස්ය. ඉහත ව්‍යාපාර වර්ග දෙකෙහිම වගකීම සීමාරහිත වේ.

මෙහිදී වගකීම (liability) යනුවෙන් අදහස් කරන්නේ ව්‍යාපාර කටයුත්තකදී යම් පාර්ශ්වයකට වන්දි ගෙවීමක් කිරීමට සිදු වුවොත් දැනට ව්‍යාපාරය සතු මුදල් හා වත්කම් (assets) ඊට ප්‍රමානවත් නොවන විට අයිතිකරුවන්ගේ පෞද්ගලික ධනය හා වත්කම්වලින් පවා එය ගෙවීමට සිදු වීමයි. උදාහරන ලෙස, ඹබේ ව්‍යාපාරයෙන් යම් කෙනෙකුට අලාභයක් ලෙස රුපියල් කෝටි දෙකක් ගෙවීමට සිදු වුවොත් , ඔබේ ව්‍යාපාරයේ නාමයෙන් අතේ හා බැංකු ගිනුමේ තිබෙන මුදල් හා ව්‍යාපාරයට අයත් වාහන බඩුමුට්ටු ආදිය සියල්ලේම මුලු වටිනාකම රුපියල් කෝටියක් නම්, අයිතිකරුවන්ගේ පෞද්ගලික බැංකු ගිනුම්වල තිබෙන මුදල් හා අයිතිකරුවන්ගේ පෞද්ගලික වාහන හා ගෙවල් වුවද වෙන්දේසි කර ඉතිරි රුපියල් කෝටිය ගෙවීමට උසාවියට කටයුතු කල හැකියි.

එහෙත් ඔබගේ ව්‍යාපාරය සමාගමක් ලෙස ලියාපදිංචි කලොත් වගකීම සීමා සහිත වේ. එවිට වන්දිය ගෙවන්නේ සමාගමේ නමින් පවතින වත්කම්වලින් පමනි. එම වත්කම් වන්දිය ගෙවීමට ප්‍රමානවත් නැති වූ විටක අයිතිකරුවන්ගේ පෞද්ගලික වත්කම්වලින් ගෙවන්නට අවශ්‍ය නැත. එය විශාල වාසියක් නේද?

එහෙත් සමාගමක් බිහිකර පවත්වාගෙන යෑම තරමක් බැරෑරුම් වැඩකි. සමාගමක් ලියාපදිංචිය සදහා මූලික වියදම පමනක් රුපියල් 20,000 කට වැඩිය. ඊට අමතරව වාර්ශිකවත් විවිධ ගෙවීම් සඳහා රුපියල් 10000 කට වැඩි මුදලක් වැය කිරීමට සිදු වේ. සමාගමක් ලියාපදිංචි කල විට, සංස්ථාපන සහතිකයක් (Certification of Incorporation) ලැබේ BRC වෙනුවට.

තවත් සුලු කරුනක් දෙකක් ගැන කියන්නම්. සමාගමක් ලෙස ව්‍යාපාර කරන විට අනියාර්යෙන්ම සම්මත ආකාරයෙන් ව්‍යාපාර ගිනුම් (accounts) පවත්වාගත යුතුය. එහෙත් හවුල් හා ඒකපුද්ගල ව්‍යාපාර සඳහා ගිනුම් පවත්වාගෙන යෑම අනිවාර්ය නැත. කෙසේ වෙතත්, කුමන ආකාරයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කලත් ආනයන අපනයන වෙලදාමක් කරන විට ගිනුම් පවත්වාගෙන යා යුතුය. එය විශේෂ කරුනක් ලෙස සලකන්න.

සමාගමක අයිතිකරුවන් එක් කෙනෙකුගෙ සිට උපරිම 50 දෙනෙකු දක්වා සිටිය හැකියි. අයිතිකරුවන් (ඇත්තටම සමාගමක අයිතිකරුවන් හවුල්කරුවන් (shareholders) යන විශේෂ නාමයෙන් හැඳින් වේ) අතරින් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකු හෝ සියලු දෙනාම එම සමාගමෙ අධ්‍යක්ෂකවරු (directors) ලෙසද පත්විය හැකිය. ඇත්තටම සමාගමේ එදිනෙදා වැඩ සියල්ලම කරගෙන යන්නේ මෙම අධ්‍යක්ෂකවරු විසිනි. අධ්‍යක්ෂක යන තනතුර තිබෙන්නේ සමාගමක් තුල පමනි. හවුල් හෝ ඒකපුද්ගල ව්‍යාපාරයක එම තනතුර නැත. මා දැක තිබෙනවා ඒකපුද්ගල ව්‍යාපාරයක අයිතිකරුයවන් තමන්ව අධ්‍යක්ෂක ලෙස ලිපි ලේකනවල අත්සන් කර තිබෙනවා. එය වැරදියි. හවුල් හෝ ඒකපුද්ගල ව්‍යාපාරවලදී තමන්ව හඳුන්වාදිය යුත්තේ “අයිතිකරු” (proprietor) ලෙස හෝ සාමාන්‍යාධිකාරි (general manager - GM) ලෙසයි. ජෙනරල් මැනේජර් යනු බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව හැම අතින්ම අධ්‍යක්ෂක හෝ අධ්‍යක්ෂක ජනරාල් (director general) හෝ ඇමරිකානු සම්ප්‍රදාය අනුව පවතින ප්‍රධාන විධායක නිලධාරි (chief executive officer - CEO) තනතුරට සමාන/සමාන්තර තනතුරයි. එනිසා general manager යන තනතුරු නාමය යොදාගන්න.

කුඩා මට්ටමින් ආනයන අපනයන ව්‍යාපාරයක් සඳහා මා යෝජනා කරන්නේ ඒකපුද්ගල හෝ හවුල් ව්‍යාපාරයයි. ඉන් දියුනු වී යම් කාලයකට පසුව පෞද්ගලික සමාගමක් ලෙස එය ලියාපදිංචි කර ගත හැකියිනෙ. කුමන ආකාරයකින් ව්‍යාපාරය ලියාපදිංචි කලත් හොඳ නමක් යොදන්න.

ව්‍යාපාරය ලියාපදිංචි කරන විට පුරවන පෝරමයේ ව්‍යාපාරයේ සවභාවය ගැන සටහන් කරන විට අනිවාරියෙන්ම අපනයන ආනයන වෙලදාමක් ලෙස සටහන් කරන්න. හැකි නම් ව්‍යාපාරයේ නාමයේම අගින් exporters හෝ impex වැනි කොටසක් යොදන්න. එවිට නම දැක්ක ගමන් එය ආනයන/අපනයන ව්‍යාපාරයක් ලෙස දිස් වේ.

ඇත්තටම ඉහත ව්‍යාපාර ක්‍රම තුන ගැන වෙන වෙනම කතා කිරීමට තවත් කරුනු බෙහෝ ඇතත් මෙම ලිපිවල අරමුනින් එය ඈත්වන නිසා මෙපමනකින් එම විස්තරය අවසන් කරනවා. මා කලකට පෙර සමාගමක් තනියම ලියාපදිංචි කරන ආකාරය පියවරින් පියවර කරන අයුරුත් සාම්පල් ආකෘතිත් https://blog.tekcroach.top/2018/10/company-registration-in-sri-lanka.html යන දිගු ලිපියෙහි විස්තර කර තිබෙනවා. කාට හරි අවශ්‍ය නම් පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට එම ලිපිය කියවා එය නිවැරදිව සිදු කර ගත හැකියි.

මී ලඟ ලිපියෙන් නැවත හමු වෙමු.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුල පෞද්ගලික සමාගමක් (private limited company) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පියවරින....

03/02/2022

ආනයන අපනයන ක්‍රියාවලිය 1 කොටස

මිනිස් අවශ්‍යතා හා උවමනාවන් (needs and wants) සඳහා භාණ්ඩ හා සේවා (goods and services) නිෂ්පාදනය වෙනවනෙ. ඉතිං නිෂ්පාදනයේ සිට අවසන් පරිභෝජනය තෙක් මෙම භාණ්ඩ හා සේවා දිගු ක්‍රියාවලියක යෙදෙනවා. අගය වැඩි කිරීම (value addition), වෙලාදාම (trading), ගබඩා කිරීම, ප්‍රවහනය මේ අතර සිදු වෙනවා. වෙලදාම දල වශයෙන් තොග වෙලදාම (wholesale) හා සිල්ලර වෙලදාම (retail sale) ලෙස දෙයාකාරයෙන් පවතිනවා. ඒ ගැන අමුතුවෙන් වැඩි විස්තර අවශ්‍ය නැහැ මොකද ඒ ගැන හොඳින් දන්නවා.

රටක් තුල ඉහත දේවල් (විශේෂයෙන් වෙලදාම) සිදු වන විට ඊට දේශීය වෙලදාම (domestic trade) යැයි කියනවා. නුවර එලියෙ වගා කරන එලවලු රටපුරා තොග හා සිල්ලර වශයෙන් විකිනීම ඊට හොඳ උදාහරනයක්. මෙහිදී ගනුදෙනු මාධ්‍යන් ලෙස රටේ ව්‍යවහාරික මුදල් ඒකකය මූලික වෙනවා. ලංකාවේ නම් එය ශ්‍රී ලංකා රුපියලයි. ඍජුවම මුදල් භාවිතා නොවී චෙක්පත්, හර/බැර පත් (credit/debit cards) ආදියත් බහුලව යොදා ගැනෙනවා.

එහෙත් විවිධ හේතු නිසා රටට අවශ්‍ය සියල්ලම රට තුලම නිපදවන්නට බැහැනෙ. එවිට වෙනත් රටවලින් භාණ්ඩ හා සේවා ගෙන්වනවා. රටක් තුලට බඩු ගෙන ඒම ආනයනය (import) ලෙසත්, රටින් බඩු වෙනත් රටකට යැවීම අපනයනය (export) ලෙසත් හදුන්වනවා. ආනයන අපනයන දෙකට අපි අන්තර්ජාතික වෙලදාම (international trade) යැයි පොදුවේ පවසනවා.

දේශිය වෙලදාමට වඩා අන්තර්ජාතික වෙලදාම තරමක් සංකීර්න බව තේරෙනවනෙ. ගැනුම්කරුවන් (buyers) හා විකුනුම් කරුවන් (sellers) අතර සන්නිවේදනය කිරීමට සිදුවන්නේ මූලිකවම ඉංග්‍රිසි බසින්. එය එක් ගැටලුවක්. සාම්ප්‍රදායික ආනයන අපනයන වෙලදාම ඇත්තටම තොග වෙලදාමක්. එනිසා යම් වැඩි මුදලක්/ප්‍රාග්ධනයක් (capital) අවශ්‍ය වීම තවත් ගැටලුවක්. එහෙත් අන්තර්ජාලය නිසා අද අන්තර්ජාතික වෙලදාම සිල්ලර මට්ටමින්ද සිදු වෙනවා. ebay,aliexpress ඊට කදිම උදාහරන දෙකක්. තමන්ට ආසන්න ටවුන් එකෙන් බඩුවක් ගන්නවට වඩා එය කෙලින්ම චීනයෙන් ඇලිඑක්ස්ප්‍රෙස් හරහා ගෙන්වීම ලාබදායක වී තිබෙනවා. රටවල් දෙකක් අතර සිදුවන ගනුදෙනු නිසා එම රටවල නීති හා සම්මතයන් ගැටලු ඇති කරනවා. ඒවා සමතයට පත් කරන්නට world trade organization වැනි ආයතන හා විවිධ බදු ගිවිසුම් පවතිනවා. ඒවා ගැනත් දැනුමක් තිබීම වැදගත්. තවද රුපියල්වලින් ගනුදෙනු කරන්න බැරි නිසා ඇමරිකානු ඩොලරය, ජපන් යෙන්, යුරෝ, බ්‍රිතාන්‍ය/ස්ටර්ලිං පවුම් යන අන්තර්ජාතික මුදල් ඒකකයක් (foreign currency) භාවිතා කරන්නට සිදු වෙනවා. ඉතිං විදේශ විනිමය (foreign exchange) සමග කටයුතු කිරීමේදි බරපතල තත්වයන් පවතිනවා (ලංකාව වැනි විදේශ වත්කම් අඩු රටක තත්වය තවත් දුක්ඛිතයි).

ආනයන අපනයන දෙකටම පොදු කරුනු කිහිපයක් මා මුලින් කෙටියෙන් සටහන් කරන්නම්.

1. අපනයනය හෝ ආනයනය කිරීමට හදන භාණ්ඩය කුමක්දැයි පලමුව නිශ්චය කර ගත යුතුය. මෙහිදී පවතින ඉල්ලුම (demand) , පවතින තරගකාරිත්වය (competition), බඩු අවශ්‍ය තරම් සපයා ගැනීමට ඇති හැකියාව (availability), අපනයන හා ආනයන රටවල් දෙකෙහිම එම බඩුව සම්බන්දයෙන් පවතින නීති තත්වය (jurisdiction) ගැන සැලකිලිමත් විය යුතුයි. රටකින් රටකට හැම බඩුවක්ම එකසේ ගෙන යන්න බැහැ. සමහර බඩු ගෙන යෑම හෝ ඒම සපුරා තහනම් (prohibited goods). තවත් බඩු ගෙන යා හෝ ආ හැක්කේ අවසර ගැනීමෙන් පසුය (restricted goods).

2. ඉන්පසු සුදුසු ගැනුම්/විකුනුම්කරුවන් සොයා ගැනීම. අන්තර්ජාලය නිසා අද මෙය ඉතා පහසුවෙන් කිසිදු මුදලක් වැය නොකර පරිගනකයෙන් හෝ ස්මාට් ෆෝන් එකෙන් සිදු කල හැකියි.

3. ගැනුම්/විකුනුම්කරුවන් සමඟ සියලු විස්තර හරිහැටි හුවමාරු කර ගත යුතුය. බඩුව කුමක්ද, එහි hs code (මේ ගැන පසුවට ලියන්නම්), බඩු ප්‍රමානය (quantity), බඩුවල තිබිය යුතු ප්‍රමිතිය(standards), බඩු ඒකකයක මිල (unit price), බඩු එවන්නෙ ගුවනින්ද නැවෙන්ද යන වග හා එවන විදිය (delivery terms/incoterms), බඩුවලට මුදල් ගෙවන ආකාරය (payment terms), අවශ්‍ය කරන අවසරපත් (permits and licenses),බඩු පැක් කරන විදිය ආදි කරුනු ගනනාවක් පවතිනවා. මේ ගැන පසුවට එකින් එක කතා කරමු.

4. මේ සියල්ලටම අවශ්‍ය කරන මුදල් ඔබ සතු විය යුතුයි. තවද දැනගත යුතු මූලික කරුනුද දත යුතුයි. ඒ දැනුම තමයි කෙටියෙන් මා ඉදිරිපත් කරන්නෙ.

මා මූලිකව අපනයනය ගැන පමනක් කතා කරන්නම් මෙතැන් සිට. ඊලග පෝස්ට් එකෙන් හමු වෙමු.

Address

Ceyports Impex
Gampaha
11056

Alerts

Be the first to know and let us send you an email when Ceyports Impex posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyports Impex:

Share