23/09/2026
බලන්නකෝ අහසේ මැද හරියට දේදුන්නක් පායලා වගේ නේද ?
වලිගේ කෙළවර කැරට් වල තියෙන තද තැඹිලි පාට. පියාපත් මැදින් යන්නේ තද දම් පාට මිශ්‍ර නිල් පාටක්. ඒ නිල් පාට දිලිසෙන්නේ හරියට ලෝහයක් වගේ.
ඕනෑම කෙනෙක් මේක දැකපු ගමන් හිතන්නේ බොරුවක් කියලා. ඒකත් සාදාරනයි මොකද, අද කාලේ ඇස් දෙකට පේන දේවත් විශ්වාස කරන්න බෑ. ඒ තරමට ඩිජිටල් මායාවන්.
හැබැයි මේක ඇත්තම පින්තූරයක්.
මේ ඉන්නේ හිමාලයේ අඩි දස දහස් ගණනක් උඩ ජීවත් වෙන Himalayan Monal කියන අමුතුම කුරුල්ලා. විද්‍යාඥයෝ මෙයාට කියන්නේ Lophophorus impejanus කියලා. නේපාලයේ මිනිස්සු නම් කියන්නේ ඩැන්ෆේ (Danphe) කියලා. ඒ රටේ ජාතික පක්ෂියත් මෙයාම තමයි.
මම මේ ගැන විස්තර හොයන්න ගත්තේ ගත්තේ නිකමට වගේ. හැබැයි කියවගෙන යද්දී මටත් පුදුම හිතුණා. සොබාදහම කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් සංකීර්ණ තැනක්.
මේ සතාගේ පිහාටු වල එකිනෙකට වෙනස් පැහැදිලි පාට නවයක් තියෙනවාලු.
පාට නවයක් කිව්වට ඒවා තීන්ත පාට වගේ නෙවෙයි. නිකන් හිතන්න කාර් එකක metallic paint එකක් ගැන. ඒක අව්වට අල්ලද්දී ලස්සනට දිලිසෙනවා නේද? මේ කුරුල්ලාගේ පිහාටුත් අන්න ඒ වගේ. සතා හැරෙන හැරෙන පැත්තට පාට මාරු වෙනවා. අව්ව වැටෙන විදිය අනුව පාට වෙනස් වෙනවා.
කොළ පාට එකපාරටම නිල් වෙනවා. ඒ නිල් පාට ආයේ තද දම් පාට වෙනවා.
මේ ඡායාරූපය පිටිපස්සේ තියෙන කතාව ඊටත් වඩා ලස්සනයි. මේක අරන් තියෙන්නේ ඉන්දියානු ජාතික ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ නම ඩොක්ටර් සුධීර් හසම්නිස්. ඔහු මේක ගත්තේ භූතානයේ උස කඳුකරයකදී.
හරියටම කිව්තවොත් තාර්පාලිං කියන බෞද්ධ ආරාමය කිට්ටුව. ඒක පිහිටලා තියෙන්නේ අඩි එකොළොස් දහස් අටසීයකට වඩා උඩින්.
පොඩ්ඩක් හිතලා බලන්න. අපේ පිදුරුතලාගල කන්ද වගේ එකහමාරක් උසයි. එච්චර උඩදී හුස්ම ගන්නත් අමාරුයි. අංශක බිංදුවට වඩා අඩු හිම මිදෙන සීතලක් තමයි එතන තියෙන්නේ.
ඔබ දන්නවද සාමාන්‍යයෙන් මොනරුන් වගේම මේ කුරුල්ලොත් හැමතිස්සෙම බිම තමයි ඇවිදින්නේ. උන්ගේ ඇඟ බරයි. ඒ නිසා උන් වැඩිය පියාඹන්න කැමති නෑ. අනික කැලේ ඉන්න සත්තු මිනිස්සු ළඟට එන්නෙත් නෑනේ. හැබැයි මේ ආරාමයේ ඉන්න හාමුදුරුවරු පරම්පරා ගණනාවක් තිස්සේ මේ සතුන්ට කෑම දෙනවා. උන්ව ආදරයෙන් රැකබලා ගන්නවා. ඒ නිසා මේ කුරුල්ලෝ මිනිස්සුන්ට බය නෑ.
මේ ඡායාරූප ශිල්පියා දවස් ගාණක් බලන් හිටියේ මෙන්න මේ ඔබ දකින එකම එක ෂොට් එක ගන්න. කුරුල්ලා එකපාරටම කඳු ගැට්ටෙන් පහළට පැන්නා. ඊටපස්සේ පහළ මිටියාවතට පාවෙලා ගියා. ඒක සිද්ධ වුණේ තත්පරයෙන් පංගුවක් ඇතුළත. කැමරාවේ බටන් එක ඔබන්න ලැබුණේ බොහොම පුංචි වෙලාවක් විතරයි.
ඇත්තටම මට මුලින්ම මේක විශ්වාස කරන්නත් අමාරු වුණා.
හැබැයි මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. අපි මේ දකින ලස්සන පිටිපස්සේ තියෙන්නේ ගොඩක් දුක හිතෙන කතාව. ඒක සතෙක් නොනැසී ඉන්න කරන සටනක්.
මේ පාට නවයම පිහිටලා තියෙන්නේ පිරිමි සතාට විතරයි.
ගැහැනු සතා දිහා බැලුවොත් කිසිම ලස්සනක් පේන්න නෑ. නිකන්ම නිකන් අළු පාටයි දුඹුරු පාටයි විතරයි. දිලිසෙන එක පිහාටුවක්වත් උන්ට නෑ.
ඇයි එහෙම වෙන්නේ?
මේක තේරුම් ගන්න හරිම ලේසියි. සොබාදහම හැමදේම කරන්නේ හොඳ හේතුවක් ඇතුව.
ගැහැනු සතාට තියෙන්නේ බිත්තර රකින රාජකාරිය. උන් කූඩු හදන්නේ ගස් උඩ නෙවෙයි, බිම. එතකොට උන්ටත් මෙහෙම දිලිසෙන පාට තිබුණා නම් මොකද වෙන්නේ? උඩින් යන රාජාලියන්ට උන්ව ඈත තියාම පේනවා. එහෙම වුණොත් උන්ව ඩැහැ ගන්නවා. ඒ නිසා ගැහැනු සතා වියළි තණකොළ අස්සේ හැංගිලා ඉන්න ඕන.
පිරිමි සතාට තමයි මේ ඔක්කොම රඟපෑම් කරන්න වෙලා තියෙන්නේ.
ඌ සහකාරියක් හොයාගන්න ඕන. තමන් නිරෝගී ශක්තිමත් සතෙක් කියලා පෙන්වන්න ඕන. ඒකට ඌ මේ පාට නවයම විහිදුවලා ලස්සනට නටනවා. ඒ කියන්නේ පිරිමි සතා තමන්ගේ ජීවිතේ ලොකු අවදානමකට දාලා තමයි මේ ලස්සන එක්ක ජීවත් වෙන්නේ.
මම නැෂනල් ජියෝග්රැෆික් වාර්තාවක අපූරු දෙයක් දැක්කා. ඒක මේ සත්තුන්ගේ තවත් පුදුම වැඩක්. උන් හිම මිදුණු පොළොව හාරනවා. පොළොව යට තියෙන මුල් වර්ගයි අල වර්ගයි කන්න තමයි එහෙම කරන්නේ. ඒකට උන් පාවිච්චි කරන්නේ උන්ගේ තද හොට. ඒවා හරියට කුඩා උදැල්ලක් වගේ.
ඝන හිම තට්ටු කඩන්න ඒ හොටට තියෙන්නේ පුදුම ශක්තියක්.
අපි හිතන්නේ ලස්සන කියන්නේ ඇහැට පේන එකක් විතරයි කියලා. ඒත් මේ හැම පාටක් පිටිපස්සෙම ලොකු විද්‍යාවක් හැංගිලා තියෙනවා.
මෑතකදී කරපු පර්යේෂණ වලින් හොයාගත්ත දෙයක් තියෙනවා. මේ සතාගේ වලිගයේ තියෙන්නේ සාමාන්‍ය වර්ණක (pigments). හැබැයි උගේ කර සහ පියාපත් වල එහෙම නෑ. එතන තියෙන්නේ පිහාටුවේ තියෙන හරිම සියුම් ක්ෂුද්‍ර ව්‍යුහයක් (microscopic structure). ඒකෙන් වෙන්නේ ආලෝකය වර්ණභේදනය කරන එක. ඒක හරියට සබන් බෝලයක් අව්වට අල්ලද්දී පාට පාට වෙලා පේනවා වගේ දෙයක්.
මේ පාට නවයේ කතාව හිමාලයේ පරණ ජනප්‍රවාද වලත් තියෙනවා. ඒ මිනිස්සු හිතන්නේ මේ කුරුල්ලාව දැක්කොත් ඒක ලොකු වාසනාවක් කියලා.
හැබැයි අද වෙද්දී ඒ පරිසරය වේගයෙන් වෙනස් වෙනවා. හිමාලයේ තියෙන හිම දියවෙනවා. දේශගුණය උණුසුම් වෙනවා. වනජීවී වාර්තා කියන්නේ හිම දියවීම නිසා මේ සත්තුන්ගේ පැවැත්මට බාධාවක් වෙලා කියලා. උන් පුරුදු වෙලා හිටපු උස මට්ටම් වෙනස් වෙලා. උන්ගේ සෘතුමය සංක්‍රමණ රටාවන් පවා දැන් අවුල් වෙන්න පටන් අරන්.
අපි ෆෝන් එකෙන් මේ ෆොටෝ එක බලන්නේ තත්පර දෙකයි. හැබැයි ඒක පිටිපස්සේ අපි නොදැකපු ලොකු කතාවක් තියෙනවා.
අපි කොච්චර දේවල් දැනගත්තත් වැඩක් නෑ. සොබාදහමේ තියෙන මේ පුදුම නිර්මාණ එක්ක බලද්දී, අපි තාමත් පුංචි ළමයි වගේ කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඕනෑම ලොකු කෙනෙක් උනත්, සොබාදහෙම් මේ වගේ නිර්මාණ දැක්කම, පොඩි ළමයි වගේ පුදුම වෙනවා. ඒක අනාදිමත් කාලයක ඉඳන්, අදටත් සිද්ද වෙන දෙයක්. ඒවගේම ඒක හෙටත් එහෙමම තමයි.
Photo Credit: Dr. Sudhir Hasamnis (Captured at Tharpaling, Bhutan)