07/12/2022
යුද සිනමා මානසිකත්වය තුල සැඟව ගිය
යුක්‍රේන යුද්ධයේ යථාර් ථය
----------------------------
රුසියානු-යුක්‍රේන යුද්ධයට මේ වනවිට දින 280 ක් ඉක්මවා ඇත. කියෙව්හි පරාජය තමාගේ පරාජයක් ය යන ආකල්පයෙන් පසුවූ නේටෝ සාමාජික රටවලින් ලද ඩොලර් බිලියන 40 කට අධික නොමසුරු යුද ආධාර යොදාගනිමින් සරත් සමයේ යුක්‍රේන හමුදා විසින් ඇරඹූ ප්‍රතිප්‍රහාරයේ සාර්ථකත්වය ගැන බටහිර මාධ්‍ය ජාලය විසින් නැඟූ ඝෝෂාකාරී ප්‍රශස්ති හා අතිශයෝක්තීන් මාලාව කෙමෙන් වියැකෙන සෙයකි. රුසියාව සිය අවසන් යුද සංචිතයෙන් සටන් වදිමින් සිටින බවට මෑතක් වන තුරුම කැටපෙන්වූ බටහිර චින්තකයන් හිටි අඩියේම නැවතත් සාම සාකච්ඡා ඇරබීමේ යෝග්‍යතාව ගැන ඉඟි පල කරමින් සිටින අතර හිටපු විකට නළු සෙලෙන්ස්කි පමණක් අඳුරු කියෙව් නගරයේ ආරක්ෂිත බංකරය තුල සිට තවදුරත් වහසි බස් දොඩමින් සිටී.
සැබවින්ම යුක්‍රේන පෙරමුණේ සිදුවූයේ කුමක්ද? අට මසක ගමන් මඟ ඔස්සේ හැරී බැලූ කල එය දැකීම වඩාත් පහසුය. කියෙව් නගරයේ ස්ථානගත කෙරුන යුක්‍රේන බර අවි බ්‍රිගේඩ දෙක වෙතින් එල්ල වූ අනපේක්ෂිත ප්‍රතිරොධනය මෙන්ම ඉතිහාසය තුල බොහෝ වරක් අත්දැක ඇති සටනාරම්භයේදී රුසියානු වලසා පල කල අලස කෝඩුකාටීත්වය තුල ක්ෂණීක ආණ්ඩු පෙරලියක් හරහා සටන් අවසන් කොට යුක්‍රේනය දණ ගැස්වීමේ ව්ලැදිමීර් පුටින්ගේ ‘ඒ’ සැලැස්ම සාර්ථක නොවීය. ඊට බලපෑ එක් ප්‍රධාන හේතුවක්ද තිබිණ: සෝවියට් යුද යන්ත්‍රය ව්‍යුහගත කොට තිබුනේ ඒකාකාරී මට්ටමේ පුහුණුවක් ලැබූ රෙජිමේන්තු හා ඩිවිෂන මට්ටමේ ඒකාබද්ධ සන්නද්ධ හමුදා (Combined Arms Armies) ලෙසය. එහෙත් වත්මන් රුසියානු හමුදාව සංවිධානය ව ඇත්තේ වෙන් වෙන් වශයෙන් පුහුණු කොට එක්‍රැස් කරනු ලැබූ වඩාත් කුඩා උපක්‍රමික කණ්ඬායම් (Battle Tactical Groups) වශයෙනි. සාමාජිකයන් අතර පවතින ආරම්භක ආගන්තුක භාවය හේතුවෙන් ඇති මෙහෙයුම් හා අණදෙන මට්ටමේ සම්බන්ධීකරණ හා සන්නිවේදන ගැටළු මෙම රුසියානු BTG ඒකක වල ආරම්භක කාර්යක්ෂමතාව කෙරේ සෘණාත්මක බලපෑමක් ඇති කල බව මැදහත් විචාරකයන්ගේ මතයයි. අනිත් අතට අසමතුලිත මිනිස්-යාන්ත්‍රික-වෙඩි බල සංයුතිය හානි දරා ගෙන සටන් වැදීමේ හැකියාව හීන කොට තිබිණ. ඇතැම් ඒකකයෝ 30% තරම් අඩු හානියක් යටතේ පවා අක්‍රිය තත්වයට පත් වූහ. මාර් තු මාසය තුල මෙම දුර්වලතා හඳුනා ගෙන පිළියම් යෙදීමට රුසියානු අණදෙන අධිකාරිය සමත් වුවද ඒ වනවිට කියෙව් සටනේ ප්‍රාරම්භක වාසිය ඔවුනතින් ගිලිහී තිබිණ. අනිත් අතට කියෙව් නගරය අත්පත් කොටගැනීම වනාහී රුසියානු මෙහෙයුමේ උපක්‍රමික සන්ධිස්ථානයක් විනා උපායමාර්ගික ඉලක්කයක් නොවීය. සර්ව ස්ලාව් වාදයේ අතිශය සංවේදී ස්නායූව වූ දොන්බාස් දෝණිය ඈඳා ගැනීම අරමුණු කොටගත් රුසියානු ‘බී’ සැලැස්ම ක්‍රියාත්මක වූයේ ඒ අනුවය.
එහෙත් කියෙව් සටන යුක්‍රේන යුද සංචිතය ක්ෂය කරවීය. යුද්ධාරම්භයේ තමා සතු වූ T-72 හා T -64 ඛාණ්ඩයේ යුද ටැංකි සංචිත කියෙව් සටනේදී විනාශ වීමත් පැරණි සෝවියට් ගබඩා කොට ඇති යුද වාහන එක්වර භාවිතයට ගත හැකි තත්වයේ පසු නොවීමත්, කාලතුවක්කු ගිණි බලය සතුරාට සාපේක්ෂව 1:10 දක්වා පහත වැටීමත් නිසා ඇගේ එකම අපේක්ෂාව වූයේ බාහිර ආධාර පැකේජය පමණී. තමා අපේක්ෂා නොකල තරම් ධෛර්යයෙන් යුතුව අගනගරය වෙනුවෙන් සටන් වැදුනද ඉතා පැහැදිලි හමුදාමය හේතූන් මත රුසියාවට එරෙහිව තීරණාත්මක අවසන් ජයක් ලැබීමට යුක්‍රේනය අසමත් බව ඇගේ බටහිර අනුග්‍රාකයෝද දැන සිටියහ. නේටෝවේ සැබෑ අපේක්ෂාව වූයේ රුසියානු වලසා දුර්වල කරවීමේ අටියෙන් ස්වයංඝාතක යුද්ධයක් සඳහා යුක්‍රේනය උසි ගැන්වීමයි. මේ උපාය මාර්ගික ඉලක්කය සඳහා වෙන් කල හැකි ප්‍රතිපාදන විනා රුසියාව තීරණාත්මකව පරාජය කිරීම සඳහා සෙලෙන්ස්කි ඉල්ලා සිටින මට්ටමේ දේශපාලන හා හමුදාමය ප්‍රාග්ධනයක් යුද්ධය සදහා යෙදවීමට ඔවුන් තුල සූදානමක් නොතිබිණ. ආර්ථික සම්බාධක තුලින් රුසියාව කෙටි කලෙකින් හති වැටෙනු ඇතැයි අපේක්ෂා කල නේටෝවේ අරමුණ වූයේ ඒ මොහොත උදාවන තාක් සීමිත ආධාර ප්‍රමානයක් හරහා යුක්‍රේනය පරාජයෙන් තාවකාලිකව වලක්වා ගැනීමයි: වෙනත් වචනයෙන් කිවහොත් යුක්‍රේන භූමිය හා මිනිස් බලය භාවිත කරමින් රුසියාවේ යුද සංචිතය ක්ෂය කරවීමයි. සෛද්ධාන්තිකව සැලකූ කල එය විචක්ෂණ සැලැස්මකි.
එහෙත් රුසියානු වළසා අපේක්ෂා කල අන්දමිත් හාමත් ව වැතිර නොගත්තේය. 2014 පටන් සම්බාධක ප්‍රතිරෝධී ආර්ථිකයකට අනුගත වෙමින් සිටි පුටින්ගේ සහචරයන් විවිධ විනිමය විජ්ජා තුලින් කෙටිකලකින් රූබලය ස්ථාවර කලේ සම්බාධක මාලාව එහි නිර්මාපකයන්ටම පාරාවලල්ලක් බවට පත් කරවිමිනි. එහි ප්‍රථිඵලය වූයේ එක්සත් ජනපදය හා යුරෝපය තුමුම උද්ධමනයට මුහුන දෙන අතර අඛණ්ඩ තෙල් ආදායම හා තමා අතැති යුරෝපා ගෑස් කරාමයේ වාසිය මත දීර්ඝ හා වෙහෙසකර යුද්ධයකට යුක්‍රේනය හා ඇගේ අනුග්‍රාකයන් පටලවා ගැනීමට රුසියාවට අවස්ථාව උදාවීමය. විශේෂත්වය වන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ව්ලැදිමීර් පුටින්ට නොඅඩුව ඇත. මන්ද යත් ද්‍රව්‍යමය හානි සඳහා විශාල ප්‍රතිපාදනයක් සම්ප්‍රදායික රුසියානු යුද අත්පොත තුල වෙන්කොට ඇති බැවිනි. ඉතිහාසයේ සියළු රුසියානු යුද ව්‍යාපාර වලට ආවේණික පොදු ලක්ෂණයක් වන මිනිස් ජීවිත හා හමුදා වත්කම් කැපකිරීමට දැක්වූ ඉහල සූදානම බටහිර සම්මතයන් තුලින් විග්‍රහ කිරීම අර්ථ රහිතය. එහෙයින් යුද නෞකාවක් අහිමි වීම, යුද රථ සංචිතයෙන් කොටසක් විනාශ වීම හෝ සෙබළුන් මිය යාම හේතුවෙන් රුසියාව සිය උපාය මාර්ගික ඉලක්ක හකුලාගනිමින් පසු බැසයනු ඇතැයි සිතීය හැක්කේ පරිඝනක ක්‍රීඩා වලට ඇබ්බැහි වූවකුට හෝ හොලිවුඩ් ලෝලියෙකුට පමණි. යුක්‍රේනයේ නේටෝ බූට් සපත්තු පා නගනු නොදකිනු වස් ක්‍රෙම්ලිනයට කල හැකි දෑ අපමණය.
අනිත් අතට තම පැවැත්ම රැදී ඇත්තේ යුද්ධය තුල බව මැනවින් දත් සෙලෙන්ස්කි යුද්ධය මෙහෙයවන්නේ සිය ප්‍රතිරූපය රැකගැනීමේ කෙටිකාලීන අවශ්‍යතාවන්ට අනුකූලව මිස හමුදාමය හෝ උපාය මාර්ගික අරමුණු ඇතිව නොවේ. අඳුරු කියැව් නුවර භූගත බංකරයක් තුල සිට අන්තරාකාරී මත් ඖෂධ වල උද්දීපනය යටතේ ඔහු විසින් තීරණ ගන්නා බවට කියැවෙන කටකථා වල සැබෑව අප නොදනිතත්, ඔහු යථාර්ථයෙන් විශාල ලෙස අපවර්තනය ව සිටින බව නම් පැහැදිලිය. නේටෝ යුද ආධාර මල්ල නොමසුරුව වැයකරමින් සරත් සමයේ දැවැන්ත යුක්‍රේන ප්‍රතිප්‍රහාරය දියත් කෙරුනේ ඒ අනුවයි. රුසියානුවන් නැගෙනහිරට තල්ලු කොට දැමීමමට පමණක් නොව හැකිනම් ක්‍රිමියාවද අත්පත් කොට ගැනීම ඒ යටතේ තේමා ගත කොට තිබිණ. එහෙත් මේ පුළුල් ඉලක්කය සඳහා තීරණාත්මල ලාර්යයක් ඉටු කිරීමට නියමිත යුක්‍රේන යාන්ත්‍රික බලකයේ කොඳු නාරටිය වූයේ පෝලන්තය විසින් සැපයූ T 72 යුද ටැංකි 240 පමණක් වීම මෙහිදී කැපී පෙනේ. අළුතින් ක්ෂ්ත්‍රගත කෙරුන ගැනුන පාබල ඒකක වලට අවශ්‍ය හිලවු යාන්ත්‍රික සහාය ලබාදීමට බටහිර නිෂ්පාදිත Husky TSV, Mastiff, MaxxPro, VAB සහ Sisu ආදේශක සන්නද්ධ රථ අපොහොසත් වූ අතර නේටෝවෙන් ලද සැපයුම් ප්‍රතිප්‍රහාරයේ පරිමාණය සමඟ කොහෙත්ම නොසැසඳිණ. නිදසුනක් ලෙස යුක්රේනියානුවන් විසින් ඉල්ලා සිටි අධි ජංගමශීලී රොකට් කාලතුවක්කු යන්ත්‍ර (HIMRAS) 200 ක් වෙනුවට ඔවුනට ලැබුනේ ඒකක 20 ක් පමණි: උණ්ඩ වල පරාසය වඩාත් අඩු විය. බටහිර මාධ්‍ය ජාලය කෙතෙක් ඝෝෂා කලද යුක්‍රේන ප්‍රතිප්‍රහාරය පිරිවැයට එදිරි ප්‍රතිලාභය අතිශය හීන ව්‍යාපෘතියක් බව සැඟවිය නොහේ. මන්ද යත් යහමින් ගිණි බලය යොදවා සතුරාට හැකිතාක් හානි කල රුසියානුවන් කාර්කිව්, ලිමාන් කර්සන් ප්‍රදේශ වල අන්තරාදායක නෙරු තාවකාලිකව හැරදැමමින් වඩාත් ස්ථාවර කෙටි උපක්‍රමික සීමාවක් ඔස්සේ වඩාත් ආරක්ෂිත අඩියක යහතින් ස්ථානගතවූ හෙයිනි. මේ තත්වය තුල ප්‍රතිප්‍රහාරයේ ආරම්භක ගම්‍යතාව පවත්වාගත නුහුන යුක්‍රෙනය හමුවේ වූ එකම විකල්පය වූයේ රුසියානු උපාය මාර්ගික යුද යටිතල පහසුකම් අලලා දිගු දුර ප්‍රහාර දියත් කිරීමයි. ක්‍රිමියානු පාලමට එල්ලවූ ප්‍රහාරය දෛවෝපගතය. ඉන් සිදුවූයේ නිදකිරමින් සටන් වැදුන වලසා ප්‍රකෝප වීම පමණක් බව මේ තාක් රුසියානුවන් විසින් අත නොතැබූ යුක්‍රේනයේ යටිතල පහසුකම් එල්ලකොට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් වීමය. මෙම තත්වයට මුහුණ දී සඳහා නේටෝව විසින් සැපයූ ගුවන් ආරක්ෂණ පද්ධති වලින් ඵල නෙලීමට අපහසුව ඇත්තේ රුසියානුවන් පහර දෙන පරිමානයන්ට ප්‍රමාණවත් නාශක මිසයිල ලබා දීම සැපයුම් කරුවන් අපොහොසත් නිසාය. විදුලිය බිඳ වැටීමෙන් යුක්‍රේනය තුල ඇතිවූ බලපෑමට ඔඩෙස්සාවේ හටගත් උද්ඝෝෂණ මාලාව කදිම නිදසුනකි. තත්වය සමනය කරනු වස් මාධ්‍ය ආවරණයට තහංචි පනවමින් විරෝධතා මැඩලීම ස්දහා SBU පොලිස් බලඇණී යැවීමට සෙලෙන්ස්කිට සිදු විය.
අටමසක යුද්ධයෙන් සෝවියට් අවි සංචිතය සිදී ගොස් මුළුමනින්ම නේටෝ සම්මතයන්ට අනුව හැඩ ගැසෙමින් සිටින යුක්‍රේන හමුදාවට අවශ්‍ය සැපයුම් ලබා දීමේ ධාරිතාවක් දැන් දැන් නේටෝ සාමාජික රටවලටද නොමැත. මීට ප්‍රධාන හේතුව නම් සිය යුද අත් පොත තුල දැවැන්ත පරිමාණයේ කාලතුවක්කු හා යාන්ත්‍රික මෙහෙයුම් සදහා නේටෝව සැලසුම් කොට නොතිබීමය. එක්සත් ජනපදයේ සංචිතය තුල පවා ප්‍රමාණවත් STRINGER මිසයිල, Javelin ටැංකි නාශක අවි HIMRAS රොකට් උණ්ඩ හා M 777 හොවිට්සර් උණ්ඩ තවදුරත් නොමැත. මාස 8 තුල ඒවා අනලස්ව වැය කල යුක්‍රේනියානුවෝ දැඩි අවි හිඟයකට උහුන දෙමින් සිටිති. බටහිර යුද නිපැයුම් ධාරිතාව ඉහල දැමීමට ඇති විශාලතම බාධකය නම් පැහැදිලි අනාගත වෙළඳපොලක් නොමැතිව ආයෝජනය කිරීමට ආයෝජකයන් තුල ඇති පැකිලීම හා ආරක්ෂක කර්මාන්තයේ රැකියා වල නියැලීමට විශේෂඥ වෘත්තිකයන් තුල ඇති අකමැත්තයි. අනිත් අතට ඉලක්කම් දෙකේ උද්ධමන අනුපාතය හා බලශක්ති හිඟය විසින් බටහිර සමාජීය සංයමය බිද දමා ඇත. යුක්‍රේනයට අවි සැපයීම අත්හිටුවා රුසියානුවන් හා සාකච්ඡා අරඹන මෙන් ඉතාලිය හා චෙක් රාජ්‍යය කේන්ද්‍ර කොටගෙන නොවැම්බරයේ ඇරඹුන විරෝධතා යුරෝපය පුරා පැතිර යන සෙයකි. ස්ලෝවැකියානු විද්‍යා අකඩමියට (Slovakian academy of Sciences) අනුව එරට ස්ලාව් වරුන්ගෙන් 70% යුක්‍රේනය රුසියාවට පරාජය වනු දැකීමේ අභිලාෂයෙන් පසුවන අතර බල්ගේරියාවේ 44% ක් හා ජර්මනියේ 40% රුසියාව කුපිත කරවීම පිළිබඳ සෘජුවම චෝදනා නඟන්නේ නේටෝවටය. අනිත් අතට බෝල්කන් ස්ලාව් වරු මෙන්ම හංගේරියාවේ මැග්යාර් වරුද බ්‍රසල්ස් හි යුක්‍රේන පිළිවෙත හා අනුගතවීම ප්‍රතික්ෂෙප කරති. මේ තත්වය තුල යුක්‍රේනයට දිගින් දිගටම ආධාර සැපයීම හමුදාමය වශයෙන් පමණක් නොව දේශපාලන ආර්ථික හා සමාජීය වශයෙන්ද යුරෝපා සංගමයට අභියෝගයක් වනු ඇත. සීත සමයේ එලැඹිම විසින් සටිනුහන් කෙරෙන්නේ රුසියානු ප්‍රති සම්බාධක වල නවතම ප්‍රථිඵලය වූ යුරෝපා බලශක්ති අර්බුදය තුලින් ගැටළුව උච්චාවස්ථාව කරා ලඟාවීමේ දර්ශන පෙලයි.
දේශපාලන හා මිලිටරි විචාරකයන්ගේ මතයට අනුව දැනටමත් බලශක්ති සැපයුම සියයට පණහකින් අඩාලවී ඇති යුක්‍රේනයට තවත් දැවැන්ත රුසියානු මිටි පහරක් එල්ලවීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණී. උරණ වූ වලසා තම අත්වැසුම් ගලවමින් සිටී. වාර්ගික සබඳතා හැරුනකොට තම දේශසීමා අසල තවත් ඉරාකයක් හෝ ලිබියාවක් නොදැකීමේ ආකල්පයෙන් මේ තාක් සංයමයකින් යුතුව සටන් වැදුන ක්‍රෙම්ලිනයෙන් ඉදිරියේදී සහනශීලී ආකල්පයක් අපේක්ෂා කිරීම යුක්‍රේනයට උගහට වනු ඇත. උෂ්ණත්වය හිමාංකයෙන් පහලට අංශක 20 ඉක්මවූ කල යුක්‍රේන අගනුවරට මීලඟ රුසියානු මිටි පහර එල්ල වනු ඇතැයි සැක කෙරේ. මෙය සමාන කල හැක්කේ සිවිල් වැසියන් ගැන කිසිදු තැකීමකින් තොරව එක්සත් ජනපදය යුගොස්ලාවියාවේ හා ඉරාකයේ දියත් කල ප්‍රහාරයට පමණි.
අනිත් අතට අපේක්ෂිත රුසියානු මිටි පහර යුක්‍රේන යටොතල පහසුකම් ඉලක්ක කිරීමකට පමණක් සීමාවෙතැයි සිතිය නොහැක. සිට ප්‍රධාන බල ඇණියට අමතරව එක්‍රැස් කෙරුන 380,000 ක නව සංචිතය යොදවා දොන්බාස් ආරුක්කුවේ සටන් උත්සන්න කිරීමට මෙන්ම උතුරු දිග දේශ සීමාව හරහා කියෙව් අගනුවරට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සම්භාවිතාව බැහැර කල නොහෙන අතර එය කලින් වතාවේ මෙන් කෝඩු කාර කුඩා BTG බල ඇණියකට සීමා වනු ඇතැයි සිතීමද අන්තරාකාරී උපකල්පනයක් බව රුසියානු සංචිත ක්ෂවී ඇතැයි ජුනි මාසයේ පටන් වාර්තා නිකුත් කල බ්‍රිතාන්‍ය ආරක්ෂක බලධාරීන් විසින්ම දැන් පෙන්වා දී ඇත.
රුසියාව සමඟ සාම සාකච්ඡා ඇරඹීමේ අවශ්‍යතාව බටහිර අනුග්‍රාජයන් විසින් යුක්‍රේනයට අවධාරණය කරමින් සිටින්නේ මෙවන් තත්වයක් තුලයි. මූල්‍ය හා යුදආධාර පැකේජයජ් පෙරටුකොටගෙන කියෙව් නගරයට සම්ප්‍රාප්තවූ අභිනව බ්‍රිතාන්‍ය අගමැති විසින් සෙලෙන්ස්කිට දුන් අප්‍රකාශිත පණිවුඩය වූයේ තවදුරටත් යුද්ධය වෙනුවෙන් යුරෝපය එකසත් කරවීම ලන්ඩනයට අපහසු වනු ඇති බවට කල භයානක අනතුරු හැඟවීම බව රාජ්‍යතාන්ත්‍රික ඕපා දූපා කණින් කොනින් ඇසේ. කෙසේ වුවද මෙම පණිවුඩයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම සඳහා යුක්‍රේනයට ලබා දෙන අවස්ථාවක් ලෙස රුසියානු ප්‍රහාරය තවදුරටත් ප්‍රමාද කෙරෙනු ඇතැයිද විශ්වාසයක් ඇත. එහෙත් මේ පිළිබඳ ක්‍රෙම්ලිනය දැන් දැන් දක්වන ප්‍රතිචාරයන්ගෙන් හැඟෙන්නේ කොන්දේසි විරගිත සාකච්ඡා යටතේ විනා අන් කිසිදු සටන් විරාමයකට රුසියානුවන් එකඟවීම සැක සහිත බවයි. මෙහෙයුම් මට්ටමේ ප්‍රාම්භක වාසිය යුක්රේන ඒකක සතු බවට මාධ්‍ය විසින් තවදුරටත් මවා පාන චිත්‍රය තුල කෙටි සීමාවක් තුලට පසුබැස ආරක්ෂිත අඩියක පසුවන රුසියානුවන් සතු උපායමාර්ගික වාසිය සංක්‍යාලේඛණ මඟින් තවදුරටත් සැඟවිය නොහැක.
කෙසේ වුවද යුද්ධය තුලින් සිය බලය පවත්වාගෙන යාමට වෙරදරන සෙලෙන්ස්කිගේ ස්ථාවරය වී ඇත්තේ රුසියානු හමුදා යුක්‍රේනයෙන් ඉවත්වන තාක් සාම සාකච්ඡා නොඅරඹන බවකි. බලශක්ති අර්බුදය හේතුවෙන් දේශීය වශයෙන්ද, පෝලන්තට එල්ල වූ යුක්‍රේන මිසයිල ප්‍රහාරය හරහා නේටෝව යුද්ධයට ඈඳාගැනීමට දැරූ තැත හේතුවෙන් විදේශීය වශයෙන්ද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින තම ජනප්‍රියත්වය රදවා ගැනීමට එරදරන ඔහු යුක්‍රේන හමුදා ප්‍රධානී වික්ටර් සැල්යුෂ්නි තවත් ප්‍රහාරයක් සඳහා යොමු කරවීමට තැත් දරමින් සිටී. රුසියාව යුද්ධයෙන් තීරණාත්මක ජයක් ලබනු දැකීමට නේටෝව තුල ඇති අකමැත්තෙන් ඵල දැරීමට හිටපු විකට නළුවා උපරිම තැතක් දරනු ඇත. ආරක්ෂිත සීමාවක් තුල වඩාත් සුව පහසු අඩියක පසුවන රුසියානුවන් සමඟ බලාපොරොත්තු රහිත තවත් සටනකට එලැඹීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ පරාජයේ අනතුර තුලින් හෝ නේටෝව යුද්ධයට ඈඳා ගැනීම බව පෙනේ. එහෙත් යුක්‍රේනය ලවා රුසියාව දුර්වල කරලීමෙහිලා විනා ඈ හා සෘජුව යුද වැදීමේ අපේක්ෂාවක් නේටෝවටද නොමැත. එහෙත් යුක්‍රේනය නැගෙනහිර පෙරමුණේ හමුදාමය වශයෙන් පරාජය වුවහොත් බටහිර යුක්‍රේනයට රුසියානු හමුදා ඇතුළුවීම වලක්වනු වස් නේටෝව විසින් ඒකාබද්ධ සාම බල ඇණියක් එහි යැවීමේ හැකියාව ඉහලය. එම බලඇණිය පෝලන්තය විසින් නියෝජනය කරනු ඇතැයි ක්‍රෙම්ලිනය දැනටමත් සැක පහල කරයි. එහෙයින් තම උපාය මාර්ගික ඉලක්කයන්ට සපුරා පටගැනි වූ ද්නීපර් ඉවුරු හරහා ඇදුන තවත් ‘යකඩ තිරයක’ සම්භාවිතාව පිටුදැකීමට රුසියානුවන් හැකි සෑම වීරියක්ම දරණු ඇත. එවන් නේටෝ මැදිහත් වීමක් සාධාරණීකරණය මට්ටමකට යුක්‍රේනය විනාශ නොකොට හුදෙක් බිය ගැන්වීමෙන් පමණක් ඈ දමනය කිරීමට ක්‍රෙම්ලිනය මේතාක් දැරූ උත්සාහය තුල ගැබ් වන්නේද මෙම අනතුර පීලිබඳ ව්ලැදිමීර් පුටින් තුල ඇති අවබෝධයයි. මන්දයත් කවරාකාරයෙන් හෝ නේටෝව යුක්‍රේනයට ඇතුළු වීමෙන් රුසියාවේ උපාය මාර්ගික අරමුණු මෙන්ම යුද්ධයේ පරමාර්ථයද මුළුමනින්ම බිඳ වැටෙන බැවිනි. මේ හේතුවෙන් රුසියානු යුද ලෝලීන් කෙතෙක් අමනාප වුවද යුක්‍රේනය මුළුමනින්ම බිමට සමතලා කරන අන්දමේ ප්‍රහාරයකින් හැකිතාක් දුරට වැලකී සිටිමට මේ හිටපු KGB නිළධාරියා තවදුරටත් වග බලාගනු ඇත.
අද බොහෝ දෙනා කථා බහ කරන තුන් වන ලෝක යුද්ධයක සැබෑ අනතුර උදා වනු ඇත්තේ නේටෝව යුක්‍රේනයට පාතැබීමේ වාතාවරණයක් තුල මිස බටහිර මාධ්‍ය පවසන අන්දමට අපේක්ෂාභංගත්වයට පත් පුටින් විසින් යුක්‍රේනයට උපක්‍රමික න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීමේ තත්වයක් යටතේ නොවේ.
විටෙක ඉතිහාසය පුනරාවර්ථනය වේ. එහෙත් මාධ්‍ය වාර්තා හෝ ඉලක්කම් ඇසුරින් එහි පෙලගැස්ම විග්‍රහ කිරීමට තැත් කිඊම අනර්ථකාරී විය හැක.
© Chamara Siriwardene
Center for Project & Policy Studies.................................................................................
References:
Preliminary Lessons in Conventional Fighting from Russia’s Invasion of Ukraine 2022 (Royal United Services Institute)
Anticipated Russian Winter Offensive – (Gordon M. Hahn Russian and Eurasian Politics)
Ukraine has an insatiable need for ammunition, but the US doesn’t have an endless supply (Global Security)
Ukraine’s Appetite for Weapons is straining western stockpile (Foreign Policy)