24/10/2021
පිටි මකුණා ඔබේ මල් සදහාත් හිරිහැරයක් 😬 උනාද?
- මුලින්ම අපි කෘමියා 🙂 හඳුනා ගනිමු.
පිටි මකුණා මූලිකවම ඔබට දැනගත හැකි වන්නේ පත්‍රවල පිටිපස හා නටුවේ මුල් කොටසේත්, ගෙඩිවල මතුපිට පෘෂ්ඨයේත් සුදු පැහැයෙන් යුත් පවුඩර් (පුයර) විසිරී ඇති ආකාරයෙන් දිස්වීම මගිනුයි.ගැහැනු සතා බිත්තරයක (Oval Shape) හැඩය ගන්නා අතර, ශරීරය ළා කහ පැහැතිය, දිග මි. මී. 2 – 3 පමණ වේ.ශරීරයේ මතුපිට පෘෂ්ඨයේ හරස් අතට වැටුණු ඉරි මෙන් පිහිටි ඉටි ස්ථර පිටි මෙන් දක්නට ලැබේ. ශරීරය වටා ඉටිවලින් සෑදුණු කෙටි කෙඳිද දක්නට ලැබේ.වැඩුනු ගැහැනු සතුන්ගේ පමණක් උදරය ප්‍රදේශයේ ශරීර ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විශාල කහ පැහැති පුළුන් රොදක් වැනි (1 රූපය) බිත්තර පැසක් දක්නට ලැබේ.එහි බිත්තර 100 – 600 ත් අතර ප්‍රමාණයක් තැන්පත් වී තිබේ.බිත්තරවලින් පිටවන කුඩා පැටවුන් (ශිෂූවන්) (2 රූපය) ආහාර ගැනීමට සුදුසු ස්ථාන සොයා එහා මෙහා ඇවිදින අතර (3 රූපය), ආහාර ගැනීම ආරම්භ කළ පසුව බොහෝ දුරට නිශ්චලව එක තැන රැදී සිටී.මසක් වැනි කාලයක් ඇතුළත මෙම කුඩාම ශිෂුවන් ක්‍රමයෙන් වැඩුනු සතුන් බවට පත්වේ.වර්ධනය වීමත් සමඟ ශරීර ප්‍රමාණය මිස වෙනත් වෙනසක් දක්නට නොලැබෙන නමුත්, ශරීරය මත ඉටි වැනි ද්‍රවයක් ශ්‍රාවය කර ගනී. පිරිමි සතුන්ගේ පමණක් අවසාන අවස්ථාවේ පිහාටු වැඩෙන (4 රූපය) අතර පියඹා යා හැකි වේ.
-හානි සිදුකරන ශාක වර්ග හා හානියේ ස්වභාවය.
පිටි මකුණාගෙන් විශාල ලෙස හානි සිදුවන ශාක ලෙස මඤ්ඤොක්කා, පැපොල්, අඹ, කෙසෙල්, යනා දී ශාක වර්ග ද ඊට අමතරව තක්කාලි, වම්බටු, බණ්ඩක්කා යන කෘෂි භෝග ඇතුලු තවත් බෝග බොහෝමයක් තිබේ.
නම් වශයෙන් සදහන් කලහොත් මල් හා විසිතුරු පැල වවන ඔබේ,
•අරලිය
•ජපන් අරලිය
•වද 🌺
•ක්‍රෝටන්
•පිච්ච
•සූරියකාන්ත🌻
•african violet flowers
•penta flowers
•cactus trees
•fams trees
•succulent plants
•many plant
යන ආදිය මෙන්ම තවත් බොහෝ මල් හ විසිතුරු පැල සදහා මෙම කෘමියාගෙන් තර්ජන එල්ලවී තිබේ.
පිටිමකුණා ශාකයේ යුෂ උරා බොන අතර, මෙහිදී යම් විෂක් ශාකයට ද ඇතුල් වේ. මේ නිසා පත්‍ර කහ පැහැ ගැන්වේ , ළපටි පත්‍ර විකෘති වේ. පැළෑටි කුරු වන අතර, ශාක පත් හා ඵල මත කළු පුස් ඇතිවී අවසානයේ ශාකය මිය යයි.ඊට අමතරව මෙම කෘමියා පිට කරන බහිස‍්‍රාවිය ද්‍රාවණය මත කළු පුස් වර්ධනයක් ද දැකිය හැකිය. පිටි මකුණා විසින් ශ්‍රාවය කරනු ලබන පිටි වැනි ඉටි විශේෂය තැන්පත් වීම නිසාත් කෘමියා ඇලී සිටීම නිසාත්, ගුණාත්මක බව අඩුවීම නිසාත් බොහෝ ශාක ඵල පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ.මල් හා විසිතුරු පැල විකිණීමට නුසුදුසු තත්ත්වයට පත් වේ.
තවද කෘමියාගේ හානිය හා පිටකරණ විෂ ද්‍රව්‍ය නිසා පත්‍ර කහපැහැ වීම, කුඩා වීම හා විකෘති වීම, පත්‍ර සහ ගෙඩි වැටීම සිදුවේ. රතු හා කළු කුහුඹුවන් බෝවීම හා දැලි පුස් ඇතිවීම ද මෙම කෘමි හානියේ අතිරේක ප්‍රතිඵලයකි.
-කෘමියා පැතිරී යන ආකාරය
* සුළඟ මගින් - මූලික වශයෙන් සුළඟ මගින් පැතිරීම සිදු වෙයි. කෘමීන් ආසාදිත පත‍්‍ර සුළඟට ගසාගෙන යාම මගින් විශාල ප්‍රදේශයක් පුරා සීඝ්‍රයෙන් කෘමියා පැතිර යාමේ ඉහළ අවධානමක් පවතී.
* පක්ෂීන් මගින් - ආසාදිත ශාක මත ලැගුම් ගන්නා පක්ෂීන් මත සුහුඹුලන් හා බිත්තර තැවරීමෙන් බෝ වීම පහසුවෙන් සිදුවෙයි.
* කූඹින් මගින් - මෙම පිටි මකුණු හානිය බරපතළ ලෙස ව්‍යාප්ත වන්නට හේතු වූයේ ඒ ආශ්‍රිතව දිවිගෙවන කුහුඹු විශේෂයක් නිසාය. එනම් පිටිමකුණාගෙන් වෑහෙන සීනි වැනි ද්‍රවණයකට ලොල් වූ මෙම කුහුඹුවන් පිටිමකුණන් යන යන තැන හඹා ගොස් එම සීනි ස්‍රාවය ආහාර ලෙස ගත් අතර, එම නිසාම රෝග වාහකයා ද ඉතා ඉක්‌මනින් කුහුඹුවන් සමග පැතිර ගියේය.
* මිනිස් ක්‍රියාකාරකම් මගින් - කෘමීන් සහිත ශාක කොටස් තැන තැන දැමීමෙන් ද පිටි මකුණාගේ ව්‍යාප්තිය වර්ධනය වීමට හේතුවේ.
-විශාල ප්‍රදේශයක් තුල පැතිරුණු විට බරපතල ගැටළුවක් වූ මෙම කෘමියා පාලනය අපහසු වී ඇත්තේ...
* වැඩි ධාරක ශාක ප්‍රමාණයක් තිබීම
* වර්ගයා බෝකිරීමේ හැකියාව වැඩි වීම හා ජීවිත කාලය කෙටි වීම.
* සිරුර ඉටි ආවරණයකින් වැසී තිබීම නිසා කෘමිනාශක වල බලපෑම අඩු වීම
* පුළුල් ක්‍රියාකාරී කෘමිනාශක භාවිතය නිසා ස්වභාවික සතුරන් විනාශවීම
* උෂ්ණත්වය වැඩිවන විට වේගයෙන් බෝවීම, ආදිය නිසා වේ.
මෙම කෘමියා පාලනය කරන්නේ කෙසේද?
පිටිමකුණු උවදුර පැතිරී ඇත්නම් වැඩි අවධානය යොමු විය යුත්තේ කෘමියා පාලනය කිරීම සඳහායි.
* ප්‍රධාන වශයෙන් කෘමීන් ඇති ශාක කපා ගිනි තබා පුළුස්සා දැමීම වඩාත් ප්‍රතිඵලදායකය.කැපූ ශාක කොටස් තැන තැන දැමීම හෝ කසළ ඉවත් කරන ට්‍රැක්ටර්වලින් ප්‍රවාහනය හෝ සිදු නොකළ යුතුය.
* එමෙන්ම සාමාන්‍ය වශයෙන් ආසාදිත ශාක සබන් මිශ්‍ර ජලය වේගයෙන් විදීමෙන් වරින් වර සෝදා හරින්න.ඒ සඳහා හෝස් බටයක් හෝ අත් ඉසිනයක් (hand spray) භාවිත කළ හැකිය. (5 රූපය)
* එමෙන්ම වොශින් පවුර් තේ හැදි දෙකක් ජලය ලීටරයකට දියකර එකට කොහොඹ තෙල් තේ හැදි එකක් දමා හොදින් කලවම් කර අත් ඉසිනයක් මගින් ඉසීම කල හැකිය.
* තවද ඩෙටෝල් මිශ්‍ර ජලය හෝ ordicolone කෙලින්ම සතාට ඉසීම කල හැක.
*තවද වතුරට සබන් කුඩු හා දුම්කොල කැබැල්ලක් පොඩිකර දමා එය පෙරා ඉසීම මෙන්ම ගැඹුරු භාජනයකට ඇල්බීසියා කොලය හා දුම්කොල දමා වතුර දමා බාස්කට් එක දවස් 14ක් හොදින් වසා තබා පසුව එය පෙරා ගස් වලට ඉසීමද කල හැක.
* වාණිජ වටිනාකමක් නොමැති හෝ ආහාරයට නොගන්නා ශාක වර්ග, මල් හා විසිතුරු පත්‍රිකා සහිත ශාක සඳහා සබන් කුඩු තේ හැඳි 2 ක් භූමිතෙල් තේ හැන්දක් සමඟ ජලය ලීටරයක් දියකර අත් ඉසිනයකින් (hand spray) ආසාදිත ශාක කොටස් තෙමෙන සේ වරින් වර ඉසීමෙන් උවදුර පාලනය කරගත හැකිය.
* වළක්වාගත නොහැකි මට්ටමේ දී ශාකය ඉවත් කර පුළුස්සා දැමීමෙන් ද කෘමියා පැතිරීම පාලනය කළ හැකිය.
* ඊට අමතරව ශාක කඳ වටේ ගම් ටේප්, ග්‍රීස් තැවරූ පොලිතින් පටි වැනි දෙයක් එතීමෙන් කඳ දිගේ ඉහලට ගමන් කරන කුඩා පිටි මකුණන් පාලනය කළ හැකිය. මේ ක්‍රමය ඇතැම් ගොවීන් දැනටමත් සිදු කර සාර්ථක ප්‍රතිඵල ලබා ඇත.
* වෙනත් රටවල මෙවැනි කෘමීන් පාලනය සඳහා ස්වභාවික උපක්‍රම යොදා ගනී. එනම් ඔවුන්ගේ ස්වභාවික සතුරන් වන පරපෝෂිත හෝ විලෝපිත කෘමීන් ඔවුන්ගේ ස්වභාවික නිජ බිම වන රටවලින් ගෙන්වා පර්යේෂණාගාරවල බෝ කර පරිසරයට මුදා හැරීමයි.
* ශ්‍රී ලංකාවේ ද පිටි මකුණාගේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර වශයෙන් සිදු වෙමින් පවතින නිසා එය ජෛව විද්‍යාත්මකව පාලනය කිරීමට පියවර ගෙන ඇත. මන්ද කෘමිනාශක භාවිතය තුළින් වන අතුරු බලපෑම් මේ මගින් පාලනය කළ හැකි නිසාවෙනි.
* ඇසිරෝපේගස් පැපායා (Acerophagus papaya) නම් මෙම විලෝපිතයා මීට පෙර ද පිටි මකුණු උවදුර උත්සන්න වූ රටවල පතුරුවා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති බව වාර්තාවේ.
* කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත කෘමිනාශක වන ඉමිඩග්ලෝප්රීජඩ්, තයෝමෙතොක්සාම්,ලොප්රිිඩා, ඇඩ්මයර්, ඇසිටමිප්රිවඩ් සහ මොස්පිලාන් ද භාවිත කළ හැකි අතර ඒවා දෙන උපදෙස් අනුව නියමිත මාත්‍රාව ජල පරිමාවක දිය කර ගැනිම අතයාවශ්‍යවෙයි.
* එමෙන්ම දැඩි සේ හානි වූ ශාක කොටස් කපා පුළුස්සා දැමීමෙන් අනතුරුව, ඉතිරි ශාකවලට පහත සඳහන් කෘෂිනාශකවලින් එක් වර්ගයක් නිර්දේශිත ප්‍රමාණය ප්‍රමාණයන්ගෙන් ආසාදිත ශාක කොටස් හොඳින් තෙමෙන පරිදි ඉසීමෙන් කෘමියා මර්දනය කළ හැකිය.
තයෝමෙතොක්සාම් 25% WG (eg- ඇක්ටාරා) ග්‍රෑම් 01 – 02 ක් ජලය ලීටරකට දියකර යෙදීම.
ඉමිඩොක් ලොප්‍රිඩ් 200g ග්/ලී SL ( eg- ඇඩ්මයර්, කොහිනූර්,ටැලන්ට් )මි. ලී. 01 – 02 ක් වතුර ලීටරයකට දියකරට යෙදීම.
ඇසිටැමිප්‍රිඩ් 20% sp මොස්පිලාන් ග්‍රෑම් 01 – 02 වතුර ලීටරයකට දියකර යෙදීම සිදුකළ හැකිය.
හානිය නැවත නැවත දක්නට ලැබේනම්, සුදුසු කාල අන්තරයකින් නැවත ඉහත ක්‍රමයන් අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය
* තවද පිටි මකුණා මර්දනයට ඉතාම හොද ක්‍රමයක් ලෙස ඉඟුරු, සුදුලූනු, අමු හෝ ඉදුණු මිරිස් මේ සදහා යොදා ගනී.2:2:1 ට අනුපාතය (6 රූපය) (7 රූපය) ලෙස ගෙන, එනම් ඉඟුරු හා සුදුලූනු ග්‍රෑම් 100 බැගින් ගන්නේ නම්, ඊට අමු හෝ ඉදුණු මිරිස් ග්‍රෑම් 50ක් ද කළවම් කර හොඳින් අඹරා පෙරාගත් දියරය මිලිමීටර් 300 ක් ජලය ලීටර් 10 කට මිශ්‍ර කර ඉසීමයි.මෙම දියර මිශ්‍රණය පිටි මකුණන් යහමින් ගැවසෙන බෝගවල පත්‍ර යටි පැත්තට දැවටෙන සේ දින පහෙන් පහට ස්‌ප්‍රේ කිරීමෙන් පහසුවෙන් පිටි මකුණා මර්දනය වන බව සොයාගෙන ඇත. (මෙම ක්‍රමය මැලේසියාවේ පිනෑන් පළාතේ කාබනික ගොවිතැන පිළිබඳ විශේෂ වැඩමුළුවකදී ඉදිරිපත් කල සාර්ථක ක්‍රමයකි. මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ “කැප්” CAP – Consumer Association of Penang නම් සංවිධානය මගිනි. )
* එමෙන්ම පිටි මකුණා මර්දනයට ඉතුරු බත් යොදා ගනී.පිලුනු වීමට ආ බත් අඩු කෝප්ප 1 1/2ක්ද, වතුර ලීටර් 1ක්ද, ගෙන පියනක් වසා ගතහැකි ගැබුරු භාජනයට දමාගෙන පියන හොදින් වසා අවම දින 5ත් උපරිම දින 9ත් අතර කාලයක් තබන්න. අවශ්‍ය දින ගණන හරියන තුරු පියන ඇරීමෙන් වැලකිය යුතුය.දින ගණන 8ක් 9ක් වන විට මිශ්‍රණයේ සැර වැඩි වේ (දුර්ගන්දයක් පැමිනණේවි).එසේ උවත් දින 5ක් 6ක් තිබීමද හොදටෝම ප්‍රමාණවත්. අවශ්‍ය දින ගණන තුබූපසු බත් පෙරා ජලය ස්ප්‍රේ බෝතලයකට දමා ගෙන මෙම දියර මිශ්‍රණය පිටි මකුණන් යහමින් ගැවසෙන බෝගවල පත්‍ර යටි පැත්තට දැවටෙන සේ ඉසින්න.
පිටිමකුණා කිසියම් ප්‍රදේශයක විශාල ගහණයක් ලෙස පැතීරි සිටී නම් , එවන් ප්‍රදේශයකට කෘමි නාශක වැනි කෘතීම රසායනික ද්‍රව්‍ය ඉසීම පරිසර හානිකර මෙන් ම සත්ව ජිවිත වලට ද හානියක් විය හැකිය. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල පැතිරෙන පිටිමකුණු උවදුර පාලනය කිරිමට කෘතිම රසායනික ද්‍රව්‍ය කිසිසේත් සුදුසු නොවන්නේ එමගින් මිනිස් ජිවිත වලට හා පරිසරයට වඩා ප්‍රබල හානියක් සිදු විය හැකි බැවිනි.ඒ නිසා එවිට උවදුර පැමිණිමත් සමඟ ම පාලනය කළ යුතු හෙයින් කෘෂි විශේසඥයින් ගේ උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වෙයි.