27/06/2026
☘️ සංසාරයක් තරම් ☘️
හතලිස් හයවන කොටස
දෙදෙනාම නිවස තුළට ගියේ කුතුහලයෙනි. එහි දී දුටු දෙයින් ඊතන්ගේ දෑත් මිටමෙලවී ගියේය. යලි යලිත් බුර බුරා නැගෙන කෝපය ඔහුගේ දෑසින් පිට දමන්නට විය.
" ආරාධනා........"
ඔහුගේ ප්‍රතාපවත් හඬ ආලින්දය පුරා රැව් දෙද්දි එහි අසුන්ගෙන සිටි යුවතියන් ගැස්සී හැරී බැලුවෝය.
" ස්..සර්....."
ආරාධනා බියපත් දෑසින් මිමිණුවාය. ඊතන් රකුසු කරගත් මුහුණින් යුතුව ආරාධනා වෙතට පා එසවූයේය.
" තමුසේ මේ කොහේ යන්නද...."
ඇය අතෙහි වූ ගමන් මල්ල දෙස බලමින් ඔහු ගිගුරුවේය. ආරාධනා පිළිතුරු දුන්නේ නැත. ඇය සිය දෑස් බිමට බර කළාය.
" දෙනුවන් අයියා....."
තිෂූගේ හඬත් සමඟම පිරිසගේ අවදානය නිවස තුළින් මතු වූ නන්නාඳුනන පිරිමි රුව වෙත හැරවිනි.
" උඹ කවුද... මගේ ගේ අස්සේ මොකද කරන්නේ....ඒ පාර...ඒ පාර මූව ගේ ඇතුළටත් දාගත්තද...."
ඊතන් කෑසන්නට වූයේ වියරුවෙනි. ආරාධනා මහා හඬින් හඬා වැටෙන්නට වූවාය.
" විශ්වාස නැද්ද දෙයියනේ... ඔයාට මාව එකම එක මොහොතකටවත් විශ්වාස නැද්ද....මෙච්චරකල් ආදරේ කරපු මාව විශ්වාස නැද්ද... සර්... "
ඇය ඉකිගසන්නට වූවාය.
" ඊතන් .. ඕක නවත්තපන්..."
දේවේන් ද මැදිහත් විය.
" මගේ.... ආදරේ... ඔයා තරම් වෙන... කවුරුත්ම ... දන්නේ නෑ.... සර්.... නෑ.... එහෙම නෙමෙයි... මම එහෙම හිතන් හිටියා විතරයි.... ඔයා මගේ ....හ් .... ආදරේ දන්නේ නෑ....සර්... "
ඇය නැවතත් කියවන්නට වූවාය.
" දේවා අයියා... ඔයාගේ මේ යාලුවට කියන්න... මොකක්ද උනේ කියලා මුලින්ම අහලා ඉන්න කියලා...."
තිෂූ තව හඬ අවදි කළේ ආවේගයෙනි.
" මේ ඉන්නේ ආරුගෙ හොර මිනිහා නෙමෙයි... මේ ඉන්නේ එයාගේ තාත්තගේ අයියගේ එකම පුතා... ආරාධනාගේ ඇඟේ තියෙන ලේම දුවන එකම සහෝදරයා.... "
තිෂූගේ හඬත් සමඟ සියල්ල නිහඬව ගියේය. ඊතන්ගේ දෑත් කිටි කිටියේ තද විය. දෑසට කඳුළු පිරුණේ තම ප්‍රාණසම ප්‍රේමිය සැක කිරීමේ වරද නැවත නිවැරදි කිරීමට නොහැකි බව දැනුනු විටය.
"බබා...හ් ... ම්...මම....හ්... මටහ්...."
ඔහු අපහසුවෙන් වදන් ගළපන්නට විය.
" ඇති අයියා.... ඔයා දැන් ඕක නවත්තන්න... දෙනුවන් අයියා ලංකාවට ආවේ ඊයේ රෑ.. පස්සේ එයා ආරුව පුදුම කරන්න හිතාගෙන නොකියම ඔෆිස් එක ළඟට ඇවිත් තියෙන්නේ... එතනින් එහා වෙච්ච දේවල් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ... එයා ඔයාව හවස මීට් වෙන්න හිතාගෙන තමා ඉඳලා තියෙන්නේ... ආරාධනාගේ සීයා එක්ක ඔයාලා ගැන කතා කරලා මේක පිළිවෙලක් කරන්න තමා දෙනුවන් අයියා ප්ලෑන් කළේ... ඔයාගේ ඉවසීමක් නැති මෝඩකම ඒ හැමදේම විනාස කළා... ඔයා... ඔයාගේ අත් දෙකෙන්ම... ඔයාගේ ආදරේ විනාශ කළා....."
තිෂූ වියරුවෙන් මෙන් පවසා හතිදමන්නට වූවාය.
ඊතන් සිටියේ ගොළුව ගොස් ය. ඔහුගේ මුවට වදන් ගළන්නේ නැත. ඔහු ආරාධනා වෙතට හැරුනේය. ඇය දෙසට සිය හස්තයක් දිගුකළ ඔහු ඇය ඇමතුවාය.
" බබා... මට...."
ඔහුට පැවසීමට හැකි වූයේ එපමණය.
" චූටි අයියා... අපි යමු...."
සිය ගමන් මල්ලෙහි පටිය දෑතින්ම මිරිකමින් දෙනුවන් දෙසට හැරුණු ආරාධනා පැවසුවාය.
" ප්ලීස්... බබා... මට ටිකක් කතා කරන්න දෙන්න...."
ඊතන්ගේ හඬ නෑසුනාක් මෙන් ඇය දෙනුවන්ගේ බාහුවක එල්ලුනාය. දෙනුවන් ඇය අත තිබූ බෑගය අතට ගත්තේය. ඔවුන් පය එසවූයේ ප්‍රධාන දොරටුව වෙතටය.
" ආරාධනා.... යන්න එපා ප්ලීස්...."
ඊතන් ඇගේ අතකින් අල්ලා නතර කරගනිමින් පැවසුවේය.
" විශ්වාසයක් නැති තැන ආදරයක් කොහෙද සර් ....."
ආරාධනා විමසුවේ බිඳුණු හඬිනි. ඇගේ සියුමැලි හදවත දරදඬුව ගොස් ඇත. යුවතියගේ හදවත කැබලි දස දහස් ගණකට කැඩී බිඳී විසිර ගොස් ඇත.
" ප්ලීස්... මට සර් කියන්න එපා...."
ඊතන් පැවසූයේ වේදනාවෙනි.
" සර්මයිනේ එහෙම කියන්න කිව්වේ...."
ආරාධනා සිත්පිත් නැත්තියක සේ පැවසුවාය.
"මට සමාවෙන්න බබා....."
ඔහුගේ හඬ ආයාචනාත්මකය. වේදනාබරිතය.
"මම සර්ට සමාව දුන්නේ එවෙලෙමයි... මම යන්නම් සර්.... පරිස්සමින් ඉන්න...."
ඇය ඔහු දෙස නොබලාම පියවර තැබුවාය.
" ආරාධනා.... පොඩ්ඩක් අපි මේක කතා කරලා විසඳගමු... ප්ලීස්..."
දේවේන් ඇගේ මඟ හරස් කර සිටගත්තේය.
" තවත් මොනවා කතා කරන්නද සර්.... මගේ ආදරේ... මගෙන් අහන්නෙවත් නැතිව ජජ් කලාට පස්සේ... මම තවත් මොනවා කතා කරන්නද.... එයා වෙනුවෙන්ම විතරක් පේ වෙලා හිටපු මට .. ආදරෙයි කියපු කටින්ම මට ජරා ගෑණි කියලා කතා කළාට පස්සේ... මම තවත් මොනවද කතා කරන්න ඕනේ සර්... මට එකම එක තත්පරේකට හරි ඇත්තටම ආදරේ කළා නම්... ආයේ කිසිම දවසක මගේ මේ ඇස් ඉස්සරහට නම් එන්න එපා කියන්න... ඒක තමා මම ආදරේ නාමෙන් ඉල්ලන එකම ඉල්ලීම...."
වේදනාත්මක හඬින් දේවේන් හට පැවසූ ආරාධනා යන්නට ගියාය. ඇයට පිටුපා සිටින ඊතන් එම වදන් අසා සිටියේ සිය දෙසවන් අදහාගත නොහැකිවය. ඔහුගේ බාහුවල නහර වැල් ඉලිප්පී තිබුනේ වේදනාව දරන්නට නොහැකිම තැනය. කිරිගරුඬ පැහැ වත රක්ත පැහැයට හැරී ඇත. වේදනාවම පමණක් රැගත් රුහිරය සිරුර තුළින් ගලා යන අයුරු ඔහුට දැනෙන්නට විය. ආරාධනා විසල් ආලින්දයෙන් පිටතට අඩිය තැබුවේත් ඊතන් බිම දණගසා ගත්තේත් එකටමය.
ඔහුගේ එක් හස්තයක් ලයෙහි වම්පස තදකර අල්ලාගත්තේය. දෑසින් වැටුණු කඳුළු ටයිල් පොළවෙහි වැටී බිඳී විසිරී ගියේය.ඉතිං ඔහු මේ විඳවන්නේ ඔහුගේම ක්‍රියාකලාපයන්හී ප්‍රතිඵල නොවේද...
☘️
සුදු පැහැ දිගු ගවුමකින් සැරසුණු යුවතියකි. ඇගේ අතක තිබුණු සුදු රෝස මල් කළඹ ඇයට එක්කර තිබුණේ අවිහිංසක සුදරත්වයකි. ඇගේ අතක් තන විසල් අත්ලක සිරකරගත් ආඩම්බරකාර යෞවනයාට ඇගෙන් දෑස් ඉවතට ගත නොහැකි තරම් විය.
මින් මාස කිහිපයකට පෙර කෙළිදෙලෙන් සිටි විනෝදකාමි යුවතිය දැන් කොහිදැයි සොයාගත නොහැකිය. දැන් එහි සිටින්නේ තම කුළුදුල් දරුවා කුසෙහි දරාගත් සිය මනාලයා වෙනුවෙන් බලා සිටිනා අවිහිංසකාවියකි.
" අද නම් ලියා.... ඔයා මාරම ලස්සනයි.... බඩේ අපේ පැටියා නොහිටින්න... දනී මම..."
දීප්ත ඇගේ සවනට ලංව එසේ පවසද්දි යුවතියගේ කොපුල් රත්පැහැ ගැන්විය.
" අනේ ... ඇහෙයි අනේ අනිත් අයට...."
ඇය කෝලයෙන් පැවසූවාය.
දීප්තගේ පවුලේ කිහිප දෙනෙකු හා නතාලියාගේ සොහොයුරා පමණක් එක්ව සිදු වූ ලියාපදිංචි කිරීමේ උත්සවය ඉක්මනින්ම අවසන් විය.
" එහෙනම් අයියේ.... මගේ අක්කව බලාගන්නවා.... තාත්ති කේන්තියට එදා ගෙදරින් එලෙව්වට... එයා කවදාවත්ම අක්කිට දුකක් දුන්නේ නෑ... කුමාරිකාවක් වගේ හැදුනේ...මගේ අක්කිට දුකක් දෙන්න එපා..."
ඩිහේන් එසේ පවසමින් දිප්තව දැඩිව වැලඳගත්තේය.
" කවදාවත්ම නෑ මල්ලි... බය නොවී හිටපන්....."
අවසානයේදි මනාල යුවළ රථයට නැගී පිටත්ව ගියේය. ඩිහේන් තම සොයුරිය නැගි රිය ඈතට ඇදී යන අයුරු බලාසිටියේ සතුටිනි.
☘️
" කෑවද මැණික....හෙට ස්කූල් එකේ එක්සෑම් එකක් කිව්වා නේද...."
දුරකථනය ඔස්සේ ගළා එන ප්‍රේමණීය හඬ තිෂූ අසා සිටින්නේ ආශාවෙනි.
" ඔව් මහත්තයෝ... ඔයා කෑවද... කෝ අර පොල් බූරුවා..."
ඇය විමසුවේ ඊතන් පිළිබඳව ය.
" ඌ දැන් තනිකරම බේබද්දෙක් බබා... මට නම් තේරෙන්නේ නෑ.... මට දැනුත් ඇහුනා බෝතලයක් පොළවේ ගහනවා... ඔය අද රෑ විතරක් දෙවෙනි එක... ආරාධනා ගිහින් සති දෙකක් වෙනව... එන්න එන්නම මූ පිරිහෙනවා.. මට බලන් ඉන්න බෑ බබා..."
දේවේන් පැවසූයේ තම මිතුරා වෙනුවෙන් උඔඅන් සැබෑම ශෝකයෙනි.
" ඒවා ඉතිං එයා විහින් කරගත්තුවා... "
තිෂූ පැවසූයේ කෝපයෙනි.
" ඇත්තටම ඔයා ආරාධනා ඉන්න තැනක් දන්නේ නැද්ද බබා....."
දේවේන් ඇසුවේ ආයාචනාත්මකවය. එහාපස වූයේ මද නිහැඩියාවකි.
" දන්නවා.... ඒත් මට ඒක කියන්න බෑ.. මොකද ආරාධනා මගෙන් .. යාලුවෙක් විදිහට ඉල්ලපු අන්තිම උදව්ව හැටියට ඔයාලට ඉන්න තැන කියන්න එපා කිව්වා... අනේ ප්ලීස් ඒ ගැන අහන්න එපා..."
ඇය පැවසූයේ දැඩි ස්ථාවරයකිනි.
" හ්ම්ම්ම් හරි හරි ඉතිං...."
දේවේන් පසුබැස්සේය. ඔහුට තම මිතුරා පිලිබඳව ඇති වේදනාව කියා නිමකල නොහැකිය. නමුත් ඔහුටද කළහැක්කක් නැත. ආරාධනා පිටව ගොස් සති දෙකකි. ඇය ඉන්නා ඉසව්වක් පිළිබඳව ඔවුනට කෙසේවත් අදහසක් වූයේ නැත.
" අරූ තව බෝතලයක් පොළේ ගැහුවා බබා... වතුර බොන්න වගේ ඇල්කොහොල් ගන්නේ... මට නම් තේරෙන්නේ නෑ... මම ඔයාට පස්සේ ගන්නම්...."
එසේ කියූ ඔහු දුරකථනය විසන්දි කර තම මිතුරාගේ කුටිය වෙතට යන්නට පියවර තැබුවේය.
☘️
මතු සබැදේ
සෙව්✍️