11/07/2023
🔘දරුවන්ට සිදුවන ළමා අපයෝජනය නිවැරදිව හදුනාගනිමු..
ළමා අපයෝජනය යනු දරුවෙකුට වැරදි ලෙස සැලකීම සහ වැරදිලෙස යොදවාගැනීම සහ පෙළඹවීම යි.එය ශාරීරික, මානසික හෝ ලිංගික අපයෝජන ස්වරූපයෙන් විය හැකිය. මෙම ආකාරයේ අපයෝජනය දරුවෙකු වැරදිලෙස යම් යම් දේ සදහා යොදවා ගැනීම,එසේම දරුවා නිසි ලෙස රැකබලා ගැනීමට අපොහොසත් වීම, නොඑසේ නම් නොසලකා හැරීම ලෙස හැඳින්වේ.
සාමාන්‍යයෙන් අපයෝජනයට ලක්වූ දරුවන්ගේ මූලිකවම සෞඛ්‍යයට, සුභසාධනයට සහ ආත්ම ගෞරවයට හානි සිදුවීම මෙහිදී වැලැක්විය නොහැකි කාරණයකි.
මෙම ලිපිය තුලින් ළමා අපචාර පිළිබද යම්කිසි අවබෝධයක් මෙන්ම එය දරුවාගේ මානසික සහ ශාරීරික යහපැවැත්මට බලපාන ආකාරය සහ දෙමාපියන් ලෙස හෝ වැඩිහිටියන් ලෙස එවැනි දරුවෙකුට එයින් නැවත යතාතත්වයට පත්වීමට උදව් කළ හැකි ආකාරය සාකච්ඡා කරයි.
මුලින්ම අපි මේ ළමා අපචාර මොනවාද යන්න හදුනාගනිමු..
එනම්,
කුඩා දරුවෙකු රැකබලා ගන්නෙකුගෙන් හෝ වෙනත් පුද්ගලයෙකුගෙන් දරුවෙකුට වෙතින් සිදුවන අපයෝජනයක් හෝ අපයෝජන වල ලක්ෂණ අපිට පහසුවෙන් හදුනාගත හැකි සලකුණු තිබේ. ඒවා පහත පරිදි දරුවා නිවැරදිව නිරීක්ෂණයෙන් මෙන්ම අද්‍යනයෙන් හදුනාගත හැකිවේ.
මෙහිදී කායික අපයෝජනයේ සලකුණු ලෙස..,
* පැහැදිලි කළ නොහැකි මුහුණේ හෝ ශරීරයහි තුවාල
* සමේ පිළිස්සුම් සලකුණු
* කන් වල තැලීම්
* මුඛ සහ දන්ත තුවාල
* ශරීරයහි තැන තැන ඉදිමීම්
* අභ්‍යන්තර හානි
* හිස තුවාල වීම නිසා වමනය හෝ හුස්ම ගැනීමේ අපහසුතා ආදී සලකුණු ද
ලිංගික අපයෝජනයේ සලකුණු ලෙස..,
* ලිංගික අවයව අවට තැලීම්
* වේදනාකාරී මුත්‍රා කිරීම හෝ මළපහ කිරීම
* ලිංගික හෝ ගුද මාර්ග ප්‍රදේශ අවට ස්‍රාවයක් පිටවීම වීම
* ඇවිදීමට හෝ වාඩි වීමට අපහසු වීම ආදී සලකුණු ද
එමෙන්ම නොසලකා හැරීමේ සලකුණු ලෙස..,
* දුර්වල සනීපාරක්ෂාව
* අපිරිසිදු නුසුදුසු ඇඳුම්
* වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය අවස්ථාවන් වලදී යොමු නොකර සිටීම
* රෝගී තත්ත්වයන් නරක අතට හැරීම
* හිසකෙස් ගැලවී යාම
* මන්දපෝෂණය
* අඩු බර ආදී ලක්ෂණ ද දැකගත හැකිවේ.
ඉහත සළකුණු වලට අමතරව ළමා අපචාර පිළිබඳ දරුවන්ගේ හැගීම් ප්‍රකාශනයන් වලින් හදුනාගත හැකි ඉඟිද වේ.. මෙය දරුවන් ගේ පහත විවිධ ලක්ෂණ හා ක්‍රියාකාරකම් වලින් හදුනාගැනීමට හැකිවේ. එනම්,
* ළදරුවන් අධික ලෙස හැඬීම
* නපුරු සිහින
* ඇඳ තෙත් කිරීම
* දුර්වල සන්නිවේදනය
*භයෙන් සිටීම
* ආහාර ගැනීමේ ගැටළු
* කථන අපහසුතා
* පාසලේ ඉගනීම් කටයුතු අතපසුවීම
* මත්ද්‍රව්‍ය භාවිතය ( පාසල් දරුවන් තුල ඇතිවන පෙළඹවීමකි)
* ඇඳුම් ගැලවීමට ඇති අකමැත්ත
* ශාරීරික පරීක්ෂා වලට අකමැතිවීම
* ස්පර්ශ කිරීමට විරුද්ධ වීම
ආදී විවිධ හැගීම් ප්‍රකාශනයන් තුලින් අපයෝජනය වූ දරුවකු බොහෝදුරට හදුනාගත හැකිය.
ඉහත විවිධ ආකාරයේ අප හදුනාගත් අපයෝජනයන්හි මානසික සෞඛ්‍ය බලපෑම් අපට පහතින් හදුනාගත හැකිවේ..
ශාරීරික අපයෝජනය.
මුලින්ම ශාරීරීක අපයෝජනය සලකා බැලීමේදී, මෙම ආකාරයේ අපයෝජනය යන්නෙන් අදහස් කරන්නේ දෙමව්පියන් පවුලේ කෙනෙක් හිතවතෙක් හෝ රැකබලා ගන්නන් විසින් දරුවෙකුට හිතාමතාම ශාරීරික හානියක් සිදු කිරීමයි. ශාරීරික අපයෝජනය මෙන්ම හිංසනයට ලක් වූ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් විවිධ පෞරුෂ සංවර්ධන ගැටළු වලට මුහුන දෙන අතර සමහර විට දරුවෙකුගේ මරණය සඳහාද මෙය ප්‍රධාන හේතුවක් වේ. එසේත් නැත්නම් මෙම ශාරීරීක හිංසනය මිණීමැරිමක් දක්වා දුරගිය දරුණුම හිංසනයක්ද වියහැකිවේ.
ශාරීරික හිංසනයට දරුවෙකුට අතින් හෝ වස්තුවකින් පහර දීම ඇතුළත් විය හැකිය. හානියක් කිරීමේ චේතනාවෙන් දරුවෙකු පිළිස්සීම, සපාකෑම හෝ ශාරීරිකව අඩන්තේට්ටම් කිරීම ද ශාරීරික හිංසනයක් ලෙස සැලකේ.මෙය ආබාධිත දරුවන්ට බොහෝ සෙයින් මුහුන දීමට සිදුවන අවාසනාවන්ත තත්වයකි. මෙවැනි දේට අනුබල දෙන සාධක ලෙස දරුවා ජීවත් වන පරිසරයේ ඇති විවිධ කාරණාද බලපෑහැකිය.
එනම් , දරුවෙකු දරිද්‍රතාවයෙන් හැදී වැඩුණු විට හෝ ගෘහස්ථ හිංසනය බහුලව පවතින නිවසක ප්‍රචණ්ඩත්වයට ඇති ඉඩකඩ වැඩිය.දෙමව්පියන් අතර ඇතිවන ගැටුම් සමහරවිට දරුවන් කෙරෙහි ඇතිවන ශාරීරීක හිංසනය දක්වා දුරදිග යාහැකිය.
මානසික අපයෝජනය.
මානසික අපයෝජනය පිළිබඳ සලකාබැලීමේදී..මෙම ආකාරයේ අපයෝජනය සෑම විටම ශාරීරික හානියක හෝ ක්ෂණිකව පෙනෙන ලකුණු නොතිබිය හැකි නමුත් එය ශාරීරීක හානියට වඩා බලපෑමක් ඇතිකරවන වේදනාකාරී දෙයක් වියහැකිය.
මානසික අපයෝජනයේදී බොහෝවිට සිදු වන්නේ දරුවෙකු පහත් කොට සැලකිලිම,භීතියට පත් කිරීම, හුදකලා කිරීම හෝ තමාගේ සමීපතමයකු විසින් හෝ ගුරුවරුන් වැඩිහිටියන් විසින් නිරන්තරයෙන් විවේචනය කිරීම, තර්ජනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම හෝ කිසිදු සහයෝගයක් හෝ ආදරයක් ලබා නොදීමයි.
ලිංගික අපයෝජනය.
ලිංගික අපයෝජනය පිළිබඳව සලකාබැලීමේදී.., ලිංගික අපයෝජනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින් ලිංගික ක්‍රියාවන්ට බලහත්කාරයෙන් සහභාගී කරවීමයි.දරුවාට සම්පූර්ණයෙන් නොතේරෙන ලිංගික ක්‍රියාවල යෙදීමට බල කිරීම ද එවැනි දෙයක් සදහා විවිධ ක්‍රම මගින් හෝ රැවටීම් මගින් පෙළබවීම හෝ බලෙන් සිදුකරවීම මෙහිදී සිදුවේ.මෙම අපයෝජනය නිසා දරුවන්ට සිදුවන මානසික සහ පෞරුෂත්ව සංවර්ධ බලපෑම ඉතා විශාලය.
මෙහිදී ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අමතරව ස්පර්ශ නොවන අනිසි ක්‍රියා ද අපයෝජන වර්ගීකරණය යටතේ පැමිණිය හැකිය. දරුවෙකු වෙනත් අයගේ ලිංගික ක්‍රියාකාරකම්වලට නිරාවරණය වීම ලිංගික දර්ශන ඇතුපත් වීඩියෝ පටහෝ සගරා ආදිය පෙන්වීම හෝ දරුවන්ගේ නුසුදුසු ඡායාරූප ගැනීම මෙයට ඇතුළත් වේ.
නොසලකා හැරීම .
නොසලකා හැරීම නොහොත් අතහැර දැමීම ගැන සලකාබැලීමේදී.., මූලිකවම මෙය දරුවෙකුගේ මූලික අවශ්‍යතා සපුරාලීමට භාරකරුවෙකු/දෙමාපියෙකු අසමත් වීම හෝ නොමැතිවීම මත සිදුවන අපයෝජන තත්වයකි.එය ළමා අපයෝජනයේ වඩාත් සුලභ ආකාරය වන අතර, ළමා ආරක්ෂණ සේවා වෙත ලැබෙන වාර්තාවලින් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ළමා නොසැලකිල්ල පිළිබඳ ඇතිවන සිදුවීම්වේ.
නොසලකා හැරීම විවිධ ආකාරවලින් සිදු වන අතර සාමාන්‍ය ලෙඩක් වූ විට දරුවාට නිසි ප්‍රතිකාර ලබානොදීම, නිසි ආහාර වේලක් දරුවෙකුට ලබානොදීම, නිසි රැකවරණය නොඇබීම, දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහීවීම, දරුවන්ගේ විවිධ ගැටළු වලට ඇහුන්කන් නොදීම, දරුවන් අද්‍යාපනයට යොමු නොකිරීම ආදී විවිධ ස්වරූප වලින් සිදුවේ.
ළමා අපචාරයේ බලපෑම.
මෙම විවිධ ආකාරයෙන් සිදුවන ළමා අපචාර දරුවන්ගේ යහපැවැත්මේ සෑම අංශයකටම දුරදිග යන බලපෑම් ඇති කරයි.
ශාරීරික අපයෝජනයේ බලපෑම.
ශාරීරිකව, දරුවන්ට අස්ථි බිඳීම්, පිළිස්සුම්, මුහුණේ හෝ ශාරීරික විරූපණයන් සහ ශාරීරික හිංසනයන් නිසා ඇති වන විවිද ලෙඩ රෝග ඇතීවීම් වැනි වේදනාවන්ට ගොදුරු විය හැකිය. මෙම ප්‍රතිකාරයේ මානසික ප්‍රතිවිපාක නිසා දරුවන්ට PTSD හෙවත් පශ්චාත් ක්ලමත ආභාද හෝ සංජානන දුර්වලතා ඇති විය හැක.
මානසික අපයෝජනයේ බලපෑම.
මානසික අපයෝජනය තුලින් දරුවාගේ පෞරුෂත්ව සංවර්ධනට විශාල බලපෑමක් ඇතිවිය හැකිවේ.මෙම අපයෝජනය මොළයේ ඍණාත්මක බාධා කිරීම්, කාංසාව, මානසික අවපීඩනය, අඩු ආත්ම අභිමානය, සතුරු භිය, සහ වැඩිහිටි වියේ මුල් අවදියේ මත්පැන් භාවිතය වැනි සැලකිය යුතු වැරදි පුරුදු සඳහා පෙළබියහැකිවේ.
ලිංගික අපයෝජනයේ බලපෑම .
ළමුන්ගේ ලිංගික අපයෝජනයහි බලපෑම ඔවුන්ගේ යහපැවැත්මට කෙටිකාලින හා දිගුකාලීන බලපෑම් ඇති කරයි. ළමා ලිංගික අපයෝජනයෙන් දිවි ගලවා ගත් අයට ඔවුන් විඳදරාගත් සිදූවීම පිළිබඳ කෝපය, වරදකාරි හැඟීම සහ ලැජ්ජාව දැනිය හැකිය.
ලිංගික අපයෝජනවලට ලක් වූ දරුවන්ට ජීවිතයේ කාංසාව, මානසික අවපීඩනය සහ නුසුදුසු ලිංගික හැසිරීම් වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇත. පසු වසරවලදී, මෙම දිවි ගලවා ගත් අය මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, විවාහ/පවුලේ දුෂ්කරතා සහ සියදිවි නසාගැනීම් පිළිබඳ කනස්සල්ලට පත්වන ප්‍රශ්නවලට මුහුණ දිය හැකිවේ.
නොසලකා හැරීමේ බලපෑම.
ප්‍රයෝජනවත් මෙවලම් සහ නිසි සංවර්ධනය සඳහා සැලකිල්ලක් නොමැතිව ඉතිරි වූ දරුවෙකු පාසලේදී දුර්වල ලෙස ක්‍රියා කළ හැකිය. මෙම දරුවා අතහැර දැමීමේ ප්‍රතිඵලයක් ලෙස චිත්තවේගීය හා චර්යාත්මක ගැටලු ප්‍රදර්ශනය කිරීමට ද ඉඩ ඇත.
එසේම ලෙඩ රෝග නොසලකාහැරීම හේතුවෙන් අක්මාව හා හෘද රෝග වැනි ජීවිතයේ පසුකාලීන දුෂ්කරතා ළමා වියේදී ලැබුණු දුර්වල ප්‍රතිකාර නිසාද ඇතිවිය හැකිවේ.
ළමා අපයෝජනයෙන් දරුවකුට සිදුවන බලපෑම් කළමනාකරණය කරන්නේ කෙසේද?
දෙමාපියෙකු හෝ භාරකරුවෙකු අතින් ළමා අපයෝජන සිදු වූ බවට සැක කෙරෙන අවස්ථා වලදී, මෙම ප්‍රතිකාරය ළමා ආරක්ෂණ සේවා හෝ වෙනත් අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත වාර්තා කළ යුතුය.
ශාරීරිකව අපයෝජනයට ලක් වූ දරුවන් කොපමන අපයෝජනයකට ලක් කරඇත්ද යන්න නිවැරදිව දැනගැනීම සඳහා පරීක්ෂණ පවත්වා ඒවාට නිසි ප්‍රතිකාර ශාරීරීකව මෙන්ම මානසිකව සිදුකිරීම තුලින් දරුවාට සිදුවූ හානිය යම් තරමකින් හෝ අඩුකරගත හැකිවේ.
ශාරීරික, මානසික සහ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වූවන්ට මෙන්ම නොසලකා හැරීමෙන් ජීවත් වූ දරුවන්ට සුදුසු රැකවරණයක් අවශ්‍ය වේ. මනෝචිකිත්සාව, ඖෂධ හෝ මේ දෙකේම එකතුවක් වැනි ප්‍රතිකාර භාවිතයෙන් මෙම දරුවන් ආරක්ෂා කිරීම සහ යතාතත්වයට පත්කරගැනීම ක්‍රමයෙන් සිදුකර හැක.
අපයෝජනය සහ නොසලකා හැරීම සම්බන්ධ ගැටළු විසඳීම සඳහා චිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා මෙන්ම
මෙහිදී මූලිකවම වැඩිහිටි-ළමා සබඳතා සඳහා සුදුසු හැසිරීම් දරුවාට ඉගැන්වීමද නිසිලෙස සිදුකිරීම අවශ්ය වේ. එමෙන්ම වැඩිහිටියන්ට ලෙස දරුවන් ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳ නිසි අවබෝධය සහ අවදානය නිරතුරුවම පවත්වාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.
දරුවෙකුගේ පෞරුෂත්ව සංවර්ධන අවදියේදී අත්විඳිය හැකි වේදනාකාරී සහ අවාසනාවන්ත සිදුවීමකි අපයෝජනය. විවිධ ආකාරයේ ළමා අපචාර දරුවකුගේ පෞරුෂත්ව සංවර්ධන කෙරෙහි ඇතිකරන බලපෑම් නිවැරදි මනෝ උපදේශන සහ චිකිත්සක ක්‍රම භාවිතයෙන් කළමනාකරණය කළ හැකිය.
ළමා අපචාර යනු දරුවන් තැතිගන්වන සමාජයේ බහුලව සිදුවන අපයෝජන ආකාරයකි. ශාරීරික පහරදීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය හෝ නොසැලකිලිමත්කම නිසා සිදුවන මෙම අපයෝජන වලින් යතාතත්වයට ඒම දුෂ්කර විය හැකි නමුත් නිසි ප්‍රතිකාර මගින් සුවය ලැබිය හැකිය. අපයෝජනයෙන් පීඩාවට පත් දරුවෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීම හෝ අහිතකර ප්‍රතිඵල කළමනාකරණය කිරීම සඳහා ඖෂධ ලබා දීම ළමා අපයෝජන කළමනාකරණය සඳහා ඵලදායී ක්‍රම වේ. අපයෝජනයෙන් දරුවෙකු ආරක්ෂා කිරීම සඳහා, වැරදි ලෙස සැලකීම පිළිබඳ සැක සහිත සිද්ධීන් නිවැරදි බලධාරීන්ට වාර්තා කිරීම වැදගත් වේ.
🔘ළමා අපයෝජනය අවස්ථාවකදී පැමිණිලි කිරීම සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා කඩිනම් යාන්ත්‍රණය ලෙස 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ක්‍රියාත්මක වේ.
දවසේ පැය 24 පුරාවට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වන මෙම ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය වෙත ඕනෑම ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් නොමිලේ ප්‍රවේශවීමේ හැකියාව ඇත.
මෙහිදී දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් සෑමවිටම දරුවෙකු අපයෝජනයට ලක්වීමට පෙර වලක්වාගැනීම වගකීමකි. එනම් සෑම විටම දරුවා මේ සම්බන්දව දැනුවත් කිරීම මෙන්ම. සැලකිලිමත් වීම වැදගත්වේ . දරුවෙකු ළමා අපයෝජනයෙන් වලක්වාගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මීලග ලිපියෙන් අපි හදුනාගනිමු.
චතුරි කරතොටගේ
මනෝවිද්‍යා උපදේශිකා
මනෝවිද්‍යා විශේෂවේදී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය