07/12/2025
🌪️ දිට්ටා මට කියාදුන් පාඩම: නැවත ඉපදුණු ජීවිතය සහ අම්මාගේ සෙනෙහස 👨👩👧
2004 සුනාමි ව්‍යසනයෙන් පසු අප ඉතිහාසයේ අත්දුටු දරුණුතම ස්වභාවික විපත වූයේ නොවැම්බරයේ අග භාගයේ අප ගිලගත් දිට්ටා සුළි කුණාටුව යි. සුනාමියේ බරපතලකම මෙතරම් දැනුනේ නැත්තේ, අද මෙන් නොව එදා අප මෙවැනි තර්ජනයක් දෙස මව්පියන් ලෙස නොබැලූ නිසාවෙන් විය හැකි ය.
මේ දරුණු ඛේදවාචකය තුළ, විනාශ වූ ජීවිත හා දේපළ අතරින් මියගොස් නැවත පණ ලැබූ ජීවිත මෙන්ම අළුතින් ඉපදුණු මානව ගුණාංග ද මම දුටුවෙමි.
"මා තුළ සිටි, මා නොදුටු 'මම' නැවත පණ ලබා ඇත."
මිනිසුන් තුළ යටපත්ව තිබූ සහකම්පනය, අනියතබවට මුහුණ දීම, සාධාරණත්වය, කැපවීම සහ නොපසුබට උත්සාහය වැනි අගනා 'දේපළ' නැවත උපත ලබා ඇති බව මම දුටුවෙමි. ව්‍යසනයක්, මිනිසත්කමේ සැබෑ වටිනාකම අපට පෙන්වා දුන්නා සේ ය.
💖 මවකගේ සිතුවිලි සාගරය
මවක් ලෙස මා ලද මේ අත්දැකීම මා ඔබ සමඟ බෙදා ගනිමි:
මේ මොහොතේ, "මගේ පණ" වූ දියණිය මා අසලම සුවසේ නිදා සිටී. මා බොහෝ වේලාවක් ඇය නිදා සිටින දෙස බලා හිඳිමින්, සිතුවිලි සාගරයක කිමිදෙමි. ඇයට කළ යම් සුළු තරවටුවක් හෝ ඇත්නම්, ඒ ගැන මේ මොහොතේ මම දුක් වෙමි. ඇගේ සුරතල් කතා සිහිපත් කරමින්, සැමියා සමඟ ඒ ආදරණීය අවස්ථා නැවත විඳිමි.
ඇගේ හෙට දවස ගැන සිතමින්, නිදා සිටින අයට "I love you පණ. මම ඔයාට ආදරෙයි මැණික" කියා ඇය තුරුල් කර ගනිමින් හෙමින් මුමුණමි. ඇගේ කුඩා කාලයේ ඡායාරූප බලමින් කඳුළු සලමි... (ඇය ලොකු වී ඇති නිසා, ඇය ලොකු වෙනවාට මා කැමති නැත)
මෙය මාගේ සාමාන්‍ය චර්යාව යි. එහෙත් දිට්ටා සුළි කුණාටුව මට තවත් මහා පාඩමක් කියා දී ඇත.
"අපේ ජීවිත හරි අවිනිශ්චිත යි... මොනවා වෙයිද කියන්න බෑ."
මේ අවිනිශ්චිතබව නිසා, වෙනදා මෙන් දරුවාට කේන්ති ගැනීම මම දැන් අඩු කරමි. (ඇය මා ළඟ නැතැයි දැනෙන විට වැඩිපුර කේන්ති ගිය, ඇගේ ආදරයට අසීමිතව ආදරය කරන අම්මා කෙනෙකු වන මම අද තීරණය කරමි):
අද දවස, අම්මා සහ අප්පච්චී සමඟ ගත කරන හැම මොහොතක්ම ඇයට සුරංගනා ලෝකයක් තරම් ලස්සන, සතුටින් සහ ආදරයෙන් පිරුණු එකක් කරන්නට උත්සහ කරමි. ඇත්තෙන්ම, අපේ දියණිය අපිත් සමඟ ඉතා සතුටින් හා ආදරයෙන් කාලය ගත කරයි. සුරංගනා ලෝකයක් තරම් ලස්සන ළමා කාලයක් අපගේ ආදරයත් සමග ඇය අඅත්විදී. නමුත්, මට දැන් ඒ මොහොත, ඊටත් වඩා වැඩියෙන් ඇයට දෙන්නට සිතේ.
⏳ කාලය නවතන්නට හැකි නම්...
ඔබටත් එසේ සිතෙනවා ඇතැයි මම විශ්වාස කරමි. මා අවසානයට ඔබට කියන්නට කැමති දේ මෙය යි:
අපේ දරුවෝ සදහටම ඔවුන්ගේ ළමා කාලයේ රැඳී සිටින්නේ නැත. ඔවුන් ලොකු වෙයි, ඔවුන් ස්වාධීන වෙයි.
ඒ නිසා, ඊට පෙර ඔවුන්ගේ සම්පූර්ණ ළමා කාලය තුළ, අපි ඔවුන්ව ආදරයෙන් වැළඳගෙනම ඉමු. අත් නොහැරම.
"කවදාවත් පසුතැවිල්ලක් ඇති නොවන්නට ම."
ඔරලෝසුවක බැටරිය ගලවා, කාලය ගෙවී යන එක නැවැත්වීමට හැකි නම්, මම ඒ අවස්ථාව ලබාගෙන හැමදාම අපි තුන්දෙනාට මේ ආකාරයෙන්ම ආදරයෙන් සිටින්නට සලස්වමි. නමුත් එය කළ නොහැකි යි. ඉතින් අපි පළමුව අපේ ආදරණීයන්ට එක මොහොතක් අත නොහැර ආදරය කරමු, යුතුකම් ඉටු කරමු. අනාගතයේ පසුතැවීමක් ඇති නොවෙන්නම..
දෙවනුව.. අපිට මේ වගේ ජීවිතයක් ලැබීම වෙනුවෙන් අපේ මව්බිම වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කරමු. රාජකාරියට අවංක වෙමු. සාධාරණ ඉපයීමක් කරමු. එවිට සොබාදහම අපි වෙනුවෙන් අපේ ආදරණීයන් ආරක්ෂා කරාවි.
පහන් මා