27/02/2026
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුව ලෙස වර්තමාන ක්‍රිකට් පාලක ව්‍යුහයේ ක්‍රියාකලාපය සැලකිය යුතු බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි. රටේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ලක්ෂ 120කට අධික ජනතාව ඡන්දය භාවිතා කරන නමුත්, ජාතික ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන්නේ වරදාන හා බල ගනුදෙනු මත ක්‍රියා කරන සීමිත සංවෘත කණ්ඩායමක් වීම මෙහි ඇති විශාල විරෝධාභාසයයි.
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ කුමාර් සංගක්කාර, රොශාන් මහානාම වැනි ජාත්‍යන්තර ගෞරවය හිමි පුද්ගලයෙකු වුවද, පවතින ක්‍රිකට් ඡන්ද ව්‍යුහය තුළ නිලවරණයකට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය කිරීම අතිශය අපහසුය. එයට හේතුව මෙය ප්‍රතිපත්ති, දැක්ම හෝ ක්‍රීඩා සංවර්ධනය මත පදනම් වූ ක්‍රමයක් නොව, වරදාන සහ පෞද්ගලික වාසි මත පදනම් වූ ගනුදෙනු ක්‍රමයක් වීමයි.
ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම පාලකයන් තෝරාගන්නේ සංඛ්‍යාත්මකව කුඩා නමුත් වගකීමෙන් යුතු නියෝජිත පද්ධති හරහාය. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලනය ප්‍රාන්ත සංගම් හරහා සීමා වූ ඡන්ද සංඛ්‍යාවක් මත සිදු වන අතර, එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පාලනය counties පද්ධතිය මත පදනම් වේ. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් මණ්ඩලය වන ඉන්දියාවේ පවා තීරණ ගන්නේ සීමිත නියෝජිත පිරිසක් විසිනි. එම රටවල ක්‍රිකට් ව්‍යුහයන් නිර්මාණය වී ඇත්තේ වෘත්තීයභාවය, වගවීම සහ දිගුකාලීන සැලසුම්කරණය ආරක්ෂා වන ආකාරයෙනි.
ඊට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලෝකයේ අනෙකුත් මණ්ඩල සමඟ සසඳන විට අතිවිශාල ඡන්ද පද්ධතියක් සහිතය. සාමාජිකයන් 140ට අධික සංඛ්‍යාවක් අතරින් ඡන්ද 60ක් පමණ විධායක සභාව තේරීමට භාවිතා වන අතර, එහි ඡන්ද බලය පූර්ණ සාමාජික ක්‍රීඩා සමාජ, අනුබද්ධ සාමාජිකයන්, දිස්ත්‍රික් සහ පළාත් සංගම් මෙන්ම විවිධ ආයතන අතර බෙදී ඇත. මෙම ව්‍යුහය තුළ තීරණාත්මක බලය සතු වන්නේ ප්‍රධාන ක්‍රීඩා සමාජ කිහිපයකට වන අතර, බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධනයට සැබෑ දායකත්වයක් නොදක්වන නාමික සමාජ පවා බල දේශපාලනය තුළ වැදගත් ස්ථානයක් ලබා ගන්නා බවට චෝදනා පවතී.
නිලවරණ සමයන්හි වරදාන, සංචාර, උපකරණ සහ මූල්‍ය වාසි හරහා ඡන්ද ප්‍රවණතා බලපාන බවට ඇති විවේචන නිසා ක්‍රිකට් පාලනය පිළිබඳ මහජන විශ්වාසය දැඩි ලෙස අඩු වී ඇත. මේ තත්ත්වය තුළ ගැටලුව පුද්ගලයෙකුට සීමා නොව, සම්පූර්ණ පද්ධතියේ ව්‍යුහමය දුර්වලතාවක් බව පැහැදිලිය. Institution එකක් දූෂිත ව්‍යුහයක ක්‍රියාත්මක වුවහොත්, පුද්ගලයන් මාරු වුවද ප්‍රතිඵල වෙනස් නොවන බව පසුගිය වසර ගණනාව පෙන්වා දී ඇත.
2016–2018 කාලය තුළම බොහෝ ක්‍රීඩා ලෝලීන් තේරුම් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයට පමණක් සීමා නොවන බවත්, governance, planning සහ accountability සම්බන්ධ ව්‍යුහමය අර්බුදයක් බවත්ය. අදටත් විවාද බොහෝවිට හැඟීම් මත පදනම් වූවක් වන අතර, විසඳුම් පිළිබඳ සංවාද අඩුය.
රටේ පොදු ජනතාව ක්‍රිකට් ආයතනය දෙස බලන්නේ අකමැත්තෙන් වුවද, එහි පාලකයන් තේරීමට ඔවුන්ට සෘජු බලයක් නොමැත. බලය සීමිත ඡන්ද ජාලයකට පමණක් සීමා වී ඇති අතර, එවැනි පද්ධතියක් තුළ ප්‍රතිපත්තිගරුක නායකයෙකුට ජයග්‍රහණය කිරීම අතිශය දුෂ්කර වේ. මෙය ජනතා මතයක් මත නොව, වරදාන මත ක්‍රියා කරන voting economy එකක් ලෙස බොහෝ දෙනා විග්‍රහ කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ පුද්ගල මාරුවක් නොව governance reset එකකි. ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ඡන්ද සංඛ්‍යාව තාර්කික මට්ටමකට අඩු කිරීම, ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත වෘත්තීයමය පාලක මණ්ඩලයක් පත් කිරීම, ඡන්ද අයිතිය ප්‍රතිසංවිධානය කිරීම සහ මූල්‍ය හා පරිපාලන ක්‍රියාවලීන් පූර්ණ විනිවිදභාවයකට යටත් කිරීම අත්‍යවශ්‍ය වේ.
අපිට ඇත්තටම ක්‍රිකට් ගැන ආදරයක් තිබේ නම්, දිගින් දිගටම පරාජයන් සමඟ ජීවත්වීමට වඩා කඩිනම් වෙනසක් ගැන සිතීම අවශ්‍යය. අවශ්‍ය නම් තාවකාලික reset එකක් හරහා domestic ක්‍රිකට් ශක්තිමත් කර නව පරපුරක් ගොඩනගා නැවත ලෝක මට්ටමට පැමිණීම වඩා වටිනා ආරම්භයක් විය හැක. ක්‍රිකට් තහනමක් අවසානයක් නොව, නැවත ගොඩනැගීමේ අවස්ථාවක් ලෙසද දැකිය හැක.
අවසානයේ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ක්‍රිකට් පවතින්නේ පාලකයන් නිසා නොව, ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයා නිසා බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්ගේ අයිතිය ඡන්ද ගනුදෙනුකරුවන්ට නොව, ක්‍රීඩාවට හදවතින් බැඳුණු ජනතාවටය. වෙනසක් අවශ්‍ය නම්, fan conflicts නොව system change එකෙන් ආරම්භ කළ යුතුය.