වර්ණ

වර්ණ සුදු කළු අළු ජීවිතවල සැඟවුණු වර්ණ තාන සොයායන ඩිජිටල් කතන්දරකාරයා...

Warna offbeat Stories...2025.12.06සෝෂල් මීඩියා මෙ(හො)රු මෙරු කියන්නේ හිටි ගමන් සක්‍රිය වෙන අත් තටු දෙකක් තියෙන පියාඹලා ය...
06/12/2025

Warna offbeat Stories...
2025.12.06

සෝෂල් මීඩියා මෙ(හො)රු

මෙරු කියන්නේ හිටි ගමන් සක්‍රිය වෙන අත් තටු දෙකක් තියෙන පියාඹලා යන්න හැකියාව තියෙන පුංචි කෘමි ජාතියක්. එහෙම ජීවීන් කොටසක් ඉන්නවද උන් කොහේද ඉන්නේ කින්ද මන්ද මුකුත් හිතාගන්නත් බැරි වෙන්න මුන් හිටපු ගමන් පොළොවෙන් උඩට එනවා. ඊට පස්සේ හරිම කෙටි කාලයකින් කොහේ හරි හැපිලා තටු විතරක් ඉතුරු කරලා අතුරුදන්වෙලා යනවා.

මහ වැස්සක්, සුළි කුණාටුවක්, සුනාමියක්, භූමි කම්පාවක්, නාය යාමක් වගේ මහපොළොවත් කම්පා වෙන ස්වභාවික විපතකදි එළි බහින සෝෂල් මීඩියා ඇක්ටිවිටීස්ල නැත්නම් සමහර කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන්නෙත් මෙන්න මේ මෙරු වගේ මරු ජාතියක්.

මෑත කාලීනව රටට සිද්ධ වුණු විපත් ගාණනාවකදිම මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ගේ ජීවන චක්‍රය ක්‍රියාත්මක වුණේ එකම විදියකට. ස්වභාවික විපතක් වෙන්නම ඕන නැහැ. දේශපාලනමය වශයෙන් සංවේදී මිනිස්සු දහස් ගණනින් එකතු වුණු තැන්වලත් මේ අය මතු වුණා. පොදු ජන ජීවිතයට ඉතාම සංවේදී ඕනෑම කාරණාවකදි ඒ තැන්වලට බැහැලා ග්‍රවුන්ඩ් එක අල්ලගන්න එයාලා වැඩ කළා. කැමරාවක් මයික් එකක් එක්ක එයාලා ඒ තැන් ආක්‍රමණය කළා.

මෙයාලා නිතරම ඇල්ලුවේ මිනිස්සුන්ට ගොඩක් සංවේදී තැන්. අපේ මිනිස්සුන්ව ඉමෝෂනල් කරන හැටි මේ අය හොඳට දැනගෙන හිටියා. අදාළ තැන්වලට ගිහින් ලයිව් වීඩියෝස් කිහිපයක් කළ ගමන් එයාලගේ ෆෑන් බේස් එක මෙයාලා වටේ පොදි ගැහුණා.මේ අය ලේ මස් ඇට නහර තියෙන සාමාන්‍ය මිනිස්සු කියන එකත් අමතක වුණා. දේවත්වයට පවා ඇන්දුවා.

එයාලා දේවාභරණ ඇඳගෙනම අපිව අන්දනවා කියලා මිනිස්සුන්ට තේරුණෙත් නෑ. තේරුණද දන්නෙත් නෑ. හැබැයි වරින් වර දිගටම සිද්ධ වුණේ එකම දේ. මුහුණු ටිකක් වෙනස් වුණා එච්චරයි. මේ ගංවතුරෙ වෙන මූණු ටිකක්. සමහර විට කලින් අයට ආපහු වතුරෙ බහින්න ඕන නැති තරමට ටිකට් එක ඇදෙන්න ඇති.

මේපාර එළියට ආව ඩෙම් පසන්ගේ සහනාධාරවල හොර බිල් කියන්නේ අපි ඒ ඇන්දුන එකේ උච්චතම මොහොත. මෙච්චර කාලයකට කිසිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් ඔය වගේ බිල් පිටින් එළියට දැම්මෙ නැහැ මතක ඇති විදියට. ඒකෙන් හොඳටම තේරෙනවා මේකා ගංවතුරකට බැහැලම නෑ කියලා. කිරි කෝඩුවා වතුරට බැස්ස ගමන් නාගත්තේ ඒකයි. මේ සිද්ධියෙන් අපි තේරුම් ගන්න ඕන එකම දේ ඩෙම් මේ වැඩේට ආධුනිකයෙක් කියන එක විතරයි.

ඩෙම් පසන් වගේ නෑ අරයා..එයා සුපිරියට කළා..මෙන්න නියම දෙවිවරු..ගංවතුරෙනුත් ගසා කෑවෙ නෑ වගේ සිතුවිලි එන්නේ ඔයා කවදාවත් ව්‍යසනයකින් ගසා කන මානසිකත්වයක කෙනෙක් නොවන නිසා විතරයි.ඒත් ඔයා නොහිතුවට අනිත්‍ අය මේ වැඩේට ඔස්තාර්ලා. ඒ කියන්නේ ගංවතුර,සුළි කුණාටු කාපර්ලා. අහුනොවෙන්න ගේම ගහනවා. ඕව විගණනය වෙන්න තැනක් නැහැ කියලා ඔස්තාර්ලා දන්නවා. අපිට කියන්න බැහැ අවංකවම චේතනාවෙන් වැඩේට බැස්ස එකම එක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්වත් නැහැ කියලා. ඇති..ඒත් එහෙම රෙකමන්ඩ් කරන්න තරම් කිසිම සහතිකයක් අපට නැහැ.

කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ මිනිස්සු පොළඹවන්න පුළුවන් බලයක් තියෙනව කියන එක. ඇත්ත මේ වෙලාවේ එයාලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔවුන්ට පුළුවන් මිනිස්සුන්ට උදව් කරන්න ඇඟේ කිසිම කැත කුණක් නොගෑවෙන විදියට. හොඳට හිතල බලන්න රජය නම් කරපු අරමුදල ගැන මෙන්ෂන් කරලා මිනිස්සුන්ට උදව් කරන්න කිව්වෙ කීයෙන් කීයද? ඩෙම් පසන් රජයේ අරමුදල් තිබෙන බව දැක්කෙ නෑලු. එච්චරවත් සෙන්ස් එකක් නැති මිනිහෙක්ට බිලක් බැලන්ස් කරගන්න බැරි වුණ එකේ ලොකු පුදුමයකුත් නැහැ. හදිසි ව්‍යසනයකදී රටක් විදියට සහන අරමුදලක් ආරම්භ කරන බව ඔය පකීර්ලා නොදැන ඉන්න නම් කොහෙත්ම විදියක් නැහැ.

බෙල්ල කඩාගෙන, ඇස් රතු කරගෙන, නින්දක් නැතිව සහනාධාරවල මැස්සෝවගේ වහලා ඉන්නවනම් සැක කරන්න එපා..අඩුම දේවත්වයට උස්සන්නෙ නැතිව ඉන්න.

මොකද ආධාරයක් කියන්නේ මිනිස්සු ගස්වලින් කඩලා වීසි කරන ඒව නෙවෙයි. මනුස්සයෙක් එවන හැම වතුර බෝතලේකටම, හාල් මල්ලකටම,බිස්කට් පැකට් එකකටම,හැම රුපියලකම වටිනකමක් තියෙනවා. මහා විශාල හැඟීමක් තියෙනවා. කන්න ගත්ත හාල් කොට්ටේ ඇතුළේ හුණ්ඩුව එක්කම එවපු වර්ගයේ දෙවිවරු වගේ මිනිස්සුත් ඉඳලා තිබුණ කියන එක අමතක කරන්න එපා.

දෙරණේ චතුර කියනවා අඩුම ඒ බිස්කට් එකක් මේසෙට ආවට කන්න හිත් දුන්නෙ නැහැ කියලා. ඒකට තමයි මනුස්සයෙක්ගේ හෘද සාක්ෂිය කියන්නේ. හෘද සාක්ෂියක් තියෙන මනුස්සයෙක්ට මේ වගේ මොහොතක අබ ඇටයක දෙයක් ගසාගෙන කන්න බැහැ. විජේරාම කමියුනිටි කිචන් එක මෙතැනදි හැම පැත්තෙන්ම ඉස්සරහින් හිටියා. ලුණුකැටයකට පවා එතැන රෙකෝඩ්ස් තියෙනවා ඔවුන් කියපු විදියට.

ඉතින් හොඳට ඇස් දෙක පිහිදලා බලන්න, ඔයා ඩොනේට් කළේ හරිම තැනටද කියලා. ඔයා ඩොනේට් කරපු කන්ටෙන්ට් ක්‍රියේටර් ආපාදාවෙනුත් ගසා කන එකක් නෑ කියන්න ඔයාට තියෙන සහතිකය මොකක්ද? නිකමට හිතුවද ඔයා පිරිසිදු හදවතින් හිතලා දෙන්න හදපු දේ ඔයාට ඕනම කෙනාගෙ අතට ගියාද කියලා?

මේ කියන්නේ නිදි මරාගෙන, කෑමක් බීමක් නැතිව අසරණ වුණු මිනිස්සු වෙනුවෙන් අවංක චේතනාවෙන් ඉස්සරහට ආව ඇත්ත මිනිස්සු ගැන නෙවෙයි.

අපි අපේ මිනිස්සුන්ට අපේ අත දෙන්න ඕන වෙලාව තමයි මේ. රජය හෝ ඒ සඳහා සුදුසුකම් ලබපු ආයතනයකට, ඇත්ත හැඟීමෙන් විනිවිදභාවයෙන් වැඩ කරන කණ්ඩායමක් හරහා ඔයාගේ පරිත්‍යාගය කරන්න පරිස්සම් වෙන්න.

දුන් දේ සුවඳ වෙන්නේ අපි දුන්නු දේ හරිම තැනට ගියොත් විතරයි. දුන් දේ කාගේ හරි සාක්කුවකට, ගිණුමකට ගියොත් ඒකෙන් හමන සුවඳ දරාගන්න පුළුවන් නිල මැස්සන්ට විතරයි. උණුවෙන හදවතක් තිබුණ පළියට ආයේ ආයේ ඇන්දෙන්න එපා. මෙරු එකපාර උඩට ඇවිත් වෙච්චි දෙයක් නැති වෙන්නම අතුරුදන් වෙනවා.

❤️

Unfolding News2025/10/12ට්‍රම්ප්ගේ නොබෙල් සිහිනය බොඳකළ වෙනිසියුලාවේ ගිනි පුපුර...ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සි...
12/10/2025

Unfolding News
2025/10/12

ට්‍රම්ප්ගේ නොබෙල් සිහිනය බොඳකළ
වෙනිසියුලාවේ ගිනි පුපුර...

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිහිනය දැඩි බලපෑම් මැද පුස්සක් බවට පත් කරමින් '2025 නොබෙල් සාම ත්‍යාගය' දිනාගනු ලැබුවේ වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ විසිනි.

ඉකුත් සිකුරාදා (10) නොබෙල් කමිටුව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පැහැදිලි කළේ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආඥාදායකත්වයට එරෙහිව සාධාරණ හා සාමකාමී අරගලය වෙනුවෙන් "2025 නොබෙල් සාම ත්‍යාගය" ඇයට හිමිවිය යුතු බවයි.

නොබෙල් කමිටුව මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ ට්‍රම්ප් පරිපාලනය ඇතුළු ඔහුගේ ආධාරකරුවන්ගෙන් එල්ල වූ දැඩි ජ්‍යාත්‍යන්තර පීඩනය මධ්‍යයේය. ඒ වෙනුවෙන් ට්‍රම්ප් ගාසා තීරය සඳහා වන සාම ගිවිසුම් සඳහා ඔහුගේ ප්‍රයත්නයන් තීව්‍ර කරමින් සිටි පසුබිමකය.

නොබෙල් කමිටුව එම පීඩනය හමුවේ නොසැලී ලතින් ඇමරිකානු රටක් වන වෙනිසියුලාවේ වත්මන් පාලක ජනාධිපති නිකොලස් මධූරෝගේ ඒකාධිපති පාලනයට එරෙහිව ඇය ගෙනියන සමාකාමී අරගලය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම කැපී පෙනෙන සිදුවීමකි.

ඇයට මෙම සම්මානය පිරිනමමින් කම්ටුව සඳහන් කළේ වර්ධනය වන අන්ධකාරය මධ්‍යයේ පවා ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වෙමින් පවතින බවට ඇය නූතන සාක්ෂියක් බවයි.

මධූරෝට එරෙහි අරගලයට නායකත්වය දෙන නිසාම ඇය මිනිසුන් අතර ප්‍රසිද්ධව සිටින්නේ "Iron Lady" ලෙසයි. ඇයගේ අරගලය බුලට් එක වෙනුවට බැලට් පේපරයේ අයිතිය දිනා ගැනීම සඳහාය. ඇය ඒ සඳහා ඇගේ මුළු ජීවිතයම කැප කළ කාන්තාවක් ලෙස ඉතිහාසයට එක් වෙමින් සිටින්නීය.

58 හැවිරිදි මචාඩෝ කාර්මික ඉංජිනේරුවරියකි. ඉංජිනේරු විද්‍යාවට අමතරව මූල්‍ය විද්‍යාවද ඇය හදාරා තිබෙනවා. එරට අධිකරණය ලබා දුන් තීරණයකට අනුව 2024 වසරේ දී ජනාධිපති ධුරයට මධූරෝ සමඟ තරඟ කීරිම ඇයට තහනම් කෙරුණා. එවැනි වාතාවරණයකදීත් ජනාධිපතිවරයාට දැඩි අභියෝගයක් වෙමින් විපක්ෂයේ කේන්ද්‍රීය චරිතය ලෙස මතු වුණේ ඇයයි.

ඇයට මෙම දේශපාලන අවහිරතා එල්ල වුණේ 2013 වසරේ සිට පාලන බලය හොබවන ජනාධිපති මධූරෝට ඇය පැහැදිලි අභියෝගයක් වීම හේතුවෙනි.

ඇයට තරඟ කිරීමට බාධා එල්ල වූ විට, ඇය විපක්ෂයේ විකල්ප අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියාට ඇගේ සහාය ලබා දුන්නා. විපක්ෂය පුළුල් ලෙස බලමුලු ගැන්වූ අතර මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න ඔප්පු කිරීම සඳහා ක්‍රමානුකූල සාක්ෂි එක්‍ රැස් කළා.

එවැනි අවහිර කිරීම් මැද පැවැත්වුණු මධූරෝගේ අවසන් මැතිවරණ දෙකම ජයග්‍රහණය කළ බව පාලක පක්ෂය තහවුරු කරත් එය නිවැරදිව ඔප්පු කිරීමට හැකි වුණේ නැහැ. එයට එරෙහිව ඇගේ සටන, එම ප්‍රතිඵල දෙකම එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කිරීමට පවා හේතු වුණා.

වරක් ගැඹුරින් බෙදී සිටි දේශපාලන විපක්ෂය එක්සත් කළ ප්‍රධාන චරිතය ලෙස ද ඇය මෙම සම්මානයට සුදුසු බවයි කමිටුවේ නිර්දේශය වුණේ. නිදහස් මැතිවරණ පමණක් නොව ඒකාධිපති රජයට එරෙහි නියෝජිත රජයක් සඳහා වන ඉල්ලීමේ පොදු පදනම ගොඩනැගීමට ද ඇයට හැකි වුණා.

ජනාධිපතිවරණයෙන් වසරක කාල සීමාව තුළ පළිගැනීම් තීව්‍ර වීම හා දරුණු ආඥාදායකත්වය තුළ පසුගිය කාලයේ ඇයට ගත කිරීමට සිදු වුණේ සැඟවුණු ජීවිතයකි. ඇයව සම්මානයට නම් කරමින් නොබෙල් කමිටුව, ඇගේ ජීවිතයට බරපතල තර්ජන තිබියදී පවා ඇය රට අත හැර නොගිය බව පෙන්වා දුන්නා. එයින් ඇය, අපේක්ෂා රහිත මිලියන ගණනක් මිනිසුන්ට ආශ්වාදයක් වූ බව කමිටුව සඳහන් කළා.

ට්‍රම්ප් පාලනයේ බොහෝ නායකයින් මීට පෙර ඇගේ මෙම සටන වෙනුවෙන් ඇයට ප්‍රශංසා කර තිබූ අතර ඔවුන් මාධුරෝගේ පරිපාලනය නැවත නැවතත් හෙළා දැකීමටද කටයුතු කර තිබුණා.ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් සහ ආරක්ෂක උපදේශක මාර්ක් රූබියෝ මචාඩෝගේ දීර්ඝකාලීන ආධාරකරුවෙකි. පසුගිය අගෝස්තු මාසයේදී නෝර්වීජියානු නොබෙල් කමිටුවට ත්‍යාගය සඳහා ඇයගේ නාමයෝජනාවට සහාය දක්වමින් ඔහු ලිපියක් අත්සන් කළ බවද වාර්තා වෙනවා.

එසේ නමුත් නොබෙල් සාම ත්‍යාග කමිටුව වෙනිසියුලාවේ ප්‍රධාන විපක්ෂ ව්‍යාපාරයේ නායිකා මාරියා කොරිනා මචාඩෝට මෙම වසරේ ගෞරවය පිරිනමන බව නිවේදනය කිරීමෙන් පසු, ධවල මන්දිරය එම තීරණය හෙළා දැකීමටයි කටයුතු කර තිබුණේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ ඇතැම් ධවල මන්දිරයේ සන්නිවේදන ප්‍රධානින් නොබෙල් කමිටුව සාමයට වඩා දේශපාලනය මත බර තබා ඇතැයි චෝදනා කළා.

එහෙත් නොබෙල් සාම ත්‍යාගය නිවේදනය කිරීමෙන් අනතුරුව මචාඩෝ සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයා කතා බහ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළ කරන සටහන් ඔස්සේ ඇය සම්මානය අර්ධ වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතද කැප කර ඇති අතර ඔහු එය ලැබීමට සුදුස්සෙකු යැයි අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එය එසේවුවත් සම්මානය කෙරෙහි ට්‍රම්ප් විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි බවත් ඒ සඳහා කමිටුවට බලපෑම් එල්ල කළ බවත් රහසක් නෙවෙයි. ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය, ඒ සඳහා බලපෑම් කරමින් කරුණු 20 කින් යුත් ගාසා සාම සැලැස්ම සහ "යුද්ධ හතක් අවසන් කිරීමේදී" ඔහුගේ භූමිකාව පිළිගන්නා ලෙස කමිටුවට බලපෑම් කර සිටියා.

එම බලපෑම්වලට පිළිතුරු දෙමින් කමිටුව, නොබෙල් සාම ත්‍යාගයේ දීර්ඝ ඉතිහාසය තුළ,තමන් විවිධ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාර, මාධ්‍ය අවධානය දැක ඇති බව ප්‍රකාශ කළා. "සාමයට මඟ පාදන ලබනු බව පවසන පුද්ගලයින්ගෙන් සෑම වසරකම අපට දහස් ගණනක් ලිපි ලැබෙනවා. මෙම කමිටුව සියලුම සම්මානලාභීන්ගේ පින්තූරවලින් පිරුණු කාමරයක වාඩි වී සිටින අතර එම කාමරය ධෛර්යයෙන් හා අඛණ්ඩතාවයෙන් පිරී පවතින්නක්. එබැවින් අපි අපගේ තීරණය පදනම් කරන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කාර්යය සහ කැමැත්ත මතම පමණයි” යනුවෙන් පවසනු ලැබුවා.

2024 දී මානව හිමිකම් සඳහා වන තවත් සම්මාන දෙකක්ද මචාඩෝ වෙත පිරිනැමුණා.එම සම්මාන ද්විත්වය ඇයට හිමි වූයේ ද රටේ ඒකාධිපතිවාදයට එරෙහිව ඇය දැක්වූ අවිහිංසාවාදී ප්‍රතිවිරෝධය අගය කරමිනි.

එපමණක් නෙවෙයි, මෙම වසරේ ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ TIME 100 ලැයිස්තුවට ද ඇය ඇතුළත්.

නොබෙල් සාම ත්‍යාගය ආරම්භ කරන ලද්දේ ස්වීඩන් කර්මාන්තකරුවෙකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි. ඔහුගේ දැක්ම අනුව එය "ජාතීන් අතර සහෝදරත්වය සඳහා වඩාත්ම හෝ හොඳම කාර්යය සිදු කළ පුද්ගලයෙකු වෙනුවෙන් පිරිනැමිය යුතුය.

වර්ණ of life - 2025 සැප්තැම්බර් කලාපය:  'සෑම පාටකටම කතාවක් තිබේ' ප්‍රේමණීය මිනිසුන්ගේ හදවත්වල සුන්දරම පැහැයන් තැවරුණු ඩි...
29/09/2025

වර්ණ of life - 2025
සැප්තැම්බර් කලාපය:

'සෑම පාටකටම කතාවක් තිබේ'

ප්‍රේමණීය මිනිසුන්ගේ හදවත්වල සුන්දරම පැහැයන් තැවරුණු ඩිජිටල් පත්තරය....
පිටුව - 01
https://www.facebook.com/share/p/19bjDiQK6Q/

පිටුව - 02
සාහිත්‍ය ප්‍රබෝධය පුස්සක් නොවනු පිණිස..
https://www.facebook.com/share/p/19bjDiQK6Q/

පිටුව - 03
ලබුබු රැල්ලෙන් ජැක් මාත් අභිබවා ගිය
වන්ග් නින්ග්
https://www.facebook.com/share/p/1D6RTi2WaW/

පිටුව - 04
නිළියකගේ සම්ප්‍රදායික භූමිකාවට
අභියෝග කරන
'නිල් මානෙල් මල් කෙල්ල'
https://www.facebook.com/share/p/17JoCax8iW/

පිටුව - 05
ප්‍රතික්ෂේප කිරීම වෙනුවට නිහඬව ප්‍රේමය මරාදමන පිරිමි...
https://www.facebook.com/share/p/19wq4rfU1b/

පිටුව - 06
ලෝක විනාශයකින් වුවද විනාශ කළ නොහැකි
උත්තර ධ්‍රැවයේ කෘෂි බීජ ගබඩාව
https://www.facebook.com/share/p/1JLVZGuKDn/

පිටුව - 07
ප්‍රේමයේ අධිමාත්‍රවකින් අප මත් කරන
ඩැන්ඩේලියන් වයින් කුසුම 'Veen Redwood'
https://www.facebook.com/share/p/1BY8izdDUN/

පිටුව - 08
බෝඩර් නැති කවි
https://www.facebook.com/share/p/1HxaWiiiQ9/

පිටුව - 09
නෙපෝ කිඩ්ස්ලා බය කළ බොලිවුඩ් ආදරය 'සයියාරා'
https://www.facebook.com/share/p/1SPmL2WXcw/

වර්ණ of life - 2025 සැප්තැම්බර් කලාපය:පිටුව - 01   'සෑම පාටකටම කතාවක් තිබේ' ප්‍රේමණීය මිනිසුන්ගේ හදවත්වල සුන්දරම පැහැයන්...
29/09/2025

වර්ණ of life - 2025
සැප්තැම්බර් කලාපය:
පිටුව - 01

'සෑම පාටකටම කතාවක් තිබේ' ප්‍රේමණීය මිනිසුන්ගේ හදවත්වල සුන්දරම පැහැයන් තැවරුණු ඩිජිටල් පත්තරය....

පිටුව - 01
https://www.facebook.com/share/p/19bjDiQK6Q/

පිටුව - 02
සාහිත්‍ය නොවනු පිණිස..
https://www.facebook.com/share/p/19bjDiQK6Q/

පිටුව - 03
ලබුබු රැල්ලෙන් ජැක් මාත් අභිබවා ගිය
වන්ග් නින්ග්
https://www.facebook.com/share/p/1D6RTi2WaW/

පිටුව - 04
නිළියකගේ සම්ප්‍රදායික භූමිකාවට
අභියෝග කරන
'නිල් මානෙල් මල් කෙල්ල'
https://www.facebook.com/share/p/17JoCax8iW/

පිටුව - 05
ප්‍රතික්ෂේප කිරීම වෙනුවට නිහඬව ප්‍රේමය මරාදමන පිරිමි...
https://www.facebook.com/share/p/19wq4rfU1b/

පිටුව - 06
ලෝක විනාශයකින් වුවද විනාශ කළ නොහැකි
උත්තර ධ්‍රැවයේ කෘෂි බීජ ගබඩාව
https://www.facebook.com/share/p/1JLVZGuKDn/

පිටුව - 07
ප්‍රේමයේ අධිමාත්‍රවකින් අප මත් කරන
ඩැන්ඩේලියන් වයින් කුසුම 'Veen Redwood'
https://www.facebook.com/share/p/1BY8izdDUN/

පිටුව - 08
බෝඩර් නැති කවි
https://www.facebook.com/share/p/1HxaWiiiQ9/

පිටුව - 09
නෙපෝ කිඩ්ස්ලා බය කළ බොලිවුඩ් ආදරය 'සයියාරා'
https://www.facebook.com/share/p/1SPmL2WXcw/

වර්ණ of life-  2025 සැප්තැම්බර් කලාපය:පිටුව - 02සාහිත්‍ය ප්‍රබෝධය පුස්සක් නොවනු පිණිස...අවුරුද්දේ මාස අටක් අවසන් වෙලා උද...
29/09/2025

වර්ණ of life- 2025
සැප්තැම්බර් කලාපය:
පිටුව - 02

සාහිත්‍ය ප්‍රබෝධය පුස්සක් නොවනු පිණිස...

අවුරුද්දේ මාස අටක් අවසන් වෙලා උදාවෙන සැප්තැම්බරය කියන්නේ අලුත් ආරම්භයකට කියන තවත් නමක් වගේ. උතුරු අර්ධ ගෝලයේ ග්‍රීෂ්ම සෘතුවෙන් සරත් සෘතුවටත්,දකුණු අර්ධ ගෝලයේ ශීත සෘතුවෙන් වසන්ත සෘතුවටත් හුවමාරු වන සැප්තැම්බරය කියන්නේම ජිවිතේ කර්කශ කටෝර සමය අවසන් කරන ප්‍රෙෂ් ස්ටාර්ට් එකක් දෙන මාසයක්.

'පොතක් කියන්නේ උද්‍යානයක්, පළතුරු වත්තක්, ගබඩාවක්, සාදයක්, සමාගමක්, උපදේශකයෙක්, උපදේශකයින් රාශියකට' කියලා චාල්ස් බෝඩ්ලෙයාර් ගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා.

ඇත්ත පොත් කියන්නේ හැමදේම.අපිව පුරවලා,මුළුමනින්ම හිස් කරලා,ආයේමත් පුරවන්න පොතකට පුළුවන්.ලෝබකමින් අප සතු කරගන්න පොතකට අපව සතු කරගන්න යන්නේ සුළු මොහොතක් විතරයි.

සීතල දිය ඇල්ලක් පේන, කන්දක් මුදුනක ගත කරන කෑම්පින් නයිට් එකක් වගේ සමහර පොත් ඇතුළේ අපිට කූඩාරම් ගහගන්න පුළුවන්. සමහර පොත් ලියැවෙන්නේ කියවලා ඉවර කරන්න නෙවෙයි. නැවත නැවත මතකයේ ඇතුළේ රැව්පිළි දෙන්න. හුස්ම ගන්න. ජීවත් වෙන්න. වචනයකින් පස්සේ වචනයක්, ආපහු වචනයක් කියන්නේ බලයක් කියලා මාග්‍රට් ඇට්වුඩ් කියනවා. පිටුවකින් පිටුවකට ඒ බලය අපි තුළට අවශෝෂණය වෙන හැටි පුදුමාකාරයි. ඒ ෆීලින් එක දන්නේ පොතක් දිගේ දුර ගමනක් ගිය කෙනෙක් විතරයි.

ඒ වගේ ගිරි දුර්ග,නිම්න පහු කරගෙන ගිය පොත් පිස්සෝ උමතු වෙන කාලය තමයි සැප්තැම්බර් කියන්නේ. පොත් සමරන්න ඕන. පොත් සුලබ වෙන්න ඕන. විශිෂ්ට ලේඛක ලේඛිකාවන්ට ලියන්න අත් දහසක් මැවෙන්න ඕන. සාහිත්‍ය පොළොවේ අලුත් සුහුඹුල් අංකුර වැඩි වැඩියෙන් මතු වෙන්න ඕන. චිත්‍රපටයක් දුවන්න පටන් ගන්නේ මංගල දර්ශනයෙන් පස්සේ. එතනින් එහා කතිකාවකට චිත්‍රපටය කරේ තියාගෙන දුවන්න වෙනවා.පොතක් ලිව්වට පස්සෙත් ඒ වගේ.ආවෝ.. ආවෝ.. කියලා අඬ බෙරඅඬ බෙරයක් ගහන්නම වෙනවා. ඉතින් සැප්තැම්බර් මාසෙදි පොත්, මනාළියෝ,මනාළයෝ වගේ ලස්සන කවරවලට බැහැලා එළියට එනවා. එකවර වැඩිම ප්‍රමාණයක් පොත් කළ එළි බැසීම් සිද්ධ වෙන්නෙ මේ කාලෙට. මේ පාර විශේෂත්වය තමයිපොත් ජන ගත කරන ඒවගේ වැඩ කිහිපයකම ලොකු වෙනසක් පේන්න තිබුණා.

ඒ සැමරුම් අපි කලින් දැකල තිබුණ ඒකාකාරී ආකෘතියේ පොත් දොරට වැඩුම් නෙවෙයි. දීර්ඝ නීරස දේශනාවලින් ඔබ්බට ගිය අමුතු රහක් තියෙන ලස්සන බුක් ලෝන්ච්. පොත් උත්සවලට යන අය පල්ලියේ මංගල්ලෙට සැරසිලා යනවා වගේ ලස්සනට ඒවට ඇවිත් හිටියා. කෝපි බීලා,වයින් බීලා, නිලා පත්තු කරලා,සින්දු කියලා,සින්දු අහලා,ගිටාර් ගහලා යන විදියේ සැමරුම්.

සමහර සැමරුම් තරු පන්තියේ හෝටල්වල මිල අධික සැමරුම් විදියටයි සිදු වුණා. ඒ වගේ පොතක් එළිදැක්වුණ එක මොහොතක් තමයි තමයි වීන් රෙඩ්වුඩ්ගේ 'ඩැන්ඩේලියන් වයින්' එළිදක්වපු මොහොත. පොතුගුල් අස්සේ සම්ප්‍රාදායිකව සිද්ධවෙන පොත් මංගල්ලයක් තරු පන්තියේ හෝටලයකට මාරුවෙලා ලස්සන වෙනස් විදියේ සැමරුමක් එතනදි සිද්ධ වෙලා තිබුණා.අගෝස්තු මාසේ සංජක ප්‍රසාද් දොලේවත්තගේ 'සියලුම හිමිකම් ඇවිරිණි' පොත එක්ක 'ආදරය අනිත්‍යයි නිත්‍යා' කියලා තේමා ගීතයකුත් එළියට එනවා, AIජෙනරේටඩ් ට්‍රේලර් එකකුත් එක්ක.ලංකා ඉතිහාසේ පළමු වරට AI තාක්ෂණයෙන් ලියැවුණු 'සියලුම හිමිකම් ඇවිරිණි' නවකතාව වගේම තවත් පොත් කිහිපයක්ම පොත් එළිදැක්වීම්වලට AI යොදාගෙන තිබුණා.මොහාන් රාජ් මඩවල 'Toxic ගර්භ විස' පොතට හරි අපූරු AI ට්‍රේලර් එකක් හදලා තියෙනවා දැක්කා. රසික ජයකොඩිගේ 'A Gypsy Heart' පොත ජනගත කිරීම සිද්ධ කළේ ආකාස සූත්‍ර කොන්සට් එක ඇතුළේ. සංගීතය, ජීවිතය සාහිත්‍ය එක්ක මුසු කරපු වෙනස්ම රහක වැඩක් එතනදි සිද්ධ වුණා. ළඟකදි යේෂා ප්‍රනෑන්ඩු ඇගේ ෆ්ලෝරාමාර් කෘතිය ජනගත කළේ ඊටත් වඩා ඉහළ මාර්කටින් කන්සෙෆ්ට් එකක් එක්ක බැරිස්ටා කොෆි ෂොප් එකක් ඇතුළේ.

ඔය සේරම අතරේ චින්තන ධර්මදාස එයාගේ '' පොත එළි දැක්වුවේ වෙනස්ම ක්‍රමයකට. ඔහු පොත එළිදැක්වීම විදියට තැප්‍රෝබේන් එකට ගිහින් උපුල් ශාන්ත සන්නස්ගල සර්ට පොත දීලා ආවා. සෑහෙන්න වියදම්කරපු දොරට වැඩුමකටත් වඩා පබ්ලිසිටි එකක් පොතට ගත්තා හරිම සරල විදියට සල්ලි විසි කරන්නේ නැතුවම.පොත එළිදැක්වීමට සමගාමීව පිස්සු හැදෙන මියුසික් වීඩියෝ එකකුත් මේ වෙද්දි දකින්න පුළුවන්. දැන් පොත් මිනිස්සු අතරට අරන් යන්නේ ඒ ඒ ලේඛකයින්ගේ චින්තන පරිමාව එක්ක එක එක ක්‍රමවලට කියන එක පැහැදිලියි.

චිත්‍රපට නරඹන එක මිල අධික සංස්කෘතික වැඩක් වෙනවා කියන්නේ චිත්‍රපට කර්මාන්තයට හොඳ කාලයක් ලබනවා කියන එක.අධ්‍යක්ෂකට, නිෂ්පාදකට,නළු නිළියන්ට කෲ එකට මාර වටිනකමක් හැදෙනවා කියන එක. එයාලගේ මිල ඉහළ යනවා කියන එක. සාහිත්‍යටත් ඒ වගේ සංස්කෘතික අවකාශයක් එක්ක හොඳ කාලයක් ලබන්න නම් බුක් ෆෙයාර් එකෙන් එහාට ගිය සැමරුම් ඕන වෙනවා.සාහිත්‍යයක පෙර නොවූ විරූ ප්‍රබෝධයක්,උනන්දුවක් ඇති වෙන්නේ එතකොට.

ඒ වගේ සුඛෝපභෝගී සැමරුම් එක්ක සාහිත්‍යකරුවන්ගේ වටිනාකම ඉහළට යන එක වෙන්නම ඕන. හැබැයි පොත් මිල අධික වස්තූන් බවට පත් වෙන්නේ නැතුව. දැනටමත් පොත් කියන්නේ මිල අධික වෙමින් සාමාන්‍ය මනුස්සයෙකුට ළඟා වෙන්න බැරි හඳේ තියෙන වස්තුවක් බවට පත් වෙමින් තියෙන දෙයක් බව රහසක් නෙවෙයි.පොත් ප්‍රදර්ශකයින්ගේ සංගමයම කියන විදියට මේ පාරත් පොත්වලට 20%කට එහා ඩිස්කවුන්ට් එකක් දෙන්න එයාලට අමාරුයි.

ඒ කියන්නේ පොත් 10 ක් ගන්න හිතාගෙන යන මනුස්සයෙකුට එයාගේ පොත් ලිස්ට් එක හතරකට පහකට අඩු කරග්ගන්න සිද්ධ වෙනවා කියන එක. සාහිත්‍ය ප්‍රබෝධය පුස්සක් නොවෙන්න නම් මේ හැම දේම සමබර වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

❤️ තාරකා පෙරේරා

වර්ණ of life-  2025 සැප්තැම්බර් කලාපය:පිටුව - 03ලබුබු රැල්ලෙන් ජැක් මාත් අභිබවා ගිය වන්ග් නින්ග්හොංකොං වීදිවල සරල බෝනික්...
29/09/2025

වර්ණ of life- 2025
සැප්තැම්බර් කලාපය:
පිටුව - 03

ලබුබු රැල්ලෙන් ජැක් මාත් අභිබවා ගිය වන්ග් නින්ග්

හොංකොං වීදිවල සරල බෝනික්කෙක් එහෙමත් නැත්නම් කී ටැග් එකක් විදියට මතුවුණු ලබුබු ලෝකය පුරා ට්‍රෙන්ඩ් එකක් වුණානේ. TikTok ට්‍රෙන්ඩ් එකක් වෙලා පහුගිය කාලේ ලංකාවෙත් කෙල්ලන්ට පිස්සුවක් වුණු අමුතුම අයිටම් එකක් තමයි ලබූබු කියන්නේ. හොයන අය මාරම ආස,අනිත් අයට මොන පිස්සුවක්ද මේ කියල හිතන ලබුබු රැල්ල කොයි තරම් පිස්සුවක් වුණාද කියලා කියනවා නම් එක මනුස්සයෙක් මේකෙන් ගොඩ ගියා යෑමක් හිතාගන්න බැරිවිදියට.

ඔහු තමයි ලබුබු කියන බෝනික්කාව සෙල්ලම් බඩුවක් විදියට නිර්මාණය කරලා වෙළඳ පොළට එව්ව Pop Mart ජ්‍යාත්‍යන්තර සමූහයේ අයිතිකාරයා, වන්ග් නින්ග්. ලබුබු නිසා මේ වනවිට වන්ග්, පෘතුවියේ ධනවත්ම මිනිසුන්ගෙන් එක් අයෙක් බවට පත් වෙලා ඉවරයි.

ෆෝබ්ස් සඟරාව මෑතකදී නිකුත් කළ නව වාර්තාවකට අනුව, නින්ග් ඔහුගේ වත්කම් සමඟ මේ වන විට අලිබබා නිර්මාතෘ ජැක් මා ද අභිබවා ගිහින් තියෙනවා.

මුලින්ම මේ පිස්සු බෝනික්කා වන්ග්, චීනයේ ඉහළම බිලියනපතියන් 10 දෙනා අතර ලාබාලතම බිලියනපතියා බවට පත් කළා. ෆෝබ්ස් වාර්තාවට අනුව ලබුබස්ලාගෙන් වන්ග් වාර්තා කරපු ආදායාම ඩොලර් බිලියන 27.5ක්. මේ සල්ලි කන්ද චීනයේ ඉහළම බිලියනපතියන් අතර අට වැනි ස්ථානයට වන්ග්ව ගේන්න සමත් වුණා.මේ නිසා ඇමරිකානු ඩොලර් බිලියන 26.7 ක වත්කම් ඇති ජැක් මා දැන් පසුවන්නේ චීන බිලියනපතියන් ලැයිස්තුවේ වන්ග්ට පිටුපසින් බවයි පැවසෙන්නේ.

ලබුබු බෝනික්කන්ගේ අසීමිත ජනප්‍රියතාවය නිසා මේ අවුරුද්දේ පොප් මාර්ට් සමාගම කොටස්වල සියයට 250 ක වර්ධනයක් අත්කර ගෙන තියෙන බව වාර්තාවල දැක්වෙනවා. ඔවුන්ගේ වෙළඳපල කොටස ඇමරිකානු ඩොලර් බිලියන 56 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය බාර්බි ඩෝල් නිෂ්පාදක Mattel සහ සෙසු ඇමරිකානු සෙල්ලම් බඩු නිෂ්පාදක Hasbro ඒකාබද්ධ කළ ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි බව එම වාර්තාවල සඳහන්ය.

ජනප්‍රියත්වයත් එක්ක මේ බෝනික්කන් විවිධ චරිතවලින් වර්ණවලින් හැඩයන්ගෙන් සංස්කරණය කරන්න සමාගමට සිදුවී තියෙනවා. ඒකෙන් වන්ග්, සමාගමේ ලාභය තවදුරටත් වැඩි කර ගැනීමට බලාපොරොත්තු වුණා. වසර අවසන් වන විට සමාගම, විකුණුම් බිලියන 4 ක් ඇස්තමේන්තු කර ඇති බවයි පැවසෙන්නේ. මේ අමුතු බෝනික්කන්ට වැඩියෙන්ම පිස්සු වැටුණු ඇමරිකාව ඔවුන්ගේ විශාලතම ගැණුම්කරුවාය.

කැත,දත් විළිස්සගත්‍තු හිනාවෙනවා වෙනුවට විරිත්‍තන (monsters) පෙනුමක් තියෙන සම්ප්‍රාදායිකව ගැහැණු ළමයිගේ ෆැන්ටසි බෝනික්කන් නොවන ලබුබු ඒ තරම් ජනප්‍රිය රැල්ලක් වුණේ කොහොමද?

ලබුබු බෝනික්කන් යනු හොංකොංහි උපන් කලාකරු කේසිං ලුන්ග් විසින් නිර්මාණය කරන ලද මොන්ස්ටර්ස් පොත් මාලාවේ චරිතයක් මත පදනම් වෙමින් නිර්මාණය වූවකි.

නෝර්ඩික් සුරංගනා කතා වලින් ආභාෂය ලැබූ ලබුබු මේ වගේ ට්‍රෙන්ඩ් එකක් වෙන්න ලෝකයේ අතිශය ජනප්‍රිය චරිත කිහිපයකුත් හේතුවුණා.

කේ-පොප් තරුවක් වන ලීසා, රිහානා,ඩුවා ලීපා, කිම් කාර්ඩෂියන් උර්වෂී රවුටෙලා වගේ ජනප්‍රිය තරු ලබුබු ෆෑන්ස්ලා බවට පත් වීමත් ඔවුන්ගේ ෆැෂන්වල කොටසක් විදියට එය යොදා ගැනීමත් නිසා ඉක්මණින් ලෝකය පුරා තරුණියන් මෙයට ආකර්ශනය වීම වැඩිවුණා. ඉන් පසු එය ලෝකය පුරා කුණාටුවක් බවට පත් වීමට පටන් ගත්තා.

මේ බෝනික්කන්ගේ එක් විශේෂත්වයක් වුණේ එය මිලදී ගන්නාතුරු එහි ඇතුලත සිටින ලබුබු චරිතය හෝ එහි වර්ණය අපට දැනගන්න නොහැකිවීමයි.

අපි කොතරම් ආස වුණත් අපි කැමතිම ලබුබුව අපට මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. උමතුවක් නිසාම,ට්‍රෙන්ඩ් එකක් නිසාම කැමතිම ලබුබු මුණ ගැහෙන තෙක්ම එය මිලදී ගැනීමට කෙනෙකුට ආශාවක් නිර්මාණය වෙන්න පුළුවන්.

ලෝකයේ ඇතැම් රටවල ජනප්‍රිය වෙළඳසැල් අසල බෝනික්කන් මිලදී ගැනීමට පෝළිම් නිර්මාණය වූ බව පවා වාර්තා වුණේ ඒ නිසා.

යුරෝපයේ සමහර වෙළඳ සැල්වල මේවා යුරෝ 60ත් 90ත් අතර මුදලකට අලෙවි වූ බවයි වාර්තා වුණේ.එය සමාගමේ නිල වෙබ් අඩවියට වඩා සැලකිය යුතු ලෙස වැඩි මුදලක් බවද සඳහන් වෙනවා. නිෂ්පාදක සමාගමෙන් සෘජුව මිලදී ගැනීමට අපහසු වීම නිසා නැතිනම් චීනයෙන් නැව්ගත කිරීමට බොහෝ කාලයක් ගත වෙන නිසා බොහෝ අය එවැනි මුදලක් බෝනික්කකු සඳහා වියදම් කර ඇති බව පැවසෙනවා.

ට්‍රෙන්ඩ් එනවා යනවා වුණාට මේ ට්‍රෙන්ඩ් එකේ කෙළවරක් නම් තාම පේන්න නැහැ.

ජුලි මාසයේ පොප් මාර්ට් සමාගම බර්ලිනයේ ඔවුන්ගේ වෙළඳ සැලක් විවෘත කරපු වෙලාවෙත් සිය ගණනක් මිනිස්සු පැය ගණනක් පෝලිම්වල වේලෙමින් හිටියා කියලා තමයි වාර්තා වුණේ.

❤️ සාක්‍ය ලිසෙද්

වර්ණ of life-  2025 සැප්තැම්බර් කලාපය:පිටුව - 04නිළියකගේ සම්ප්‍රදායික භූමිකාවට අභියෝග කරන'නිල් මානෙල් මල් කෙල්ල'පූජා නගර...
29/09/2025

වර්ණ of life- 2025
සැප්තැම්බර් කලාපය:
පිටුව - 04

නිළියකගේ සම්ප්‍රදායික භූමිකාවට අභියෝග කරන
'නිල් මානෙල් මල් කෙල්ල'

පූජා නගරයකට වන්දනා කරන්න යද්දි අපේ අතට මලක් දෙන ගැහැණු ළමයින්ගේ සංස්කෘතිය අපට ඉතා සමීප අත්දැකීමකි. ඒ මල් ගැහැණු ළමුන්ගේ සංස්කෘතියේ නූතන හැඩය වෙමින් නිල් මානෙල් මල් ව්‍යාපාරය ජ්‍යාත්‍යන්තර වෙළඳපොළ දක්වා ඔසවා තැබීමට මේ මොහොතේ දැඩි ලෙස වෙහෙසවන්නී ඇයයි.

ඇය නයෝමි තක්ෂිලාය.අඳුන් ගිරේ පද්මාය.

පුංචි තිරයෙන් ආරම්භ කළ ඇගේ ගමන මේවන විට හොඳම නිළිය ලෙසද ඇය ඔසවා තබා අවසානය.

රුවන්වැලි මහාසෑයට,ශ්‍රී මහා බෝධියට අපි ගෙනියන නිල් මානෙල් මල් ඇගේය. එය තිර පිටපතක් නොවන අතර නිළියක වන ඇගේ භූමිකාවට ඇය විසින්ම එල්ල කරගත් අභියෝගයකි.

පුංචි නිල් මානෙල් පැළයකින් ආරම්භ කළ ඇගේ ව්‍යාපාරය ද මේ වන විට ජ්‍යාත්‍යන්තර වෙළඳ පොළ දක්වා ගිය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක එකතුවකි.
'නිල් මානෙල් මල් කෙල්ල', අපි ඔයාට එහෙම කතා කළාට
අමනාපයක් එහෙම නෑනෙ..?

අනේ.....ඒකට කමක් නැහැ.හැමෝම දැන් මට කතා කරන්නෙ නිල් මහනෙල් මල් කෙල්ල කියලා තමයි.

මේ වෙද්දි ජීවිතේ චරිත කිහිපයකට මාරු වෙලා. වඩා අමාරු රංගනයද?
වගා කිරීමද? අලුත් ව්‍යවසායිකාවගේ භූමිකාවද?

රංගනය තමයි අමාරුම දේ. ඒකට ගොඩක් කැපවීම් කරන්න ඕන. හැදෑරීම් කරන්න ඕන. වගා කිරීම ගත්තත් මං පුංචි කාලෙ ඉඳන් වගාවන් සම්බන්ධ දේවල් අත්විඳලා තියෙනවා. ඒකත් ඉතාම අමාරු කර්තව්‍යයක්. ව්‍යවසායිකාවකටත් වගකීම් සම්භාරයක් තියෙනවා. මිනිස්සුන්ට වගකියන්න වෙන ප්‍රමාණය වැඩියි. කෙනෙකුගේ ස්කින් එකට මම වගකියන්න ඕන. මනුස්සයෙක්ගේ හැම රුපියලකටම මම වගකිව යුතුයි. කෙනෙක් යම් කිසි දෙයක් ගන්නේ විශ්වාසය ඇතිව. මං ඒ විශ්වාසය රකින්න ඕන. මගේ ප්‍රොඩක්ට් එකේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය රැකගන්න ඕන. මේ නිසා මේ භූමිකා තුනම ලේසි නැහැ.

පුංචියට පටන් ගත්තු නිල් මානෙල් වගාවක් අක්කර ගාණකට වර්ධනය වෙලා අද වෙනකොට රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මුලින්ම ඒ පෙරළිය ගැන කියමුද?

පුංචියට අපේ අම්මා පැළ,කරපු නිල් මානෙල් පැළේ අද පෙරළියක් වෙලා තියෙනවා. පුංචියට පැළ කරලා අද වෙද්දි වන්දනාකරුවන්ට වැඩිපුරම මල් දෙන්නෙ අපි කිව්වොත් නිවැරදියි. දැනට අපි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් හඳුන්වලා දීල තිබෙනවා. ඒ පුංචි පැළේ අද වෙනකොට අපේ රටට ඩොලර් ගේන මට්ටමටම දියුණු වෙලා තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම පෙරළියක් නිල්මහනෙල් මලෙන් කරල තියෙනවා කියල කියන්න පුළුවන්.

රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් නිර්මාණය කරනවා කියන එක දීර්ඝ අත් හදාබැලීම් හා පර්යේෂණවල ප්‍රතිඵලයක් විය යුතුයි. නයෝතා නිෂ්පාදනවලට මූලික පර්යේෂණ සිදු වුණේ කොහොමද?

නිල්මහනෙල් මල අතීතයේ ඉඳන්,ග්‍රීක යුගයේ ක්‍ලියෝපැට්‍රාගේ කාලයේ පටන් රූපලාවන්‍යවලට,කාම ශක්තිය වර්ධනයට සම්බන්ධ ඉතිහාසයක් තියෙන මලක් විදියට හඳුන්වන්න පුළුවන්. පහුගිය 23 වැනිදා ලෝන්ච් කරාට අවුරුද්දකට වැඩිය කාලයක් අපි මේ ගැන පර්යේෂණ සිදු කළා. ආයුර්වේද ඩොක්ටර්ස්ලාගේ පර්යේෂණ හරහා තහවුරු කරගෙන,ඒ ඒ ස්කින්වලට පූර්ව අත් හදාබැලීම් කරලා, සියලුම සහතික අරගෙන තමයි නයෝතා ප්‍රොඩක්ට්ස් 13ම අපි ලෝන්ච් කළේ.

පෞද්ගලිකද ඔයා මේ ගැන කරපු අත්හදා බැලීම් මොනවගේද?

මම මුලින්ම මල ගැන හොයන්න ගත්තේ වන්දනාකරුවන්ට මේ මල දෙන්න පටන් ගද්දි. හැබැයි ඉස්සර ඉඳලම ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණා. මල හරිම සුවඳයි...රිලැක්ස් වෙනවා. වැඩ කරලා ගෙදර ගිහින් නිල් මානෙල් වත්තට ගියාම මගේ ආතතිය සම්පූර්ණයෙන් නැති වෙනවා. මල ගැන විස්තර හොයාගෙන අතීතයට ගියාම තමයි මං දැනගත්තේ මලේ සුවඳට,වතුරට ස්ට්‍රෙස් නැති කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ මං මලේ අතීතය හාරා අවුස්සලා හොයන්න පටන් ගත්තා. එතකොට තමයි මං දැනගත්තේ ග්‍රීක යුගයේ ඉඳලා විවිධාකාර උත්සවවලට,ශක්තිය වැඩිකරගන්න,ආතතිය අඩු කරගන්න,තර්ඩ් අයි දියුණු කරගන්න මේ මල පාවිච්චි කරල තියෙනවා කියලා.

වෙළඳපොළේ අනෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදනවලින් නයෝතා නිෂ්පාදන වෙනස් කරන්න ඒ අධ්‍යයනයන් භාවිත කළේ කොහොමද?

අනෙක් නිෂ්පාදනවලින් වෙනස් වෙන්නෙ අපි සම්පූර්ණයෙන්ම බ්ලීචිං පාවිච්චි කරන්නේ නැති නිසා. මේ වෙනකොට ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකෙම බ්ලීචිං තමයි සුදු වෙන්න පාවිච්චි කරමින් ඉන්නෙ. හිතකර ද්‍රව්‍ය වුණත් අනවශ්‍ය විදියට දැම්මොත් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා මලේ සාරය සහ සමට හිතකර ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට යොදලා සම ග්ලෝ කරගන්න පුළුවන් විදියට තමයි නයෝතා ප්‍රොඩක්ට්ස් නිර්මාණය කරල තියෙන්නේ. අපේ නිෂ්පාදන අනෙක් නිෂ්පාදනවලින් වෙනස් වෙන්නෙම හොඳ අධ්‍යයනයකින් යුතුව මලේ සාරය අපි ගන්න නිසා.
ඇඟේ මඩ ගාගෙන,කුඹුරට වැවට බහින නිළියෝ අපි දකින්නේ ටෙලි නාට්‍ය රූප රාමුවලින් විතරයි. මේ වගේ බිස්නස් එකකට අතගහන එක නයෝමි කියන රංගන ශිල්පිනියට රිස්ක් එකක් වුණේ නැද්ද?

ඇත්තටම මඩේ බහිනව කියන එක මට රිස්ක් එකක් නෙවෙයි. කුඹුරු හාන එකේ ඉඳලා පෝරු ගාණ එකේ ඉඳලා සීසාන එක දක්වා අස්වැන්න කපන තැන දක්වා කමත අපට හොඳට හුරුයි. අපි වැවේ පැනලා නානවා, මාලු අල්ලනවා. ඉතින් පුංචි කාලේ ඉඳලා මම පරිසරයත් එක්ක ගොවිකමත් එක්ක ගැටුණු කෙනෙක්. කුඹුරට, ඒ මඩ සුවඳට,ගොවිතැනට එදා ඉඳලා මම හරි ආදරෙයි. ඒක ඇත්තටම වීඩියෝ එකකට කරන රඟපෑමක් පමණක් නෙවෙයි. මගේ ජිවීතේ එක්තරා කොටසක්.
රංගන ශිල්පිනියකට රූපය නඩත්තු කරනවා කියන එක අනිවාර්ය දෙයක්. ගොඩේ මඩේ බැස්ස කියලා නිළියකට තියෙන ආකර්ශනය අඩු වෙන්නේ නැද්ද?

මඩට බැස්සම මඩ ගෑවෙනවා. නියපොතුවලට මඩ යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකෙන් ආකර්ශනය අඩුවෙයි කියලා මට හිතෙන්නේ නෑ.මඩ සෝදාගත් කළ ගොවියා රජෙක් කියලා කියනවනේ.

රංගනය කියන්නේ තරඟකාරී ක්ෂේත්‍රයක් .බිස්නස් නිසා ඔයා ඒ තරඟයෙන් හැලෙන්නත් පුළුවන්? එතකොට නයෝමි තුළ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියට අසාධාරණයක් වෙන එකක් නැද්ද?

රංගනයයි, බිස්නස් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. බිස්නස් එකක් කරන එක රංගනයට බාධාවක් නෙවෙයි. බිස්නස් එකේදී මම සම්පූර්ණයෙන්ම ඒකේ නියැළෙනේ නැහැ. මම දැනගන්න ඕන කාලය කකළමනාකරණය කරගන්න විදිය. අද වන විටත් මම මේ ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යනවා. බිස්නස් එක නිසා මම තුළ ඉන්න නිළියට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. කොච්චර කාර්යබහුල වුණත් මම වේදිකා නාට්‍යය කරන්න පවා කාලය වෙන් කරගෙන තියෙනවා. Workshopවලට සහභාගී වෙනවා. ඉගැනීම් කටයුතුත් කරනවා.

අයියෝ නයෝමි.. ඔය වැඩේ ඔයාට සෙට් වෙන්නෙ නෑ කියපු අය
එහෙම ඉන්නවද?

ඔය වැඩේ සෙට් වෙන්නෙ නැහැ කියන අය නැහැ. මම කලින් ඉඳන්ම මගේ සෝෂල් මීඩියාවල මගේ ජීවිතේ පෙන්නුවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එක ප්‍රමෝට් කරන්න කියලා. මගේ සොෂල් මීඩියා දකින අය දන්නවා ඇති,මං ඉස්සර ඉඳන්ම පරිසරය එක්ක ඉන්නවා. එක පාර කොළඹ ඉඳලා පටන් ගත්ත කෙනෙක් නම් කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. නමුත් මුල ඉඳන්ම මාව අධ්‍යයනය කරන කෙනෙක්ට තේරනවා ඒ මම ජීවත් වෙන විදිය..

අනුරාධපුරය වගේ පූජනීය නගරයකට ඇතුළු වෙලා රුවන්වැලි මහා සෑයට,ජය ශ්‍රී මහා බෝධියට අපි අරගෙන යන මල්වලින් කොයි තරම් ප්‍රමාණයක් නයෝමිගෙද?

ඔව්.. මං හිතන්නේ 80%ක් විතරම ජය ශ්‍රී මහ බෝධියට,රුවන්වැලි මහා සෑයට පූජා කරන්නේ අපේ මල්. අපි යම් කිසි මුදලක් ගන්නවා තමයි. අපි මිනිස්සු දාලා වගාවක් නඩත්තු කරන්න ඕනනේ. ඒ දේවල්වලට අපි කිසියම් මුදලක් අය කරනවා. නමුත් මිනිස්සු පූජා කරන මලක් මලක් ගාණේ ඒ මල හදන්න වෙහෙස වෙන අයට, මට, මගේ පවුලට ඒ පින ලැබෙනවා.

ලස්සන පුංචි කන්සෙෆ්ට් එකකින් ලොකු දුරක් යන්න පුළුවන් කියන දේට මේ වෙද්දි නයෝමි උදාහරණයක් වෙලා තියෙනවා. මේ ව්‍යාපාරය ඔයාගේ ආර්ථිකයට කරන බලපෑම කොහොමද?

ව්‍යාපාරයක් කරනකොට ඒකෙන් අපේ ආර්ථිකයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙනවා. උත්සහය තමයි වැදගත් වෙන්නේ. පුංචි දෙයකින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක මම රංගනය පැත්තෙනුත් පෙන්නලා තියෙනවා.ඒ වගේම ගම නගරය අතර තියෙන බෙදීම පැත්තෙන් වුණත් ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නලා තියෙනවා.ව්‍යාපාරය පැත්තෙනුත් මම උත්සහයන් කරමින් ඉන්නවා. ඉතින් මම හොඳ උදාහරණයක් ද කියන එක ඔබට භාරයි..
ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ ව්‍යාපාරය රටේ ආර්ථිකයටත් ශක්තියක් වෙලා තියෙනවා?

ඇත්තටම ඔව්. මගේ ව්‍යාපාරය රටටත් ආර්ථිකය පැත්තෙන් ශක්තියක් වෙමින් තියෙනවා.මේ වෙද්දි අපේ ප්‍රොඩක්ට්ස් රටවල් කිහිපයකටම යවනවා. අපට ඒකෙන් ඩොලර්ස් එනවා. දැනටත් අපි ගොඩක් අයට රැකියා අවස්ථා දීලා තියෙනවා. ඉස්සරහටත් තව අවස්ථා දෙන්න සැලසුම් කරමින් ඉන්නවා.

මේ වෙද්දි ගමේ කී දෙනෙක්ට රැකියා අවස්ථා උදා වෙලාද?

අක්කර ගණනක වවලා තියෙන මල් නඩත්තු කරන්න ඕන. ඒ නිසා ගමේ බොහෝ දෙනෙකුට අපේ මල් නිසා රැකියා අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා.

බිස්නස් එක ඉක්මණින් සක්සස් කරගන්න ඩිජිටල් මීඩියා භාවිතා කරන්නෙ කොහොමද?

අද වෙනකොට හැම දෙයක්ම රඳා පවතින්නේ සෝෂල් මීඩියා හරහා. සෝෂල් මීඩියා හොඳ විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. නරක විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මගේ රංගනයට අමතරව මගේ බිස්නස් එක මාර්කට් කරගන්න සෝෂල් මීඩියා මට උදව් වුණා. හොඳ විදියට හැන්ඩ්ල් කරගත්තොත් ඒක වැරදි දෙයක් නෙවෙයි.
පූජා නගරවල මල් එක්ක බැඳුනු සංස්කෘතියක් තියෙනවා.මල් විකුණන ගැහැණු ළමයි කියන්නේ ඒ සංස්කෘතියේ කොටසක්.නයෝමි තරම් ජනප්‍රිය නොවෙන මල් කෙල්ලකට මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න තියෙන ඉඩ කොහොමද?

මල් විකුණන ගැහැණු ළමයි අදටත් ඉන්නවා. මම ජනප්‍රිය නොවී හිටිය නම් සමහරවිට මේ තරම් සාර්ථක නොවී ඉන්නත් පුළුවන්. නමුත් ව්‍යාපාර කරන අද වනවිට සාර්ථක වෙලා ඉන්න හැමෝම ජනප්‍රිය අය නෙවෙයි. මම ජනප්‍රිය කෙනෙක් නොවුණත් මට උත්සහය සහ කැපවීම තියෙනවා නම් මට අවශ්‍ය දේ වෙත ළඟා වෙන්න බැරි නැහැ.

ඉදිරියට මල්,රංගනය,බිස්නස් බැලන්ස් කරගන්නෙ කොහොමද?

මෙච්චර කාලයකටත් මම රංගනයත් එක්ක හැමදේම ලස්සනට කරගෙන ආවා. මගේ අම්මට තාත්තට ආදරණීය දුවෙක් වුණා. ඉදිරියට මීටත් වඩා රංගනයට කැපවෙමින් බිස්නස් සමබරව කරගෙන යාවි. මල් හැමදාම මගේ ජීවිතයට ආශිර්වාදයක් වේවි..මම මල් වගේම ආදරය බෙදන විඳින කෙනෙක් වේවි.

❤️ සුභා ගුණරත්න

වර්ණ of life-  2025 සැප්තැම්බර් කලාපය:පිටුව - 05ප්‍රතික්ෂේප කිරීම වෙනුවට නිහඬව ප්‍රේමය මරාදමන පිරිමි...අපි එකට ඉන්නවා.ඒත...
29/09/2025

වර්ණ of life- 2025
සැප්තැම්බර් කලාපය:
පිටුව - 05

ප්‍රතික්ෂේප කිරීම වෙනුවට නිහඬව ප්‍රේමය මරාදමන පිරිමි...

අපි එකට ඉන්නවා.ඒත් අපි එකට නැහැ.ආදරය කියන විෂයෙ හරිම සංකීර්ණ භයානක තැනක් තමයි මේ.
එකට ජීවත්වීම කියන්නේ ආදරයම නෙවෙයි. එකට ජීවිතය බෙදාගන්නවා ගමන් අත අරින එක වෙන් වෙනවටත් වඩා දරුණුයි.මොකද නිහඬව අත අරින පිරිමි ඒක ප්‍රකාශ කරන්නෙ නැහැ.

අපි ඉන්නේ ඒවගේ බැඳීමක නම් ආදරය කියලා දෙයක් තවදුරටත් තියෙන්න විදියක් නැහැ.ඒත් නිහඬව මුකුත් නොවුණ විදියට ඔහු ඉන්න නිසා මේ තත්ත්වය තේරුම් ගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි.

මනෝ විද්‍යාවේදී කෙනෙකුගේ හැසිරීමක් සියුම්ව දැනගන්න නම් ඔහුගේ අභ්‍යන්තර ලෝකයට කැඩපතක් අල්ලන්නම වෙනවා.

අවදානම් ගැනීම අත් හරී

අවදානම කියන්නේ ආදරයට අවශ්‍යම දෙයක්. චිත්තවේගීයව එහෙමත් නැත්නම් හැඟීම්වලට විවෘත නොවී සිටීම යම් මිනිසෙකු ආදරය අත්හැර දමා ඇති බවට පැහැදිලිම ලකුණක්.ඔවුන් බලාපොරොත්තු, දුක සතුට හෝ බිය තවදුරටත් බෙදා ගන්නේ නැහැ.හැඟීම් පෙන්වීමට අවශ්‍ය හැම තැනකදිම ඔවුන් නිහඬ වෙනවා.බොහෝ විට අවධානය වෙනත් අතකට යවනවා.
මනෝවිද්‍යාත්මකව, එය ආරක්ෂක උපායමාර්ගයක්. සමීපවීම අඩු කිරීම, ප්‍රතික්ෂේප කිරීමට වඩා අවදානම අඩුයි. සැලකිලිමත් වී රිදවනවට වඩා සැලකිලිමත් නොවීම ආරක්ෂිතයි. කාලයත් සමඟ මේ පුරුද්ද නිසා හැඟීම් දුරස්ථ වෙනවා. අවදානමක් නොමැතිව, ගැඹුරක් නෑ වගේම ගැඹුරක් නොමැතිව ආදරය සෙමෙන් මැකී යනවා.

සතුරු කමටත් වඩා භයානකයි උදාසීනකම

ආදරය මැකිලා ගියාට පස්සෙ,පිරිමි කෙනෙක් පිටතින් තේරුම් ගැනීම ලේසි නැහැ. තවමත් ශාරීරිකව පෙනී ඉන්නව වෙන්න පුළුවන්. ඒත් සිතුවිලිවලින් ඔහු ඉන්නේ වෙනත් තැනක. ඔවුන් ඉන්නේ සාමාන්‍ය චර්යාවල.වැඩ කරනවා,කනවා, නිදාගන්නවා. සමහර වෙලාවට සහකරු සමඟ තමයි කාලය ගත කරන්නෙත්. ඒත් ඒ කිසිම තැනක අව්‍යාජ සම්බන්ධතාවයක තියෙන ගිනි පුපුරු නැහැ. මනෝවිද්‍යාව මෙය හඳුන්වන්නේ "emotional withdrawal"එකක් විදියට.හැඟීම්වලින් ඉවත්වෙනවා. ඒ කියන්නේ ඔහු සතුරු වෙනවා නෙවෙයි,උදාසීන වෙනවා කියන එක. මනෝවිද්‍යාඥයින්ට අනුව නම් උදාසීනකම කෝපවීමට වඩා විනාශකාරීයි. ඒක මිනිසෙක් ආදරයකින් ඉල්ලා අස්වන බවට ප්‍රබල සංඥාවක්.

ගැටලුවලට මුහුණ දෙන්නේ නැහැ. අවධානය වෙන අතකට හරවනවා.

ප්‍රේමයේදී අපහසුතාවලට මුහුණ දෙන්න වෙන එක වළක්වන්න බැරි දෙයක්. ගැටුම්, සම්මුති සහ දුෂ්කර සංවාද ප්‍රේමයකට නිත්‍ය අනිවාර්ය අංග. නමුත් අත්හැර දැමූ මිනිසෙක් මේ සියල්ල අත් හරිනවා. ගැටළු හරහා කතා කිරීම වෙනුවට, ඔහු රැකියාවේ, විනෝදාංශවල හෝ ඔහුගේ දුරකථනයට වැඩියෙන් අබ්බැහි වෙන්න පුළුවන්.

මනෝවිද්‍යාවේදී මෙයට "Avoidant coping" කියල කියනවා. අවධානයක් නැතුව හිරිවැටීමකින් ඉන්නවා.ගැටලුවලට මුහුණ දීම අත අරිනවා කියන්නේ ආදරය අත අරිනවා කියන එකයි. ගැටලු නොපෙනනවා නෙවෙයි.ඒවා විසඳන එක තේරුමක් නැති බව පේන්න ගන්නවා.සරලවම කියනව නම් ඔහුට ඇයව නොපෙනී යනවා.නොඇසී යනවා.

තවදුරටත් පෙනුම ගැන වදවීමක් නැහැ

පිරිමියෙක් ආදරය කරනකොට පුංචි පුංචි දේවල් ගැන පවා සැලකිලිමත්.විශේෂයෙන් තමන්ගේ පෙනුම එයාව හම්බවෙද්දි අඳින ඇඳුම,රැවුල,කොණ්ඩෙ මේ හැම දෙයක් ගැනම හිතනවා. තමන් ඇය ඉදිරියේ පේන විදිය ගැන හිතමින් ආඩම්බර වීමට ඔහු කැමතියි. ඔහු තව දුරටත් එහෙම සූදානම් වෙන්නෙ නැහැ කියන්නෙ අත් හැරීමට කලින් එන කසකාරයෙක්.ඇය ඉදිරියේ තවදුරටත් ප්‍රියජනක ලෙස ඉන්න අවශ්‍ය නැහැ කියන එක බැඳීමකදි බැරෑරුම්ව සලකා බලන්න වෙනවා.

සියල්ලන් මඟ හරී

ඔහු සහකාරිය පමණක් නෙවෙයි ඔහුගේ සමීප කවයේ අනෙක් අයත් අත් හරිනවා.ගැඹුරු මිත්‍රත්වයන්ගෙන් ඈත් වෙනවා.පවුලේ සංවාද මඟ අරින්න පටන් ගන්නවා.අන් අයගේ හැඟීම් පවා අවතක්සේරු කිරීමට ඉඩ කඩ තියෙනවා.

මෙය ගැඹුරු මනෝවිද්‍යාත්මක ස්ථාවරයක් හෙළි කරන්නකි. ඔහු සමස්තයක් ලෙස සමීපතාවයන් විසන්ධි කරන බව එහි තේරුමයි. ආදරය තව දුරටත් නොපවතින බව සිතන විට ඔහු සෑම බැඳීමක්ම හරස් වෙන ආකාරයට බිත්ති බැඳ ගන්නවා.මනෝවිද්‍යාඥයින් මෙය "Emotional numbing" චිත්තවේගීය හිරි වැටීමෙක් ලෙසයි හඳුන්වන්නේ.

නරුම හැඟීම් එළියට

අත්හැර දැමූ මිනිසෙකු බොහෝ විට නරුම ස්වරයක් වර්ධනය කරගන්නවා. බැඳීම් නොතකා හරින විහිළු,හැඟීම් ප්‍රකාශ කරන විට ඇස් ඉවතට ගැනීම, උත්තර නොදීම වැනි චර්යාවන් හඳුනා ගත හැකියි. හැම සම්බන්ධයක්ම කෙළවර වෙන්නෙ එකම විදියට වගේ කතා ඔහුගෙන් පිට වෙන්න පුළුවන්.නරුමත්වය බොහෝ විට මුල් බැස ගන්නේ බලාපොරොත්තු සුන්වීම තුළය. දුක,පාඩුව,කාලය නාස්ති වීම,ජීවිතය අවුල් වීම උපහාසයෙන් හෝ නිශේධාත්මකව සැඟවීම ඒ තුළ සිදු වෙනවා.

අනාගතය ගැන සිහින දැකීම නවත්වයි

සමහර විට වඩාත්ම කැපී පෙනෙන වෙනස්වීම මෙය විය හැකියි.සාමාන්‍යයෙන් ප්‍රේම කරන දෙදෙනෙක් ඉදිරියට යන්නේ අනාගතය ගැන දකින සිහින තුළයි. මිනිසෙක් ආදරය අත් හරින විට එකට දුටු සිහින දැකීම සම්පූර්ණයෙන් නවතා දමනවා.

මිනිසෙකු අතහැර දැමූ විට, අනාගතය "අපි" සිට "මම" දක්වා මාරු වෙනවා. ඔහු තමාගේම ඉලක්ක, තමාගේම මාර්ගය, තමාගේම චර්යාවන් ගැන කතා කිරීමට පටන් ගන්නේ ඒ සමඟයි. ඔහු තවමත් සම්බන්ධතාවයේ සිටියත්, මානසිකව ඔහු දැනටමත් බෙදාගත් කතාවෙන් ඉවත් වී ඇති බව එහි අරුත වෙනවා.

මනෝවිද්‍යාත්මක කෝණයකින්, මෙය "Relational identity "හෙවත් සම්බන්ධතා අනන්‍යතාවයෙන්" වෙන්වීම ගැනය. යමෙකු තමන් කණ්ඩායමක කොටසක් ලෙස දැකීම නැවැත්වූ විට, ඔවුන් තවදුරටත් එය පවත්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ නැහැ.

මිනිසෙකු නිහඬව ආදරය අත් හැරීමේ භයානකකම එයාකාරය. කෑගැසීම්, රිදවා ගැනීම්,පළිගැනීම් වැනි කිසිවක් නොමැතිව වුවත් ආදරයක් බිඳී යා හැකිය. එය ඉල්ලා අස්වීමක් වැනි දෙයක්. ආදරය කරන අය බිඳී යන්න කලින් මේ වගේ නිහඬ සංඥා මඟ හැර ගන්න එපා.

❤️උත්තරා ලියනගේ

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when වර්ණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share