29/05/2026
හතරවන දිගහැරුම 🐝🖤
"ආ මේ ස්ලිප් එක පුරවලා දෙන්න..."
අකේෂ් සර් මං දිහා නොබලම ස්ලිප් එකකුයි පෑනකුයි දික් කරද්දී මං ගැස්සිලා වගේ ඒ දෙක අරගත්තා..මං කවුන්ටරේ අයිනකට වෙලා ස්ලිප් එක දිහා බලන් හිටියෙ කොහෙන් පටන් ගන්නද කියලවත් හිතාගන්න බැරුව..
Account number...
Branch...
Amount...
දෙවියනේ මේවා පුරවන්නත් දැනන් ඉන්න ඕනිද...මං තොලත් හපන් පෑන උඩට පහලට කර කර ඉද්දී එහා පැත්තෙන් හිමීට හිනාවෙන සද්දයක් ඇහුනා..
මං ඔලුව උස්සලා බලද්දී අකේෂ් මං දිහා බලන් ඉන්නවා..
"ඇයි......"
මං ඇහුවෙ ලැජ්ජාවත් එක්ක..
"ඔච්චර අමාරුද ඕක..."
"මං මීට කලින් පුරවලා නෑ."
මං බිම බලාගෙනම කිව්වා..
"පේනවා... මෙහෙ දෙන්න..."
එයා අත දික්කරද්දී මං ඉක්මනට ස්ලිප් එක දුන්නා..අකේෂ් සර් පෑන අතේ කරකව කරකව ටිකක් වෙලා ස්ලිප් එක දිහා බලන් ඉදලා එකින් එක මට පෙන්නන්න ගත්තා.
"මෙතන name එක..."
"මෙතන account number..."
"මෙතන amount..."
ඒ ගැඹුරු කටහඩ ඇහෙද්දී මට ස්ලිප් එකවත් පේන්නෙ නෑ වගේ..මං බලන් හිටියෙ ඒ ඇගිලි දිහා...සුදු පාට දිග ඇගිලි...කලු පාට වොච් එක...හරි පිලිවෙලයි...
"මහීමා..."
"ආ..."
මං ගැස්සිලා වගේ ඔලුව ඉස්සුවෙ එයා මගෙ නම කියපු නිසා..මේ මනුස්සයා කොහොමද මගෙ නම දන්නෙ..
"Name කියන තැන ඔයාගෙ නම නෙවේ ළමයෝ කම්පැණියෙ නම ලියන්න. MDN Super.. "
එයා කට කොනකින් හිනාවෙද්දී මට හිතුනෙ පොලොව පලාගෙන යන්න..
දෙවියනේ...
මං මෙච්චර වෙලා ලියලා තියෙන්නෙ "මහීමා මධුහංසි "
මං ඉක්මනට ස්ලිප් එක මගෙ පැත්තට ඇදගත්තෙ ලැජ්ජාවටම මූනත් රතු වෙලා යද්දී..අකේෂ් සර් හිනාව හංගගෙන මං දිහා බලන් හිටියා..
"බැංකුවට ආවම ඔහොම තමයි මුලින්..."
"මෝඩයි වගේද ..."
මං තොලත් හපන් අහද්දී එයා ටිකක් වෙලා මං දිහා බලන් හිටියා..
"නෑ..."
ඒ එක වචනෙට මම මාරම නිවුනා...
"බය වෙලා ඉන්න පාටයි..."
ඒක කියද්දී ඒ ඇස් වල තිබ්බෙ විහිලුවක් නෙවේ...හරි අමුතු මෘදු ගතියක්...
මං මුකුත් නොකියා ආයෙ ස්ලිප් එක පුරවන්න ගත්තෙ හිත හොදටම කලබල වෙලා තියෙද්දී..
"මහීමා..."
"ම්ම්..."
"ඔච්චර කලබල වෙලා වැඩ කරොත් වැරදි වෙනවා..."
මං ඔලුව උස්සලා බැලුවෙ ඒ කටහඩ ටිකක් හෙමින් ඇහුන නිසා..
"හෙමින් පුරවන්න... කවුරුත් බනින්නෙ නෑ...
දෙවියනේ...මට එකපාරටම මතක් උනේ උදේ අර මනුස්සයා බැනපු විදිය...
මගෙ මූන වෙනස්වුනේ ඒ නිසාද කොහෙද අකේෂ් සර් ඇහිබැම හීනියට හකුලලා මං දිහා බැලුවා..
"මොකද..."
"ම්... මොකුත් නෑ..."
"අඩලාද..."
මං ගැස්සිලා ගියේ ඒ ප්‍රශ්නෙට..
මේ මනුස්සයා කොහොමද ඒක දන්නෙ...
මං ඉක්මනට ඔලුව දෙපැත්තට වැනුවා..
"නෑ..."
අකේෂ් සර් ටිකක් වෙලා මං දිහා බලන් හිටියා..ඒ ඇස් වල තිබ්බෙ මොකක්දෝ අමුතු බැල්මක්...හරියට මාව තේරුම් ගන්න හදනවා වගේ...
"කවුරුහරි බැන්නද..."
ඒ පාරනම් මට ඇත්තටම එයා දිහා බැලුනා..හිතේ තිබ්බ දේවල් මූනෙන් පේනවද මංදා...
"ඔව් ... customer කෙනෙක්..."
"ම්ම්..."
එයා හෙමින් ඔලුව වැනුවා..
"ඔය වගේ මිනිස්සු හැමතැනම ඉන්නවා..."
එහෙම කියලා එයා ස්ලිප් එකත් සල්ලි ටිකත් අරන් machine එකට දාද්දී මං හොරෙන් බලන් හිටියෙ ඒ මූන දිහා..
"ආ..."
අකේෂ් සර් සල්ලි receipt එකත් එක්ක මගෙ අතට දුන්නා..මං ගන්න යද්දී එයා හෙමින් කිව්වා...
"පාර පරිස්සමෙන් පනින්න නංගි.....
මගෙ හදවත එකපාරටම ගැස්සිලා ගියේ ඒ වචන ටිකට...ඒක සාමාන්‍ය වචනයක් වෙන්න ඇති...හැබැයි...ඒ වෙලාවෙ මට දැනුනෙ කවුරුහරි පරිස්සමෙන් මාව හිතේ තියාගෙන කතා කලා වගේ...
මං හිනාවෙලා බැංකුවෙන් එලියට එන්න වීදුරු දොර අදින්නත් කලින් සිකුරිටි අන්කල් දොර ඇතුලට ඇදලා මං දිහා බලලා හිනාවුනා..
"මං මේ රස්සාවට ඇවිත් අවුරුද්දකුත් පහුවෙලා.. අකේෂ් සර් හිනාවෙනවා දැක්කෙ අදමයි. ඒකත් මිස් එක්ක..."
සිකියුරිටි අන්කල්ගෙ වචන මගෙ ඔලුව ඇතුලෙ ආයම ආයම ඇහෙනවා.. මං හිනාවෙලා පාර පැනලා ඉක්මනට දුවන් ගියේ මං ඇවිත් හුග වෙලාවක් වුන නිසා..
"සල්ලි ටික බැංකුවට දාලා එන්න ඔච්චර වෙලා යනවද .. දැන් කොච්චර වෙලාද ගිහින්.. විනාඩි විස්සකට වැඩී..."
මං ඇතුලට යද්දිම කෑ ගහගෙන ඇගට ගොඩවුනේ විශාල් සර්..
"මේ...ම්ම්ම්.. පාර පයින්න ටිකක්.. අමාරු .වුනා.. "
මං ගොත ගගහා කියද්දී පොඩි සර් කට කොනකින් හිනාවුනේ තරහෙන්මයි..
"පාර පනින්න ගියාද නැත්තම් බැංකුවෙ පදිංචි වෙලා ආවද..."
එහෙම කියාගෙන එයා මගෙ අතේ තිබ්බ receipt එක උදුරලා වගේ අරන් බැලුවා..
"ලක්ෂ පහක් දාන්න ගිහින් විනාඩි විස්සක් ගන්නෙ කොහොමද කියලා මටත් දැනගන්න ඕනි..."
මං බිම බලාගෙනම හිටියෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව..ඇත්ත කියන්නද... බොරු කියන්නද...
බැංකුව ඇතුලෙ මං හිටියෙ සල්ලි දාන්නවට වඩා ඒ ඇස් දෙක දිහා බලන්. ආයම ආයම ඒ කතාබහ මතක් කරලා නිවෙන්න පුලුවන් සංසාරයක්..
"මහීමා..."
ඒ සැර කටහඩට මං ගැස්සිලා ඔලුව ඉස්සුවා..
"කියන දේ ඇහුනද..."
"ආ... ඔව් සර්..."
"ඊලග පාර ගියොත් විනාඩි දහයක් ඇතුලත එන්න ඕනි..."
මං හෙමින් ඔලුව වැනුවා..
එතකොටම චමත් අයියා එතනට ආවෙ හිනාව හංගගෙන..
"සර් මේ ළමයා පාර පනිනකොට ඇස් පියාගෙන දුවනවා. ඒකයි වෙලා ගියේ..."
"ඇස් පියාගෙන...?"
පොඩි සර් මං දිහා බැලුවෙ ඇහිබැමකුත් උස්සලා..මං ලැජ්ජාවටම බිම බලාගත්තෙ චමත් අයියා හයියෙන් හිනාවෙද්දී..
"ඇත්ත සර්. අද උදෙත් බයවෙලා හිටියෙ..."
පොඩි සර් ලොකු හුස්මක් අරන් receipt එක මගෙ අතට දුන්නා..
"කොළඹ වැඩ කරන්න ආවම ඔය බය නැති කරගන්න වෙනවා මහීමා..."
ඒ කටහඩේ මේ පාර තිබ්බෙ කේන්තියට වඩා මහන්සියක්..එයා එහෙම්මම යන්න හැරෙද්දී ආයෙමත් නැවතිලා මං දිහා බලලා යන්න ගියා.
චමත් අයියා මගෙ කන ලගට ලංවුනේ හිනාවෙවී..
"විශාල් සර් ඔයාට බනිනවා වැඩී... හැබැයි උබ ගැන හොයනවත් වැඩී "
"අනේ මේ... "
ආ... නෑ කියලද හිතේ... උබ මේ පොඩි එකෙක් වගේ ඔය පාර පයින්න හිටගෙන ඉද්දී විශාල් සර් දොර අයිනට වෙලා බලන් තනියම හිනාවුනා . මං බලන් ඉදියෙ "
චමත් අයියා අමුතු බැල්මකුත් මං දිහාවට දාගෙන එහෙම කියද්දී මං බිම බලාගත්තෙ ළැජ්ජාවටද , දුකටද , බයටද කියලා මටවත් තේරුනේ නෑ..
කඩේ වහන්නෙ හතට.. ඒත් මට ඕනි වුනේ මේ දැන්මම බෝඩිමට ගිහින් හොද නින්දක් දාන්න..
මං මේ වෙච්ච හැමදේම හිතේ තියන් ඉදියෙ හරි අමාරුවෙන්. අදනම් සදාට නිදාගන්න වෙන එකක් නෑ.. ඒ හැම මතකයක් එක්කම මගෙ මුනට ආපු හිනාව හංගන්න මට හැම නිතරම අමතකවුනා..
දන්නෙම නැතුව කාලෙ ගෙවිලා අපි කඩේ වහලා බෝඩිමට ගියා.. මං ගිය හැටියෙම නාගෙන ඇදට පැන්නෙ සදාටත් කලියෙන්ම.දවසම හිටගෙන වැඩ කරලා කකුල් දෙකත් රිදෙනවා.. ඔලුවත් බරයි.. ඒත් හිතනම් තිබ්බෙ වෙනම ලෝකෙක..
ඒ ඇස්...
දෙවියනේ ඒ මනුස්සයගෙ ඇස් දෙක මතක් වෙද්දී පපුව අස්සෙ මොකක්දෝ අමුතු දෙයක් හෙමින් හෙමින් පිරෙනවා වගේ..
"මහීමා දුව..."
පඩිපෙළ නැගගෙන යද්දී සදාගෙ නැන්දා කතාකරපු නිසා මං නැවතුනා..
"ඇයි නැන්දෙ..."
"පොඩි මහත්තයා ඇවිත් ඉන්නවා දුව..."
මං එකපාරටම ගැස්සුනා..
පොඩි සර්...?
මං ඉක්මනට පහළ බැලුවෙ හිතත් එකපාරටම ගැහෙන්න ගද්දී..සාලෙ මැද්දෙ තිබ්බ සැටියෙ ඉදගෙන හිටියෙ පොඩි සර්..විශාල් සර්ගෙ තාත්තා ඒ කියන්නෙ අපේ ලොකු සර් සදාගෙ මාමගෙ හොද යාලුවෙක් .දුරින් මොකක්දෝ නෑ කමකුත් තියනවා කියලයි සදානම් කිව්වෙ
කලු පාට ෂර්ට් එකේ උඩ බොත්තම් දෙකක් ඇරලා... අත් දෙක වැලමිට ලගට නවලා... එක අතකින් ෆෝන් එකත් අල්ලන් හිටියෙ වෙනදා වගේම ගනන් නොගන්න මූනකින්..
මාව දැක්ක ගමන් ඒ ඇස් එකපාරටම මං දිහාට ඉස්සුනා..
"ආවාද..."
ඒ හඩ ඇහෙද්දී මට තවත් කලබල හිතුනා..
"ස... සර්..."
"ඔයාගෙ phone එක shop එකේ දාලා ඇවිත්..."
එහෙම කියලා එයා සෙන්ටර් ටේබල් එක උඩ තිබ්බ මගෙ phone එක පෙන්නුවා..
එතකොටයි මට මතක් උනේ...
දෙවියනේ...මං අද කැෂියර් එක ලග charge වෙන්න ගහපු phone එක ගන්නම අමතක වෙලා...
"අනේ..."
මං ඉක්මනට ගිහින් phone එක අතට ගත්තෙ ලැජ්ජාවටමයි..
"හැමදේම අමතක වෙන ලෙඩක් තියෙනවද..."
පොඩි සර් ඇහුවෙ කට කොනකින් හිනාවක් එක්ක..
"නෑ සර්..."
"අම්මා කියලා කෝල් තුන හතරක් ආවා ඒකමයි මං මේ ආවෙ.. ඒ මිනිස්සු බයවෙලා ඇතිනෙ...."
එයා ඒක කිව්වෙ සැරෙන් නෙවේ...
හරි හෙමින්...මං ඔලුව වැනුවෙ මොකුත් කියාගන්න බැරුව..
සදාගෙ නැන්දා කුස්සියේ ඉදන් හයියෙන් කතාකරා..
"පුතා තේ එකක් බීලා යන්න..."
"එපා නැන්දෙ... මං යන්නම්...
පොඩි සර් නැගිට්ටෙ ෆෝන් එක සාක්කුවට දාගන්න එකට ගමන්..
ඒත් දොර ලගට ගිහින් ආයෙමත් නැවතුනා..
"මහීමා..."
"සර්..."
"හෙට උදේ පරක්කු වෙන්න එපා..."
"හා..."
මං හෙමින් කිව්වා..
එයා තප්පර දෙකක් විතර මං දිහා බලන් හිටියා.. ඊටපස්සෙ කිසිම දෙයක් නොකියා හැරිලා යන්න ගියා..
මං දොර ලගට වෙලා බලන් හිටියෙ ඒ රූපෙ පේන්න නැති වෙනකන්මයි..
"අඩේ මහී..."
එකපාරටම පිටිපස්සෙන් ඇවිත් සදා මගෙ උරහිසට ගැහුවා..
"පොඩි සර්ද ගෙනත් දුන්නෙ phone එක..."
මං phone එක පපුවට තද කරගෙන හෙමින් ඔලුව වැනුවා..සදා ඇස් දෙකත් හීනි කරන් මං දිහා බලන් හිටියා..
"විශාල් සර් එන පොටනම් හොද නෑ කොහෙද උඹටත් සිහියක් නෑනෙ "
මල්ෂා දිසානායක ✍