ඔවිඳු නිළමේ ඇඳුම් - Ovindu Nilame Adum

ඔවිඳු  නිළමේ ඇඳුම් - Ovindu Nilame Adum We hire and make every types of traditional wear as per your choice.

01/10/2023
05/12/2021

වර්තමානයේ විහිළුවක් බවට පත්වූ දියසේන කුමාරයාගේ සැබෑ වතගොත සොයා යමු.
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

දියසේන කුමාරයා යනු ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සත්‍ය චරිතයක් නොවේ. අද වැඩිහිටි පරපුරේ බොහෝ දෙනෙකුට අමතකව ගිය තරුණ පරපුරේ අය නොදන්නා මනඃකල්පිත චරිතයකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී නිදහස ලබා ගත් මුල් වකවානුවේදී එනම් 50 දශකයේ මුල් කාලයේදී දේශපාලන ක්ෂේත්‍රයේ වේදිකා වල රැව් පිළි රැව් දුන් චරිතයකි. මෙම මනඃකල්පිත චරිතයට සියවස් පහක පමණ ඓතිහාසික පසු බිමක්ද තිබිණි. කෝට්ටේ යුගයේ ලියවුණු පැරණි සිංහල කවි පොත වන සිරි පැරකුම්බා සිරිතෙහි සඳහන් වන 116 වැනි කවිය මෙයට පසු බිම විය.

සිය ගමගියැ එනු කොහි සිටැදද සමනොල
ගොසිනා
නොය කිය මුතු ඒ දිගැ බමුණා සුරිඳු
විසිනා
ගිය කලැ දෙ දහස් පන්සිය රජකු එතැයි
දියනා
කියවිණි තත්වැසියැ එනම් පැරකුම් රජ
මෙදිනා

මෙහි විස්තර වන්නේ සවැනි පැරකුම්බා රජු සමයේ (1412 - 1478) ශ්‍රී පාද වන්දනාවේ ගොස් එන මගියෙකුට මුන ගැසුණු තවුසෙකු විසින් කරන ලද අනාවැකියෙකි. මුළු සිරිලකම එක් සේසත් කොට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය අගනුවර කොට ගෙන රජ කරන සවැනි පැරකුම්බා රජතුමා බුදුරජාණන් වහන්සේගේ 2500 වැනි සංවත්සරයේදී ලංකාවේ දියසේන නමින් පහළව සක්විති රජ කෙනෙකුගේ තත්වයට පත් වන බවයි.

වසර 450 අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය පසු කොට නිදහස් ලංකාවේ පාලන බලයට පත් පාලකයින් දියසේන නමින් හැඳින්වීමට නොයෙක් වර උත්සාහ ගන්නා ලදී.ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක මහතාට දියසේන නාමය ආරෝපනය කිරීමට ගත් උත්සාහය මෙසේ සඳහන් කළ හැකිය. ඩී යනුවෙන් දිය යන්නෙන් ද ඇස් යනුවෙන් සේන වශයෙන් ගෙන දියසේන වශයෙන් හැඳින්විණි. මෙයට විරෝධය දක්වනු වස් කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි තමාගේ පුවත්පතක දියසේන බම්බුවා වශයෙන් ලිපියක් පළ කෙරුණි. ප්‍රථම මහා මැතිවරණයේදී ඩී. ඇස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දක්වනු වස් කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි තමාගේ පුවත්පතක දියසේන බම්බුවා” වශයෙන් ලිපියක් පළ කෙරුණි. ප්‍රථම මහා මැතිවරණයේදී ඩී.ඇස් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 42 ගෙන් සමන්විත විය. ප්‍රථම පාර්ලිමේන්තුවට මොරටුවේ මන්ත්‍රීවරයා වශයෙන් තේරීපත් වූ සෝමවීර චන්ද්‍රසිරි මෙය හැඳින්වූයේ අලි බබා සහ හොරු හතලිහ වශයෙනි.

නිදහස ලැබූ මුල් කාලයේදී මෙම දියසේන චරිතය නිසා දේශපාලනයේ විකටයකු බවට පත් වූ සැබෑ චරිතයක් ද විය. ඉතාම පිරිසිදුව අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් ගත සරසාගත් මෙම පුද්ගලයාගේ අන්වර්ථ නාමය වූයේ ටිප් ටොප් යනුවෙනි. ඔහුගේ නියම නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර ද සිල්වාය. පැරකුම්බා සිරිතෙහි කියවෙන අනාගතයේදී පහල වන දියසේන චරිතය තමාම බව තදින් ඇදහුවෙකි. මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේගේ 2500 සංවත්සරය වන විට රාජ්‍ය නායකයා විය යුත්තේ තමාම බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදුණි.

ඩී .ඇස් සේනානායක මැතිතුමා ප්‍රථම අගමැති වශයෙන් තම කැබිනට් මණ්ඩලය පත් කොට ආණ්ඩුකාරධූරය දරූ හෙනඩ්‍රි මේසන් මුවර් උතුමාණන් හට ඇමතිවරු හඳුන්වා දීමේ උත්සවය පැවැත්විනි. ඇමති මණ්ඩලය ඇමතිවරු 14 දෙනෙකුගෙන් සමන්විත විය. රජ ගෙදර පැවැත් වූ මෙම උත්සවයට එදා තිබූ පන්නයට අංග සම්පූර්ණ ටේල් කෝල් ටොප් හැට් වලින් සමන්විත යුරෝපා ඇඳුමෙන් සැරසුණු 15 වැනියෙකු ඉදිරියට ආවේය.ආණ්ඩුකාරවරයා හට අතට අත දීමට ටිප් ටොප් ඉදිරියට ගියේය. වහාම ක්‍රියාත්මක වූ අගමැතිතුමා 15 වැනි බොරු ඇමතිවරයා එයින් ඉවත් කරවිය. හන්දි ගානේ දේශපාලන කථා පවත්වන උන්මත්තකයෙකු ඇමතිවරයෙකු වශයෙන් පෙනීමට ගත් ක්‍රියා මාර්ගය ගැන ආණ්ඩුකාරවරයාට කරුණු පහදා දීමට සේනානායක මහතාට සිදු විය.

දෙවැනි එලි සබන් මහ රැජිනගේ ලංකා ගමනය 1954 අප්‍රේල් මස දී සිදු විය. කොළඹ වරාය ඉතාම උත්කර්ෂවත් ලෙස සරසා තිබුණු අතර රැජින පිළිගැනීමට ඇමතිවරු තානාපතිවරු ඇතුළු ප්‍රභූ පුද්ගලයින් රැස් වී සිටියහ. අගමැතිධුරය දරූ කොතලාවල මහතා රැජිනට මේ පුද්ගලයින් හඳුනාදීම ජයට පැවතිණි. අංග සමීපූර්ණ යුරෝපා ඇඳුමෙන් සැරසී ගත් පුද්ගලයෙකු හිටි ගමන් මතු වී රැජිතට අතට අත දීමට අත දිගු කළේය. රැජිනද අත දීමට සැරසුණු විට මෙම පුද්ගලයා දිහා කෝපයෙන් රවා බැලූ අගමැති කොතලාවල ටිප් ටොප්ට අමු සිංහලයෙන් මිල්ටරි භාෂාවෙන් බැන වැදුණි. ඔහුව අත්අඩංගුවට ගත් පොලිසිය වැලිකඩ සිපිරිගෙට ගෙන යනු ලදුව රැජිනගේ ලංකාගමනය අවසන් වීමෙන් පසුව නිදහස් කර හරින ලදී.

1956 මහා මැතිවරණයේදී සිදු වූ දේශපාලන පෙරළියට ඉමහත් පිටුවහලක් වුයේ බෞද්ධ තොරතුරු වාර්ථාවයි. මෙම වාර්ථාව නිල වශයෙන් පිළිගැන්වීම 1956 පෙබරවාරි 4 වැනි දිනයෙදී තිබිණි.නොසිතූ විරු සෙනගක් මේ සඳහා ඇදි ආහ. ඉතාම ප්‍රබල කථාව ආනන්ද මහා විදුහලේ හිටපු විදුහල්පති එල්. එච්. මෙත්තානන්ද මහතා අතින් සිදු විය. එය අස්ගිරි පාර්ශවයේ මා නාහිමියන් හට පිළිගන්වමින් නිදහසින් පසු මෙරට පාලනය කළ පාලක පක්ෂය නිර්ධය ලෙස විවේචනයට ලක් කළේය. මීළඟ මැතිවරණයේදී සිංහල බෞද්ධ රජයක් බිහි කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකුට රටේ පාලනය භාර දිය යුතු බව ප්‍රකාශ කළේය. මෙත්තානන්ද මහතාගේ කථාව අවසන් වූ වහාම ආරාධනාවකින් තොරව වේදිකාවට පැන ගෙන මයික්‍රපෝනය දකින්ම අල්වා ගෙන

“මෙත්තානන්ද මහතාගේ අදහස මා එක හඬින් අනුමත කරනවා. අගමැති ධූරයේ සිටින කොතලාවලට මේ රට පාලනය කරන්න බැ. ඔහුව පන්නා දමා ලංකාවේ රජ වීමට පාරම්පරික අයිතියක් ඇතිව මේ රටේ පහළව සිටින නියම දියසේන කුමාරයා වන වාසල අධිකාරිගේ සිංහරාජ තන්දිමිත්‍ර වන මා හට අගමැතිධූරය ලබා දිය යුතු යයි” ටිප් ටොප් ප්‍රකාශ කළේය. මෙත්තානන්ද මහතාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.

“වහාම බැහැපන් ටිප් ටොප් වේදිකාවෙන්” යයි කෝපයෙන් ප්‍රකාශ කළේය. ආනන්ද විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු වූ වීරරත්න මහතා ටිප් ටොප්ව වේදිකාවෙන් බැස්වීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ මහතාට ලැබුණේ කම්මුල් පහරකි.තදින් මයික්‍රපෝනය අල්වා සිටි නිසා මයික්‍රපෝනය වයරයද කැඩී ගියේය. ඉවත් කරණු ලැබූ ඔහු එළියට වී ටික වේලාවක් වීරරත්න මහතාට බැන වදිමින් සිටි නැවත සාලාව තුළට රිංගා වැඩ කටයුතු අවසන් වන තෙක්ම සන්සුන්ව සිටියේය.

1956 මහා මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබූ ඇස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මහතා අගමැති පදවියට පත් වී අගමැති නිවසේ පැවැත්වූ සාදයට කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි වලින් මේසය මොනවාට සරසා තිබුණි. මෙරට සංස්කෘතික විප්ලවයේ පුරෝගාමී අගමැතිතුමා කිරිබත් අනුභව කළේ හැදි ගෑරුප්පු වලිනි. මේ අතරට එක් වූ ටිප්ටොප් වෙනදා අඳින අංග සම්පූර්ණ යුරෝපා ඇඳුම අත්හැර සුදුපාට ජාතික ඇඳුමෙන් සැරසී නිල්පාට සාටකයක් දමාගෙන සිටිනු දැක ගත හැකි විය. අගමැතිතුමා සමඟ ස්වල්ප වේලාවක් කථාවට මඟ පාදා ගත් ඔහු මෙම තත්ත්වය පරම්පරාවෙන් සිරි පැරකුම්බා සිරිතේ විස්තර වන අන්දමට තමාට හිමිවිය යුතුව තිබුණත් බණ්ඩාරනායක මහතාට ලැබීම ගැන තමාගේ සිතේ කිසිම කහටක් නොමැති බව පවසා සිංහල බෞද්ධ ක්‍රමයට රට කරවන හැටි උපදෙස් දීමට පවා නිර්ලෝභී විය. මෙම උපදෙස් පිළිගත් බව හැඟවීම් නව අගමැති ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා අතින් සිදු විය.

ප්‍රථම වරට පාර්ලිමේන්තුව විවෘත වන දිනයේ පාර්ලිමේන්තුවේ සභා ඝර්භය තුළට ඕනෑම අයෙකුට ඇතුල් විමේ අවස්ථාව ලැබුණි. මෙය ලොව කොතැනකවත් නොකෙරුණ දෙයකි. තම රජය නියම මහජන රජයක් නොහොත් තමුන්නාන්සේලාගේ රජයක් ආණ්ඩුවක් යයි මහජනයාට ප්‍රකාශ කළ නව අගමැතිතුමාගේ තර්කය වූයේ මන්ත්‍රීවරුන්ට මෙන් සාමාන්‍ය ජනයාටද සභා ඝර්භය තුළට පිවිසීමට අයිතියක් ඇති බවයි. අගමැතිතුමාගේ අවසරය පරිදි සභා ඝර්භයට ඇතුළු වූ ජනයා රිසි සේ හැසිරෙන්නට විය. සමහරු නොදනුවත්කම නිසා මන්ත්‍රී අසුන් වල වාඩි ගත්හ. දියසේන කුමාරයා තමා යයි හඳුන්වා ගත් ටිප්ටොප් කෙලින්ම ගොස් වාඩි වුණේ අගමැති අසුනේය. ඔහු ඉවත් කිරීමට පැමිණි නිලධාරීන් අමතා ඔහු කීවේ මෙම පුටුවේ වාඩි ගැනීමට තමා ඉතා කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් ජීවිත කාලයක් කටයුතු කර ඇති බැවින් ඉවත් වීමට නොහැකි බවයි. මේ අනුව ඔහුට බලෙන් ඉවත් කිරීමට නිලධාරීන්ට සිදු විය.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව බණ්ඩාරනායක මැතිතුමා බලයට පත් කිරීමට වෙහෙස මහන්සි වූ භික්ෂුන් වහන්සේලා රොස්මිඩ් පෙදෙසේ අගමැතිතුමාගේ නිවස වටකොට ගත්හ. දිනය 1958 අප්‍රේල් මස 9 වැනිදාය. අගමැතිතුමා අගමැති කාර්යාලයට වී සිටියේය. මේ පිරිස අතුරින් ජාතික ඇඳුමෙන් සැරයි ගත් ටිප්ටොප් දුටු එක් අයෙකු ඔන්න අගමැතිතුමා එනවා යයි කීවෙත් විමතියට පත් පුද්ගලයින් දුටුවේ ටිප්ටොප්ය. සැවොම සිනාසෙන්නට වූහ. කියග මගිය එනු කොයි සිට දද සමනොල ගොසිනා වශයෙන් පටන් ගෙන එක දිගට කවි කියන්නට පටන් ගත් ටිප් ටොප් ගේ කවි වලින් මහජනයා පමණක් නොව රැස්ව සිටි සඟරුවනද ලැබුයේ නොමද ආශ්වාදයකි. මෙම කවි හා කථාවල් ඇසීමට අගමැතිතුමාගේ දරුවන් තිදෙනාද ගේට්ටුව අසළට රැස්විය.දේශපාලන කථාවක් ද කළ ඔහු බණ්ඩාරනායක - වෙල්වනායගම් ගිවිසුමට විරුද්ධවද කථා කළේය. එහි වැදගත් වූ කරුණු අඩංගු වූ නිසා කවුරුත් ඇහුම් කන් දුන්නෝය. කථාව අවසන් කළේ සිංහල බෞද්ධ රජයක් ඇති කොට රට පාලනය කළ හැකි පුද්ගලයෙකු වන තමාට රජ්‍ය බලය දීමට ජනතාවට කෙරෙන ආයාචනයකින් පසුවයි. 1959 සැප්තැම්බර් 25 වැනි දින සිවුරු පෙරවා ගත් සාහසිකයෙකු විසින් අගමැති මැදුරේදීම අගමැතිතුමාට වෙඩි තබන ලදී. පසු දින උදය කාලයේදී අගමැතිතුමා අවසන් හුස්ම හෙළුවේය. අගමැතිතුමා හට ප්‍රතිකාර දෙමින් සිටියදී රෝහල වෙත රැස් වූ මහජනයා ඇමතු පුද්ගලයෙකු විය. ඒ ටිප්ටොප්ය.”දුශ්ශීල භික්ෂූන්ගේ සිවුරු ගලවා ඇගේ , තාර ගානවා යයි කොලාවල කී කථාවට එදා විරුද්ධ වුවත් ඒ කථාව අද අනුමත කරනවා. සිවුරු පොරවා ගත් සොර භික්ෂුවක් අපේ අගමැතිතුමාට වෙඩි තබලා”යයි උද්වේගකර කථාවක් ඔහුගෙන් නිකුත් විය. අගමැතිතුමා බැලීමට පැමිණි ලකිසුරු ඔලිවර් ගුණතිලක මැතිතුමාට මේ කථාව ඇසුණි. ඔහු පොලීසිය අමතා මේ අවස්ථාවේ හැටියට මේ කථාව ඉතා භායනකයි. මෙම පුද්ගලයාට හිරිහැර නොකොට ගෙදර ගොස් බස්සවන ලෙස උපදෙස් දුන්නේය. එම උපදෙස් එලෙසම ක්‍රියාවට නැගුණි.

දියසේන ලෙස සිටි ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයා ටිප්ටොප් වුවත් එවැනි තවත් පුද්ගලයින්ද නොයෙකු තැන් වල පහළ විය. පානදුරේ සිටි උසින් හා මහතින් යුත් කාල වර්ණ පුද්ගලයෙකු දියසේන නම් තමා බවත් අගමැති බණ්ඩාරනායක හට දියසේන නම් නාමය ආරෝපනය වී ඇත්තේ වැරදීමකින් බවත් නිතර පැවසීය. පානදුරේ ජනතාවට මේ පිළිබඳව විනෝද ජනක කථා කීවා මිස ඉන් එහාට ගියේ නැත. නමින් එල්. ඕ. ප්‍රනාන්දු වූ මොහුට කාත් කවුරුත් කීවේ පඩිතුමා යනුවෙනි.මොහු රාජ මන්ත්‍රණ සභා යුගයේදී මැතිවරණ වලදී ශ්‍රීමත් සුසන්තාද පොන්සේකා මැතිතුමා හට ආධාර කළ අයගෙන් කෙනෙකු විය . ඔහු දේශපාලනය පමණක් නොව සෑම විෂයක් පිළිබඳව විශාරද දැනීමක් ඇති බව ඔහුම ප්‍රකාශ කොට ඇත.

1956 මහා මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා වෙත සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් ගොඩ නැගීමට උපක්‍රමයක් වශයෙන් පංච මහා බලවේගයන්ගේ එක් බලවේගයක් වු එක්සත් භික්ෂු සංවිධානය විසින් මෙය සියුම් ලෙස ප්‍රයෝජනයට ගන්නා ලදී. බුදුරජාණන් වහන්සේගේ 2500 සංවත්සරයේදී ලංකාවේ පහළ වන බවට සිරි පැරකුම්බා සිරිතේ කියවුණු අනාවැකියේ දියසේන කුමාරයා මෙම සියවසේ මැතිවරණය ජයග්‍රහණය කොට බණ්ඩාරනායක රජය පිහිටවීය.

කෙසේ හෝ තවත් කවියකින් දියසෙන් කුමරු පහල වන දිනය නැකත පවා සඳහන් කර ඇත.

දිවයුරු කෙසැර රැ සැ සුරගුරු කටක
රැසේ
සෙනසුරු වනිජ රැ සැ බිඳිනෙතු මිතුන
රැසේ
අඟහරු මකර රැ සැ සිසි පුතු මිත
රැසේ
නියඟුරු මේස රැ සැවත දියසෙන් පි
විසේ

මෙයින් කියවෙන්නේ දියසෙන් කුමරු පහල වීමෙන් පසු මියුගුණු නොහොර නොහොත් මහියංගන චෛත්‍යය දෙවියන්ගේ ආරාධනාවෙන් කොත පැළඳවන බවයි. මෙම අදහසම කියවෙන තවත් සරල බසින් යුතු කවියක් ද ඇත. මෙම කවියෙන් හැඟෙන්නේ මෙම ජනප්‍රවාදය දිගු කලක සිට පැවත එන බවයි.

මහියංගන වෙහෙරැ වැඩ නිම වු
දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන් හ
සෙට
දෙවියන් විසින් කැදවෙති කොත් පැලඳු
මට
හෙයියන් බසක් නොවැ මේ යස් බසෙකි
සෙට

ඇම්. සී. ඉඳුනිල් ප්‍රනාන්දු මහතාගේ ලිපියක් ඇසුරිනි.

කතෘ අයිතිය සුරකින්න
ගත්සයුර🖋️

තවත් වටිනා ලිපි කියවීම සදහා එක් වන්න.
https://www.facebook.com/ගත්-සයුර-Gath-sayura-104669808442839/

සිතුවම අන්තර්ජාලයෙනි.

#ඉතිහාසය #ජනකතා #ඉතිහාස_කතා #අතීත_කතා #හෙළ_කතා #ලංකා_ඉතිහාසය #ලංකාවේ_වීරයෝ #අපේ_ඉතිහාසය

14/03/2021

Address

Ambalangoda

Telephone

+94774100758

Website

Alerts

Be the first to know and let us send you an email when ඔවිඳු නිළමේ ඇඳුම් - Ovindu Nilame Adum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඔවිඳු නිළමේ ඇඳුම් - Ovindu Nilame Adum:

Share