06/08/2026
උරුමයට ජීවයක් – පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ සමංගල–සොහොන්ගල මෙගලිතික සුසාන පරිශ්‍රයේ සංරක්ෂණ හා පර්යේෂණ කටයුතු ඇරඹේ
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන “උරුමයට ජීවයක් – පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන” යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ තවත් වැදගත් සංරක්ෂණ හා පර්යේෂණ වැඩසටහනක් පසුගියදා සන්ගල–සොහොංගල මෙගලිතික සුසාන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පූර්ව හා මුල් ඓතිහාසික යුගයට අයත් වටිනා පුරාවිද්‍යා උරුමයක් ලෙස සැලකෙන සමංගල–සොහන්ගල මෙගලිතික සුසාන භූමිය සංරක්ෂණය කිරීම, විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සහ එහි උරුම වටිනාකම මහජනතාවට හඳුන්වාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.
මෙහිදී කැණිම් කරනු ලැබූ මෙගලිතික සුසාන ස්මාරකයේ සංරක්ෂණ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම, නව සුසාන ස්මාරකයක විද්‍යාත්මක පුරාවිද්‍යා කැණීම් ආරම්භ කිරීම, කැණීම්වලදී අනාවරණය වූ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක සාධක මහජන ප්‍රදර්ශනයට තැබීම, ස්ථානයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ඓතිහාසික බුද්ධංගල හා සමංගල විහාරස්ථානවල විහාරාධිපති පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන්, සමංගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිකාරී පූජ්‍ය වැල්ලම්පිටියේ සුගතරතන හිමියන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ඒකාබද්ධතා හා සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ගරු වසන්ත පියතිස්ස මැතිතුමා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රියන්ත විජේරත්න මැතිතුමා, අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා, වැව්ගම් පත්තුව උහන ප්‍රාදේශීය ලේකම්තුමා, උහන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීතුමා, උහන සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ අණදෙන නිලධාරීතුමා, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයන්, ප්‍රදේශවාසීන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම වැඩසටහන තුළින් මෙගලිතික සංස්කෘතියට අයත් ශිලා සුසාන සම්ප්‍රදාය, ශවෝපචාර, භාණ්ඩ තැන්පත් කිරීමේ සම්ප්‍රදාය සහ එම යුගයේ සමාජ හා සංස්කෘතික ලක්ෂණ පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවන බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දුන්හ. නව කැණීම් මඟින් ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස හා නැගෙනහිර පළාතේ පැරණි ජනජීවිතය පිළිබඳ නව තොරතුරු අනාවරණය වීමේ හැකියාව ද පවතින බව සඳහන් කෙරිණි.
මෙම ව්‍යාපෘතිය මඟින් පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම පමණක් නොව, ප්‍රදේශයේ සංස්කෘතික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, දේශීය ජනතාව උරුම සංරක්ෂණයට සම්බන්ධ කරගැනීම සහ අනාගත පරපුර සඳහා වටිනා පුරාවිද්‍යා සම්පත් සුරැකීම ද අපේක්ෂා කෙරේ.
සමංගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිකාරී පූජ්‍ය වැල්ලම්පිටියේ සුගතරතන හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන්, අම්පාර–මඩකලපුව ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ ඩී. එස්. ඒ මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සංවිධාන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර මඩකලපුව කැණීම් විෂයභාර නිලධාරී එස්.ඒ ප්‍රසන්න, රජගල කලාප අංක 07 හි කලාප නිලධාරී ජගත් ඒකනායක, රජගල ස්ථාන භාර නිලධාරී එල්.ජී.ටී ආනන්ද, විෂය ලිපිකරුවන් වන කේ.ඒ.එස් ලක්මාල්, අරවින්ද මධුශාන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිදුකරන ලදී. මේ සඳහා පූර්ණ අනුග්‍රහය සමංගල විහාරස්ථ කප්පිය දායක සභාව විසින් දරනු ලැබීය.