25/06/2020
ඩ්‍රෝන යානා තාක්ෂණයේ යෙදවුම් නව මානයකට ගෙනයමින් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව සුදුසුකම් ලත් ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන් පිරිසක් හඳුනාගනී
අනෙක් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව, දශකයකට ආසන්න කාලයක දී ඩ්‍රෝන යානා භාවිතය ලොව පුරා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. නවීන තාක්ෂණය ඩ්‍රෝන තාක්ෂණය හා මුසුවීම එයට ප්‍රධනතම හේතුව ලෙස දැක්විය හැකිය. මෙයට සමගාමීව ශ්‍රී ලංකාව තුලද ඩ්‍රෝන යානා භාවිතය විශේෂයෙන් තරුණ සහ කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ජනමාධ්‍ය වාර්තාකරනයන් මෙන්ම උත්සව අවස්ථාවන් ආවරණය කිරීම වැනි කාරණාවන් සඳහා වර්ථමානයේ දී වඩාත් සුලභව භාවිතයන් වෙයි.
නමුත් ඩ්‍රෝන යානා මගින් ඉන් ඔබ්බට ගියා වූ පුළුල් පරාසයක් ඔස්සේ විහිඳුන කාර්යභාරයක් ඉටුකර ගත හැකි වන අතර ඒ බව හඳුනාගත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, දිවයින පුරා විසිරී සිටින ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන් ඒකරාශී කර, එක් නියාමන ප්‍රවාහයකට නතු කර ජාතික හා සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කල හැකි පරිදි සුදුසුකම් ලත් කණ්ඩායමක් බවට පත් කරන්නට මේ වන විට කටයුතු කරමින් සිටී.
ඒ අනුව විවෘත අයදුම්පත් කැඳවීමක් ඔස්සේ අයදුම්කල ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන් 88 දෙනෙකු අතරින් නිසි නියාමන ක්‍රමවේදයන් අනුගමනය කරන මෙහෙයුම්කරුවන් 20 දෙනෙකු තෝරාගෙන ඔවුන් හට යෝග්‍යතා සහතික පිරිනමා සමාජය වෙත මුදාහැරීම ජුනි මස 26 වන දින සිදුකෙරේ. අයදුම්කල පිරිස අදියර හතරක් යටතේ යෝග්‍යතා මට්ටම් පිරික්සීමේ පරික්ෂණ සඳහා යොමුකරන ලද අතර ඒ යටතේ න්‍යායාත්මක දැනුම පිළිබඳව ලිඛිත පරික්ෂණය, ඩ්‍රෝන යානාවේ තත්ව පර්ක්ෂණය, ඩ්‍රෝන යානා මෙහෙයවීම පිළිබඳ කුලසතා පරික්ෂණය සහ වෛද්‍ය පරික්ෂණය යන අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දී සමත්වූ පිරිස සඳහා මෙහිදී ඩ්‍රෝන යානා මෙහෙයුම සඳහා වන යෝග්‍යතා අවසරපත් පිරිනැරමීමට තීරණය කර ඇත්තේ කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ය.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානම හමුවේ මානව මැදිහත්වීම වලින් ඔබ්බට ගියාවූ වඩාත් ආරක්ෂාකාරී, නවීන තාක්ෂණික යෙදවුම් එහි පාලන ව්‍යාප්ති වැඩසටහනට යොදවාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනු ලැබ තිබූ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන රජයේ යෝජනාවන්ට අනුව කටයුතු කරමින් සුදුසුකම් ලත් ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන් කණ්ඩායමක් කොරෝනා වෛරස ව්‍යාප්ති පාලන වැඩසටහනට සහායවීම සඳහා සූදානම් කරවීමේ අරමුනින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් මෙම වැඩසටහන ආරම්භ කලේ මෙයට මාස දෙකකට පමන ඉහත දී ය.
එහෙත් කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉතා ප්‍රසංසනීය අන්දමින් පාලන කිරීමට ශ්‍රී ලංකාව සමත්වීමත් සමගම උක්ත පරමාර්ථයෙන් පරිභාහිරව වෙනත් පලදායී ක්‍රියාවන් සඳහා හැකියාවන් සපිරි මෙම පිරිස යොමුකිරීම සඳහා වත්මන් වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට කෙරෙහි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය අවදානය යොමුකලේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සැදුම් ලත් කමිටුවක් ඔස්සේ කඩිනම්ව සාර්ථක අන්දමින් ක්‍රියාවට නැංවින.
මෙම අනුමැතිය ලත් ඩ්‍රෝන යානා ක්‍රියාකරුවන් පිරිස නිල වශයෙන් මුදාහැරීමත් සමගින් ශ්‍රී ලංකාවේ සිදුවන විවිධ ඝණයේ නිරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යන් වෙනුවෙන් ඔවුන් යොදවා ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත අවස්ථාව හිමිවේ.
වත්මන ආරක්ෂක තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ලක්කිරීමෙන් සහ ඩ්‍රෝන යානා සඵල ලෙස මෙහෙයුම් ක්‍රියාවලියේ නිරත කරවීමේ අරමුනින්, මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදුකරන සියළු ආකාරයේ ඩ්‍රෝන යානා මෙහෙයුම් සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය සහිතව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය ලබාගෙන සිදුකල යුතුය.
ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ඩ්‍රෝන යානා මෙහෙයුම්කරුවන් ඒකරාශී කර නිසි නියාමනයකට ලක්කරමින් ජාතික හා සමාජයීය අවශ්‍යතාවයන් වෙන්වෙන් එම ක්ෂේත්‍රය පෙළගැස්වීමේ මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් සංතරණ රෙගුලාසි) රොහාන් මනුකුලසූරිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, මෙම වැඩපිළිවල භාරව කටයුතු කරන ඒකකයේ කළමනාකාරිනී සමුද්‍රා චන්ද්‍රරත්න මහත්මිය සහ සහකාර කළමනාකරු ප්‍රවීන් කළණ මහතා වෙතින් (011 2358817/ 818 හා [email protected], [email protected] ) තවදුරටත් ඔබට අවැසි තොරතුරු ලබාගත හැකිය.