02/10/2017
ප්ලෑනක් පාස් කෙරෙන්නෙ කොහොමද කියන එක තමා අද අපි ඔයාලට පැහැදිලි කරන්නේ.
ඔයා ලග බිම් කට්ටි සැලස්මක් (block out Plan/Surveyor Plan) හෝ ගොඩනැගිලි සැලසුමක් (Building/House Plan) තිබුණට විතරක් මදි. නියමිත පරිදි නාගරික සංවර්ධන අධිකාරියෙන්/පළාත් පාලන ආයතන වෙතින් ඒවා අනුමත කරගෙන තියෙන්නත් ඕනේ.
රටේ පවතින නීති වාතාවරණය තුළ විය යුතු නෛතික තත්වය පැහැදිලි කරද්දි ඇතමෙක් කියාවි කලින් කියපු මුකුත් කරන් නැතුවම ප්ලෑනක් පාස් කරන්න යනකොට අදාල ආයතනයේ තාක්ෂණික නිලධරයෙක්ට මොණර කොළ කිහිපයක් අතමිට මෙලෙව්වනම් මේ කියන නීති මුකුත් නැහැ කියල.
නමුත් රට යන අත කොයික වෙතත් අපි නෛතික නොවන දෙයක් අල්ලසින් හෝ ඉටුකරවා ගැනීම අනුමත කළ යුතු නැහැ. එවැනි කටයුතු වලට උඩගෙඩි දිය යුතු වන්නේද නැහැ. අල්ලස් දීමත් අල්ලස් ලබා ගැනීමත් නීති විරෝධියි.
නීතියක්/රෙගුලාසියක් පවතින්නේ ඔයාගෙත් මගෙත් යහපත පිණිස මිසක් ඔයාල-අපි ඉඩම් ගන්න එකවත් ගෙයක් හදන එකවත් නවත්තන්න නෙවෙයි.
✍️ ප්ලෑනක් අනුමත කරන්න බලය තියෙන්නෙ කාටද?
1978 නාගරික සංවර්ධන අධිකාරී පනත අනුව මුලු රටේම ගොඩනැගිලි සැලසුම් සහ සංවර්ධන සැලසුම් සකස් කිරීම / අනුමත කිරීම ඇතුලු අනුශාංගික කටයතු සිදු කිරීම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී තිබුණා.ඒ නිසා අදටත් මෙම කාර්යය කිරීමේ නෛතික බලය පනතින් තියෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරියට.
එසේ කටයුතු සිදුකරමින් සිටියදී ජනතාවට හා ඒකාධිපති ආයතනයකට සිදුවූ ගැටලු මගහරවා ගැනීම සඳහා 1985/1987 (ප්‍රාදේශිය සභා අතුරු ව්‍යවස්ථාවෙන්)වසරේදි ගොඩනැගිලි සහ වෙනත් සංවර්ධන සැලසුම් අනුමත කිරීම,අනුකූලතා නිකුත් කිරීම,විථි රේඛා /ගොඩනැගිලි රේඛා හා සංවර්ධන බලපත් නිකුත් කිරීම සහ නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම,මූලික සැලසුම් නිරාකරණය කිරීම වැනි කරුණු ඉටුකර දීම ඉඩමට අදාල පළාත් පාලන ආයතන වෙත පවරනු ලැබුවා.
ඒ අනුව ගොඩනැගිලි තැනිය යුතු ප්‍රදේශය/ ගොඩනැගිලි තනන අමුද්‍රව්‍ය/ වාතය සංසරණය වීමට අවශ්‍ය විධිවිධාන/ ජලාපවාහන ක්‍රමවේදයන් වැසිකිළි පහසුකම්/ අත්තිවාරම් ස්වභාවය තීරණය කිරීම පරීක්ෂා කරමින් රෙගුලාසි පිළිපැද ඇත්ද සොයමින් සැලසුම් අනුමත කිරීම පළාත් පාලන ආයතන හරහා සිදු කරනව.
ඒ වගේම මේ කියන ප්ලෑන් අනුමත කළ යුතුයි යන කතාව අදාල වන්නේ නාගරික සංවර්ධන පනත යටතේ සංවර්ධිත ප්‍රදේශ ලෙස හදුනාගත් පිළිගත් ප්‍රදේශ තුල පමණයි කියලත් මතක් කරනවා.
ඒ කටයුතු සිදු කිරීමට සැලසුම් කමිටුවක්ද පත් කළා. ඊට:-
නගරාධිපති/ සභාපති, නියෝජිත නගරාධිපති /සභාපති,නාගරික කොමසාරිස්/ ලේකම්,ඉංජිනේරු/තාක්ෂණික නිලධාරි,සැලසුම් නිලධාරි,ගොඩනැගිලි විෂයභාර ලිපිකරු ඇතුළත්.
-මේ අයට අමතරව අවශ්‍ය විටක:
මාර්ග සංවර්ධන අධිකාරියේ/පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්,ගොවිජන සේවා කොමසාරිස්,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි,ඛණිජ හා පතල් කාර්යංශය,පහත් බිම් සංවර්ධන මණ්ඩලය,පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත්/දිස්ත්‍රික් ඉංජිනේරුවන් සහභාගි කරවා ගන්න පුලුවන්.
(පහුගිය ටිකේ වැල්ලවත්ත ආදි තැන් වල අනවසර ඉදිකිරීමක් කඩා වැටීමේ සිද්ධියෙන් පස්සේ ඇස් ඇරැණු නිසි බලධාරින් සැලසුම් කමිටු ඔවුන්ව පත් කරපු වැඩේ හරියට නොකරන නිසාත් වැඩ වල තියෙන තාක්ෂණික/පුද්ගල අඩුපාඩු නිසා මෙම කටයුත්ත නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන නව වේශයකින් කටයුතු කරන්න යනව කියලත් දැන් දැන් කතාවක් තියෙනව.සමහර විට ඒක අදාල වෙන්නේ ගෙවල් හදන ඈයෙන්ට නෙවේ.පොඩි ඉඩම් වල ලොකු බිල්ඩින් ගහන ඈයොන්ට. ඒ වගේම පුංචි ඡන්දෙන් පස්සේ මේ කටයුතු පරිඝණක ගත කරන්නත් යනව කියල ආරංචියි)
✍️ අනුමත බිම් කට්ටි කිරීමේ සැලසුමක්/ ගොඩනැගිලි සැලැස්මක් තිබිය යුත්තේ ඇයි?
▪️නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කරන්න බැහැ.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි හා දඩයන්ට යටත් වන ක්‍රියාවක්.එවැනි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ හැකියාවත් ඔවුන්ට තියෙනව.
▪️අනුමත බිම් කට්ටි සැලස්මක් නැතුව නිවාස සැලැස්ම අනුමත කරන්නේ නැහැ.
▪️ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමාණවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු බිම් කට්ටි හා නිවාස සැලසුම අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුයි.
▪️පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අධිවේගී මාර්ග ) ඔබේ නිවස/ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.(විථි රේඛා සහතික ඕන මේවා බලන්න. ඒත් ඉතින් රාජ්‍ය ප්‍රතිපත්ති මත වන අත්පත් කර ගැනීම් මේ සහතික වලින් කියන්නෙ නැහැ.ඒවැනි සිදු වීම් වලදි වන්දි ගන්න අනුමත සැලැසුම ඔිනේ)
▪️හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.
▪️පසු කාලීනව ගොඩනැගිල්ලේ වෙනසක් කර එය නැවත අනුමත කර ගැනීමේදී පෙර සැලසුමේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය.
(අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අපස්සට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවෙනවා.)
▪️ගේ හදන්න සංවර්ධන බලපත ගන්නත්, ඊට පස්සේ අනුකූලතා සහතිකය ගන්නත් අනුමත සැලැස්මක් නැතුව බැහැ.
▪️ඉඩමේ දැනටමත් තියෙන ගෙය සැලසුමක් අනුමත වන රෙගුලාසි (මේ ගැන අපි කළින් ලිපියකින් දැනුවත් කළා) වලින් පරිභාහිර නම් ඒ ගෙය අතහැර *ඉඩම පමණක් අනුමත කරන* බවට සටහන් යොදා ඇතිවිට ණයක් ගැනීමට ඉදිරිපත් වුණත් ඔබට අවශය මුලු ණය මුදල ලබා දීම සදහා නිවසේ වටිනාකම ගණනය නොවීමේ අවධානම තියෙනව.
✍️ ගොඩනැගිල්ලක සැලැස්‌ම අනුමත කරගැනීම සඳහා නගර සභාවට හෝ සභාවට භාරදිය යුතු ලිපි ලේඛන:
▪️ගොඩනැගිලි අයදුම් පත( පොත) අදාළ මුදල් ගෙවා පළාත් පාලන කාර්යාලයෙන් ලබා ගත යුතුයි. ඉල්ලුම්පත් ගාස්තු වෙනස් වෙනව ඔවුන්ගේ රෙගුලාසි අනුව.
▪️අයදුම්පත විධිමත් පරිදි සම්පූර්ණ කොට පහත ලේඛන සමග ඉදිරිපත් කළ යුතුය.
▪️පිටපත් 04කින් යුතු සැලසුම- නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව හා අදාල පරිමාණයන්ගෙන් යුක්තව සකස්කර තිබිය යුතුයි.
▪️ඉදිරිපත්කරන සැලසුම ඉදිරි පෙනුම,පැති පෙනුම, හරස්කඩ, ක්ෂේත්ර සැලසුම, සංවර්ධනයේ මාතෘකාව, අත්තිවාරම් හරස්කඩ ඇතුලත්ව තිබිය යුතුයි.
▪️සුදුසුකම් ලත් පුද්ගලයා විසින් සහතික කොට අත්සන් කළ යුතුය.(සැලසුම ඇන්ද ගෘහ නිර්මාණ ශිල්පියා අත්සන් කර seal කර තිබිය යුතුයි. වර්ග අඩි 3000 ඉක්මවන විට වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් ගොඩනැගිලි ඉල්ලුම්පත හා සැලසුම්පත අනුමත කර තිබිය යුතුය.අන්ධ බිත්තියක් (Blind wall)ඇති අවස්ථාවක ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගත යුතුයි.)
▪️ජල සම්පාදන/ජලාපවාහන/විදුලි බල/ප්‍රවේශ මාර්ග/වැසිකිළි පහසුකම් ආදිය සැපයෙන ආකාරය තහවුරු කරන ලියවිලිත් ඕනෙ.
▪️මීට අමතරව වාණිජ හා කර්මාන්ත වෙනුවෙන් සැලසුම අනුමැතියක් ඉල්ලන විටකදි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය,කර්මාන්ත භාවිතය සඳහා නම් මූලික සැලසුම් නිරාකරණ අයදුම්පතක් (පී.සී) ඉදිරිපත් කල යුතුය.
▪️නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත භාරදෙන විට සැලසුමේ වර්ග අඩි ගාණට අනුව පරික්‌ෂණ ගාස්‌තුක් ගෙවිය යුතුය.(ඒ කියන්නේ මාමට/අයියට වියදම් වුනු ගාණම ඔයාට යන්නේ නෑ)
▪️අයිතිය පැවරුනු ඔප්පුවේ සත්ය පිටපත් 02 ක්
▪️ඉඩමේ අනුමත කල මිනින්දෝරු සැලැස්‌ම පිටපත් 03 ක් (අදාල බිම් කොටස නගර සභාව මගින් යෝජිත සංවර්ධනය සඳහා අනුමත කර තිබිය යුතු අතරම බලයලත් මිනින්දෝරුවකු විසින් පිළියෙල කළ අනුමත මානක සැලැස්‌මක් විය යුතුයි)
▪️වරිපනම් ලදුපත පිටපත
(අයදුම්කරු නමින් වරිපනම් ගෙවු ඒවා.අයදුම්කරු නමින් නොමැති ලදුපත් භාර නොගැනේ. එවන් අවස්‌ථාවල අයදුම්කරු නමින් වරිපනම් ලේඛනයේ නම් සංශෝධනය කර ගැනීමට කටයුතු යුතුයි)
මේ ලියවිලි සමග අයදුම් පත භාර දී සති තුනක පමණ කාලයකින් අර කලින් කිව්ව කමිටුවේ තාක්ෂණික නිලධාරීන් ඉඩම පරීක්ෂා කරන්න එනව.ප්ලෑන අදාල රෙගුලාසි සීමාව තුල ඉදිකීරීමට හැකි පරිදි ඇද ඇත්දැයි පරික්ෂා කරනව. පසුව ගැටලුවක් නැතිනම් සභාපතිතුමා විසින් සැලසුම් අනුමත කරාවි.
සැලසුම අනුමත කල නොහැකි නම් වෙනස් විය යුතු කොටස් හා හේතු දක්වමින් ඔබව දැනුවත් කරනව. අනුමත කිරීමට පෙර ඉදිකිරීම් වැඩ අරඹා ඇති අවස්ථාවක කොතෙක් වැඩ අවසන්ද යන්න ගැනත් සලකා ඉවත් කළ යුත් කොටස් ඔබට පෙන්වනවා.
සංවර්ධන බලපත ලබා දෙන්නේ ඉල්ලුම්කරු මගින් කමිටුවේ සියලු නිර්දේශ ඉටු කළ බවට කමිටුව සෑහිමට පත් වුනොත් පමණයි.
ගොඩනැගිලි සැලසුම අනුමත කිරීම සඳහා ගතවන කාලය මාසයක් වගේ.
සැලසුමක් අනුමත කළායින් පසු අවුරුද්දක් ඇතුලත ඉදිකිරීම් වැඩ අවසන් කල යුතු බවට සටහනක් යොදනව. ඉතින් වසරක් තුල නොකළහොත් තවත් ඉදිරි වර්ෂයක් සඳහා එම කාලය දීර්ඝ කරගත යුතුයි.
ගොඩනැගිල්ල සාදා අවසන් වු පසුව අනුකූලතා සහතිකය ලබා ගත යුතුයි. ඒක ලබා දෙන්නෙ අනුමත ප්ලෑන වෙනස් නොකර නිවස කොන්දේසි ඉටුකරමින් සාදා ඇත්තම්. ගෙයක් විකිණිමට අදහස් කළ දවසක තමයි ඔය ලියවිල්ලෙ වටිනාකම දැනෙන්නෙ.
ඔන්න ඔය විදිහට තමයි සැලැස්මක් අනුමත කර ගන්නෙ.ලේසි නැහැ. හැබැයි හරි විදිහට සැලසුමක් ඇද ගත්ත නම් ගැටලුවක් නැහැ.
පළාත් පාලන ආයතන වල නිලධාරියෙකුගෙන් ඔයාලගේ සැලසුම අනුමත කිරීමට අවශ්‍ය විස්තර දැන ගැනීමට අමතක කරන්න එපා. මොකද එක එක පළාත් පාලන ආයතන මුදල් සම්බන්ධයෙන් පනවා ගෙන ඇති රෙගුලාසි වෙනස් නිසා.
- උපුටා ගැනීමකි -