23/01/2026
මීට වසර කිහිපයකට කලින් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු මගේ මිත්රයෙකුට ඔහුගේ රැකියාව අහිමි වුණා. ඒ වෙනකොට විවාහ වෙලා අවුරුද්දක විතර පොඩි දරුවෙකුත් හිටපු ඔහුට, රැකියාව අහිමි වීම මූල්‍යමය වශයෙන් දැඩි බලපෑමක් ඇති කරයි කියන එක අපි හැමෝටම තේරුම් ගිය කාරණාවක්.
ඒ බව දැනගත්ත ගමන් මම ඔහුට කතා කරලා කිව්වේ “Bro, financially support එකක් ඕනේ නම් ඕනම වෙලාවක කතා කරන්න” කියලා. හැබැයි මට කිසිම දවසක එහෙම අවශ්‍යතාවයකට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ නැහැ.
ඒ වගේම රැකියාව අහිමිවුණු ගමන් හුඟදෙනෙක් කරනවා වගේ කලබල වෙලා, අඩු පඩියකට ලැබෙන ඕනෑම රැකියාවක් තෝරා ගන්නවා වගේ දෙයක් ඔහු කළේත් නැහැ. ඔහු ටික කාලයක් ගෙදරට වෙලා සෑහෙන්න රැකියා ප්‍රමාණයකට apply කළා. මාස පහකට විතර පස්සේ කරපු රැකියාවටත් වඩා හොඳ රැකියාවක් පටන්ගත්තා. ඒ වගේම මේ මාස පහ ඇතුළේ ඔහු නිකන්ම ගෙදරට වෙලා හිටියේත් නැහැ. Online bookstore එකකුත් සුළු පරිමාණයෙන් පටන්ගත්තා. ඊට ටික කාලයකට පස්සේ ඔහු තමන්ගේ රැකියාවෙනුත් අයින් වෙලා පූර්ණකාලීන ව්‍යවසායකයෙක් බවට පත්වුණා.
ගිය අවුරුද්දේ මුල ඔහු එක්ක නිදහසේ කෝපි කෝප්පයක් බොන ගමන් මම අහපු දෙයක් තමයි Job එක නැතිවෙලා පල්ලෙහාටම වැටිලා ඉන්න වෙලාවක කොහොමද මෙහෙම game එකක් ගැහුවේ කියන එක. ඔහු එතකොට මට කිව්වේ “මම අවුරුද්දකට හරියන්න Emergency Fund එකක් හදලා තිබුණේ. ඒක තිබුණ නිසා තමයි ගෙදර වියදම් balance කරගෙන මේ දේවල් කරගත්තේ” කියන එක.
ඉතින් ඊට පස්සේ තමයි මමත් Emergency Fund එකක් ගැන ටිකක් බරපතල විදියට හිතන්න පටන්ගත්තේ. ඊළඟ මාසේ ඉදන්ම Emergency Fund එකක් හදන්න වැඩ පටන්ගත්තේ. දැන් මම ඔබත් එක්ක මේ බෙදාගන්න හදන්නේ Emergency Fund එකක් හදාගත්ත අපේ journey එක ගැන.
Emergency fund එකක් හදනකොට එහි පළවැනි පියවර තමයි ඔබේ financial baseline එක තීරණය කිරීම.
Financial baseline එක කියන්නේ, ඔබට මාසයක් ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය. මේ සඳහා ඔබට දරන්න වෙන වියදම් කොටස් 3කට බෙදා වෙන් කරගන්න පුළුවන්.
Category 01 - නිවාස කුලී, ණය වාරික ගෙවීම, ක්‍රෙඩිට් කාඩ්පත් බිල් සහ අනෙකුත් ණය ගෙවීම්
Category 02 - ඔබට ජීවත්වීමට අවශ්‍ය ආහාර, අනෙකුත් භාණ්ඩ සහ බෙහෙත් ඇතුළු වෙනත් මූලික අවශ්‍යතා සඳහා දරන වියදම්
Category 03 - විදුලි, ජල, දුරකතන හා අන්තර්ජාල ආදී බිල් ගෙවීම සඳහා දරන වියදම්
මේ අංශ තුන යටතේ මාසයක් ජීවත්වීමට ඔබට කොපමණ මුදලක් අවශ්‍යද කියලා තක්සේරු කරලා බලන්න. අපි ගිය සතියේ කතා කරපු විදියට මාස කිහිපයක් ඔබේ වියදම් සම්පූර්ණයෙන්ම track කළොත් ඔබට පුළුවන් ඔබේ Financial Baseline එක පහසුවෙන්ම හඳුනාගන්න.
හිතන්න, ඔබේ Financial Baseline එක රුපියල් 75,000ක් කියලා. ඔබ අවම වශයෙන් ඒ වගේ හය ගුණයක emergency fund එකක් (රු.450,000) නිර්මාණය කරගත යුතුයි. ඔබේ emergency fund එකේ ප්‍රමාණය සාමාන්‍යයෙන් පහත ආකාරයට තීරණය කරන්න පුළුවන්.
- රැකියාවක නියුතු අය : Financial Baseline * මාස 6
- ස්වයං රැකියා/Freelance කරන අය : Financial Baseline * මාස 9
- ව්‍යාපාරවල නියුතු අය : Financial Baseline * මාස 12
ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇති අවදානම මත emergency fund එකේ ප්‍රමාණය තීරණය වෙනවා. ඒ කියන්නේ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඇති අවදානම වැඩි නම් ඔබ නිර්මාණය කර ගත යුතු Emergency Fund එකේ ප්‍රමාණයත් වැඩියි.
දැන් ඔබ ඔබේ Emergency Fund එකේ ප්‍රමාණය තීරණය කරලා ඉවරයි. ඊළඟට ඔබ කළ යුත්තේ හැම මාසයකම එම ප්‍රමාණය සම්පූර්ණ වන පරිදි මුදල් එකතු කිරීම. මම පෞද්ගලිකව කරන්නේ Debit Card එකක් නැති ගිණුමකට හැම මාසයකම මගේ ප්‍රධාන ගිණුමෙන් මුදල් මාරු කිරීම.
Emergency fund එකට අවශ්‍ය මුදල් සම්පූර්ණ වුණු පසු ඔබට පුළුවන් අවශ්‍ය වෙලාවට නැවත ලබාගත හැකි පරිදි fixed deposit එකක මේ මුදල් තැන්පත් කිරීමට. හැබැයි මේ මුදල් කිසිම විටක අවදානම වැඩි ආයෝජන මාර්ගවල ආයෝජනය කරන්න යන්න එපා. Emergency Fund එකේ ප්‍රධානතම අරමුණ යම් අවදානම් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමයි. ඒ නිසා එය ඉතා සුරක්ෂිත ලෙස සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබෙන පරිදි තබා ගැනීම වැදගත්.
ඉස්සර Emergency Fund ගැන කිසිම දැනුමක් නැති අපේ අම්මත්, තාත්තා මාසිකව වියදමට ලබාදෙන මුදලෙන් යම්කිසි මුදලක්, කොහොමහරි අල්මාරියේ ලාච්චුවේ පොතක් අස්සේ දාලා වෙනම තියාගත්තා. මොනයම් හරි වෙලාවක අපිට හදිසි වියදමක් දරන්න වෙන මොහොතක අපිට පිහිට වුණේ අර පොත අස්සේ ඉතිරි කරගෙන හිටපු මුදල් ප්‍රමාණය.
ඉතින් කාන්තාවක් විදියට ඔබට Emergency Fund එකක් නිර්මාණය කරගැනීමේදී සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කරන්න පුළුවන්. දැනට ඔබ සතුව Emergency Fund එකක් නැතිනම් මේ ලිපිය කියවලා ඉවරවෙලා ඒ වෙනුවෙන් වැඩ පටන්ගන්න.
එහෙමනම් ඔබට ජයග්‍රාහී සතියක්.
මම,
මධුර අමරසිංහ
([email protected])
*උපුටා ගැනීම "ධරණි" පුවත්පතෙනි.