14/08/2026
රුපියල් බිලියන 5 ක කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අත්පත් කර ගැනීමත් සමඟ JXG නැවතත් සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙයි.
ජනශක්ති PLC (JXG) සමාගම, Continental Insurance Lanka Ltd. (CILL) හි තනි කොටස් හිමියා වන Melstacorp PLC (MELS) සමාගම සමඟ CILL හි 100% ක කොටස් හිමිකාරිත්වය මිලදී ගැනීම සඳහා කොටස් මිලදී ගැනීමේ ගිවිසුමකට (SPA) එළඹි බව ඊයේ ප්‍රකාශ කළේය. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) අනුමැතියට යටත්ව සිදු කෙරේ.
මෙම ගනුදෙනුව යටතේ ජනශක්ති සමාගම (JXG) ප්‍රථමයෙන් 81% ක පාලන කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගන්නා අතර, ඉතිරි කොටස් අදියර වශයෙන් අත්පත් කර ගැනීමට නියමිතය. ඒ අනුව පළමු වසරේදී 9% ක් සහ ඊළඟ වසරේදී 10% ක් වශයෙන් රුපියල් බිලියන 5.14 කට අධික මුළු පිරිවැයක් යටතේ මෙම මිලදී ගැනීම සිදු කෙරේ.
සිය මූලික මහජන කොටස් නිකුතුවේදී (IPO) ලබා දුන් උපායමාර්ගික පොරොන්දු ඉටු කරමින්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම පුළුල් කිරීම සඳහා තැබූ සැලකිය යුතු පියවරක් ලෙස මෙම ගනුදෙනුව හඳුන්වා දිය හැකි බව JXG සමාගම පවසයි.
මෙම අත්පත් කර ගැනීම මගින් JXG සමාගමට තමන්ට ශක්තිමත් උරුමයක් ඇති වෙළඳපොළට නැවත ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගම් සමූහයක් ලෙස සිය තත්ත්වය තවදුරටත් තහවුරු කර ගැනීමටත්, පූර්ණ ඒකාබද්ධ මූල්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ දැක්ම ඉදිරියට ගෙන යාමටත් මග පාදයි.
JXG හි ඔප්පු කරන ලද ප්‍රවීණතාවය, ශක්තිමත් පාලනය සහ විනයගරුක ක්‍රියාකාරීත්වය, CILL හි ස්ථාපිත වෙළඳපොළ පැවැත්ම සමඟ ඒකාබද්ධ කිරීමෙන් JXG හි මූල්‍ය සේවා වේදිකාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි නැපේක්ෂා කෙරේ. තාක්ෂණය ප්‍රධාන වෙනස්කම් කිරීමේ සාධකය ලෙස භාවිත කරමින්, නවෝත්පාදනයන් වේගවත් කිරීම, පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම සහ සිය වර්ධනය වන ව්‍යාපාරික ක්ෂේත්‍රයන් ඔස්සේ වඩාත් පුළුල් හා ඒකාබද්ධ මූල්‍ය විසඳුම් ලබා දීම JXG හි අරමුණයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රේණිගත කර ඇති CILL, JXG සමාගමේ අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සපයයි.
2025 දෙසැම්බර් 31 න් අවසන් වූ මුල්‍ය වර්ෂය වන විට, CILL සමාගම රුපියල් බිලියන 10.73 ක දළ ලියාපදිංචි රක්ෂණ වාරික (GWP) කළඹක්, රුපියල් බිලියන 6.64 ක ආයෝජන කළඹක් සහ රුපියල් බිලියන 14.2 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා කර ඇත. විවිධාංගීකරණය වූ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක්, දිවයින පුරා පිහිටි ව්‍යාපාරික ස්ථාන 61 කින් සමන්විත පුළුල් බෙදාහැරීමේ ජාලයක් සහ 700 කට වැඩි සේවකයින් පිරිසක් මෙම සමාගම සතුවේ.
මෙම අත්පත් කර ගැනීම මගින් JXG සමාගමට සිය රක්ෂණ ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කිරීමට ශක්තිමත් පදනමක් ලැබෙන අතරම, පාරිභෝගිකයින්, සේවකයින් සහ කොටස් හිමියන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමටද අවස්ථාව හිමිවේ.
2018 වසරේදී ජනශක්ති සමාගම සිය සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය රුපියල් බිලියන 16.5 ක දැවැන්ත ගනුදෙනුවකින් ගෝලීය දැවැන්තයෙකු වන Allianz සමාගම වෙත විකුණන ලදී. ඒ වන විට එය රක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවූ විශාලතම විකිණීම සහ විශාලතම ආයතනික ගනුදෙනුවලින් එකක් විය.
මෙම මිලදී ගැනීමේ පාර්ශ්වයේ උපදේශක ලෙස KPMG සමාගමද, විකිණීමේ පාර්ශ්වයේ උපදේශක ලෙස CT Smith Capital සමාගමද කටයුතු කළේය.