16/06/2024
දාඩිය දාන කාබියුරේටර් 💦
-----------------------------------------
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වල කාබියුරේටර් එකේ උඩ කොටසේ , සහ ඉන්ටේක් මැනිෆෝල්ඩ් මත, දාඩිය දැම්මා වගේ වතුර බිංදු හැදිල තියන අවස්ථා දැකල ඇති කියල හිතනවා.
බොහෝ දෙනා අතර තියන අදහස තමා, ඒ විදියට එකේ වතුර බින්දු තැන්පත් වෙන්නේ ඉතා හොඳ ඉන්දන කාර්යක්ෂමතාවක් තියෙද්දි කියල , තේරෙන භාශාවෙන් කිව්වොත් හොඳට පෙට්‍රල් වැඩ කරද්දි නැත්තන් සුපිරියට ටියුන් උනාම.
🤔ඒත් ඇත්තටම ඒක එහෙමද, වතුර බින්දු හැදෙන එකෙයි , පෙට්‍රල් වැඩ කරන එකයි අතර තියන සම්බන්ධය මොකක්ද?
👉අපි මුලින්ම බලමුකො කොහොමද කාබියුරේටර් එක උඩ වතුර හැදෙන්නෙ කියල.
කාබියුරේටර් එකෙන් කරන්නෙ ද්‍රව විදියට තියන පෙට්‍රල් , air filter එක හරහා ඇදල ගන්න වාතය සමග මිශ්‍ර කරල පෙට්‍රල් වාශ්ප හදල එන්ජින් එකට ලබා දෙන එක.
මේකෙදි ද්‍රව තත්වයේ තියන පෙට්‍රල්, පෙට්‍රල් වාශ්ප දක්වා වෙනස් වෙනවා.
ඒ කියන පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් සිද්ද වෙනවා
(ද්‍රව > වායු)
මේ අවස්ථා විපර්යාසය සදහා ශක්තිය අවශ්‍ය වෙනවා.
උදාහරනයක් විදියට , පෙට්‍රල්/තිනර්/ ඕඩිකොලොන් වගේ වාශ්ප ශීලී දෙයක් අපේ අතට හලා ගත්තම අපේ අතට දැනෙන සීතල මතක් කරගන්නකෝ.
මතක නැත්තන් දැම්ම හලාගන්න🤣
පෙට්‍රල් හෝ අපි අතට දාගත්ත වාශ්පශීලී ද්‍රවය , වාශ්ප වෙද්දි සිද්ද වෙන මේ අවස්ථා විපර්යාසට අවශ්‍ය තාපය , අපේ අතෙන් උරාගෙන අපේ අතෙන් එ තාපය අඩු උන නිසා තමා අත සීතල වෙන්නෙ.
කාබියුරේටර් එක ඇතුලෙ,පෙට්‍රල් වාශ්ප වීමේදිත් වෙන්නෙ ඒ වැඩේම තමා
හැබැයි ඒකෙදි පෙට්‍රල් වාශ්ප වෙන්න අවශ්‍ය තාප ශක්තිය ලබාගන්නෙ අතෙන් නෙවෙයි. කාබියුරේටර් එකේ හවුසින් එකෙන් සහ කාබියුරේටර් එක හරහා එන්ජින් එකට ඇදල ගන්න හුලං පාරෙන්.
ලෝහයකින් තාපය ඉවත්වීමේ වේගය වැඩි නිසා, පෙට්‍රල් වාශ්ප වීමට අවශ්‍ය තාපය වැඩි පුරම ලබාගන්නෙ හුලං පාරට වඩා කාබියුරේටර් හවුසින් එකෙන්.
පෙට්‍රල් වාශ්ප වීමට, කාබියුරේටර් හවුසින් එකෙන් තාපය උරා ගැනීමේදී , අපේ අත සීතල උනා වගේම කාබියුරේටර් එකේ උශ්නත්වයත් පහල ගිහින් සීතල වෙනවා.
මේ විදියට උශ්නත්වය අඩු වෙලද් කාබ් හවුසින් එකේ උශ්නත්වය , ඒ අවස්ථාවේ පරිසරයේ තුශාර අංකයටත් වඩා අඩු උනොත් පරිසරයේ තියන ජලවාෂ්ප , කාබ් එක වටේ සහ මැනිෆෝල්ඩ් එකේ මේ විදියට ගනීබවනය වෙනවා.
එතකොට තමා දාඩිය දැම්ම වගේ වතුර බැදෙන්නේ.
🎯(තුශාර අංකය කියන්නෙ සාපේක්ෂ ආර්ද්‍රතාව 100% ක් වෙලා, වායුගෝලයේ තියන ජල වාශ්ප ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය උශ්නත්වයයි)
කාබියුරේටර් එකේදී පෙට්‍රල් උපරිම වශයෙන් වාශ්ප වෙන විදියට ටියුන් කරල තිබුනොත් තමා ගොඩක් වෙලාවට ඔය විදියට ජලවාෂ්ප බැදෙන්නෙ.
පෙට්‍රල් ගොඩක් අඩුවෙන් නම් වාශ්පශ වෙන්නෙ, අවශෝෂණය කරන තාප ප්‍රමානයත් අඩුයි.
ඒ නිසා කාබ් එක තුශාර අංකයට වඩා සීතල වෙන්නෙ නෑ.
එතකොට කාබියුරේටර් එක වටේට වතුර තැන්පත් වෙන්නෙ නෑ.
ඒ වගේම පෙට්‍රල් ගොඩක් වැඩි කරලනම් තියෙන්නෙ , ඒ වෙලාවෙ තියන පරිසර උශ්නත්වය අනුව air cleaner එකෙන් ඇදල ගන්න හුලං වලට බැරුව යනව , කාබ් එකෙන් ඇදල ගන්න ද්‍රව පෙට්‍රල් අංශු සියල්ල පෙට්‍රල් වාශ්ප බවට පත් කරන්න.
ඒ වෙලාවට එන්ජින් එකට පෙට්‍රල් වාශ්ප වලට අමතරව , ද්‍රව පෙට්‍රල් (පෙට්‍රල් බිදිති) ඇතුල් වෙනවා.
ඒ අවස්ථාවේදී, පෙට්‍රල් වාශ්ප වීමට අවශ්‍ය තාප ශක්තිය , කාබ් හවුසින් එකෙන් ලබාගන්නවාට වඩා පහසුවෙන් , පෙට්‍රල් + වාත මිශ්‍රණයේ තියන ද්‍රව පෙට්‍රල් වලින්ම උරා ගන්නවා.
එතකොට , කාබියුරේටර් හවුසින් එකෙන් උරාගන්න තාප ප්‍රමානය අඩු වෙනවා.
ඒ නිසා පෙට්‍රල් වැඩිකරත් කාබ් එකේ ජල්වාශ්ප බැදෙන තරමට සිසිල් වෙන්නෙ නැතුව යනවා.
💥දැන් බලමු එන්ජින් එකේ ඉන්දන කාර්යක්ෂමතාවයයි , මේ වතුර හැදෙන එකයි අතර තියෙන්නෙ මොනවගේ සම්බන්දයක්ද කියල .
ජල බින්දු තැන්පත් වෙන තරමට කාබියුරේටර් එක කූල් වෙන්න, පෙට්‍රල් වාශ්ප වෙන අවස්ථාවේදී තියන වායු : ඉන්දන අනුපාතය, එන්ජින් එක වැඩ කරන්න අවශ්‍ය 14.5 : 1 කියන ප්‍රශස්ත අනුපාතය නොවෙන්න පුළුවන් .
මොකද, කාබියුරේටරේ වතුර බින්දු බැදෙන ගානට කූල් වෙන්න කොච්චර පෙට්‍රල් ප්‍රමානයක් වාශ්ප වෙන්න ඕනද කියන එක තීරණය වෙන්නෙ වායුගෝලයේ ඒ මොහොතේ පවතින තුශාර අංකය (Dew point) මතනේ.
ඒ නිසා කාබ් එකේ වතුර බැදුනට, එන්ජින් එකට ඕන පෙට්‍රල් ප්‍රමානය ලැබෙන විදියට ටියුන් වෙලා නැති නිසා ඔය විදියට වතුර බැදෙන කාබ් එකක් තියන වාහනේක පෙට්‍රල් පිච්චෙනවා වැඩි වෙන්නත් පුළුවන්.
✅අපිට හොඳ ඉන්දන කාර්යක්ෂමතාවක් ලබාගන්න පුළුවන් වෙන්නෙ, තුශාර අංකයට වඩා කාබියුරේටර් එක සීතල කරල වතුර බැදෙන්න අවශ්‍ය විදියට ඉන්දන වාත මිශ්‍රණයක් ලබාදීමෙන් නෙවෙයි , එන්ජින් එක නිවැරදිව වැඩ කරන්න අවශ්‍ය ඉන්දන වාත මිශ්‍රනයක් ලබාදීමෙනුයි.
⭕(එන්ජින් එකට අවශ්‍ය නිවැරැදි ඉන්දන වායු මිශනය ලබා දී, හරියට ටියුන් කරන විදිය ,මීට පෙර ලිපියක සදහන් කරල තියෙනවා.
https://www.facebook.com/groups/Carindustrial/permalink/1867944450034090/?app=fbl
ඒ විදියට කාබියුරේටරයෙන් ලබාදෙන, එන්ජිමට ගැලපෙන නිවැරදි ඉන්දන වාත මිශ්‍රනය මගින් කාබියුරේටරයේ ඇති කරන සිසිලස , ජල බින්දු තැන්පත් වීමට ප්‍රමනාවත් උනොත්, නිවැරදිව ටියුන් කල කාබියුරේටර් එකකත් මේ විදියට ජලවාෂ්ප ඝනීභවනය වී ජල බින්දු හැදෙන්න පුළුවන්.
ඒ වගේම මෙය පරිසර තත්ව මත සිදුවන ක්‍රියාවලියක් නිසා නිවැරැදිව ටියුන් කිරීමෙන් පසු කාබියුරේටර් එක මත වතුර බින්දු හැදුනත් නැතත් ඒ පිලිදව සිතීමට වත් අවශ්‍ය වන්නේ නැත.
කෙටියෙන්ම කියනවනම් , කාබ් එකෙ වතුර බැදෙන එක සහ වාහනේ පෙට්‍රල් හොඳට වැඩ කරන එක අතර කිසිම සම්බන්දයක් නෑ.
ඒක ඕනම තත්වයක තිබෙන කාබියුරේටර් එකක සිදුවෙන්න පුළුවන් , පාරිසරික තත්ව මත සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණයි.
කතෘ අයිතිය සුරකින්න
ස්තූතියි.
තවත් ලිපියකින් හමුවෙමු.
🖋.....Gayantha Bhanuka
Bandara Aththanayake