29/08/2021
මොනවද මේ එන්ක්‍රිප්ෂන් කියන්නෙ, කොහොමද මේ හරහා දත්ත ආරක්ෂා කරන්නෙ?
එන්ක්‍රිප්ෂන් කියන්නෙ දත්තයක පවත්නා ස්වරූපය වෙනස් කරමින් ඒක එක එල්ලේ කියවන්නට නොහැකිවන ලෙස සකස් කරන ක්‍රමවේදයක්. මේ හරහා පණිවුඩය යවන්නාත් ලබන්නාත් දන්නා රහස්‍ය කරුණක් එකතුකිරීම හෝ අඩු කිරීම සිදුකිරීමෙන් හැර වෙනත් අයෙකුට පණිවුඩය වටහාගැනීම අසීරු කරනවා.
තව සරළ කරන්නම්. ඔයා ලඟත් මම ලඟත් එක පෙට්ටියක යතුරක කොපි දෙකක් තියනවා. මේ පෙට්ටියට මම යම් පණිවුඩයක් ලියලා අගුලු දාලා ඔබට එවනවා. එතකොට ඒ පණිවුඩය තියන පෙට්ටිය ගේන කෙනාට මේ පණිවුඩය කියවන්න බෑ, එයාට අගුල අරින්න බෑ. නමුත් ඔබට ඒක් කියවන්න පුළුවන්, ඔබේ යතුරෙන් ඔබට පෙට්ටිය අරින්න පුළුවන්.
තේරුණා නේද?
මේක පරිඝණක ආශ්‍රිතව සිද්ධ වෙන්නෙ ගණිතමය ක්‍රම ඇසුරෙන්. ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට ඒක හරි සරළ ක්‍රම එක්ක කෙරෙන වැඩක්. ඒ ගැන කතා කරන්න කලින් අපි මේකෙ විකාශණය බලමු. ඒ හරහා ඔබට ගොඩක් දේ තේරුම් ගන්නට පුළුවන්.
මුලින්ම එන්ක්‍රිප්ෂන් එක භාවිතා වෙලා තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව 1900දී. ඒ එකල ඊජිප්තුවේ සිටි ලේකම්වරු (ලියන්නන්) හයිරොග්ලිෆික්ස් පුවරු මත සාමාන්‍ය අක්ෂර වලින් පරිබාහිරා අක්ෂර (රූප) යොදාගෙන සිදුකල පණිවුඩ විකේතනය මේ ක්‍රියාවලියේ මූලිකම සාක්ෂිය ලෙස හමුවෙනවා. මේක ක්‍රමිකව විකාශණය වෙනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 1500 දී මෙසපොතේමියානුවන්, ක්‍රිස්තුපූර්ව 500දී හීබෲ ග්‍රන්ථයක භාවිතා වූ අබ්ටාෂ් නම් අක්ෂර වෙනස් කල ක්‍රමය මෙහි මූලික විකාශනයේ කොටස්.
ක්‍රිස්තු පූර්ව 50 දී ජූලියස් නම් සීසර් (ඔව්, ඒ සීසර් තමා) සිය රාජ්‍ය පාලන අණ සහ හමුදා අණ ලබාදීමට මේ අද අප භාවිතා කරන ක්‍රමයේ මූලික පියවර තැබුවා. ඒ හෝඩියේ ඕනෑම ස්ථානයක අකුරු 3ක් විතැන් කරමින්. මේකට උදාහරණයක් සටහන් කලොත් ඔබට මේක තේරුම් ගන්න පහසු වේවි.
භාවිත කරන හෝඩිය = ඉංග්‍රීසි
Cesar Cipher = Fhvdu Flskhu
මේක හොඳින් බැලුවොත් ඔබට පෙනේවි C අකුර වෙනුවට F අකුර ආදේශ කර ඇති බව. C_DE_F ඒ අකුරු 3ක ගැප් එකක් නේද? එතකොට අවසාන අක්ෂර? XYZ අකුරු ආදේශණයේ දී මේ ක්‍රියාවලිය අනුව ABC අකුරු පිළිවලින් ආදේශ වෙනවා.
මෙ ක්‍රමයේ දී සෑම විටකම අකුරු 26ක් සමඟ අප ගණුදෙණු කරන අතර ගණිතමය වශයෙන් ඉහත සම්බන්ධය පහත පරිදි විස්තර කරන්න පුළුවන්.
A සිට Z දක්වා පිළිවලින් 0-25 දක්වා ඉලක්කම් යොදනු ලැබූ විටක එහි අක්ෂර වෙනස් කරන සෑම විටකම අක්ෂරයේ වටිනාකමට 3ක් එකතු කල යුතු ය. එසේම අක්ෂර එකතුවේ වටිනාකම 26 හෝ ඊට වැඩි වන විට ඒ එකතුවෙන් 26ක් අඩුකර වටිනාකම යෙදිය යුතු ය.
පැහැදිළියි ද?
ඔය තමයි සීසර් සයිෆර් එකේ සරළ සිංහල පැහැදිළි කිරීම.
ඉතින් ඒ වගේ ක්‍රම එක්ක දියුණුවෙමින් පැමිණි ක්‍රිප්ටොග්‍රැපි තාක්ෂණය ක්‍රිස්තු වර්ෂ 2000 දී රයින්ඩාල් ක්‍රමය සමගින් අද භාවිතා කරන AES ක්‍රමයට ද ඉන්පසු වර්ෂ 2005 දී ECC ක්‍රමය කරා ද විකාශණය වුණා.
එහෙමනම් ඊලඟ කොටසින් අපි බලමු මේ ක්‍රිප්ටොග්‍රැපි තාක්ෂණය වත්මනේ යොදාගන්නා ආකාරය ගැන.