23/12/2025
මෑතදී අප රටට මුහුණ දෙන්න සිදුවුනු ආපදා තත්වය හමුවේ මේ දැනුවත්කිරීම් ඉතා වටිනා බැවු තවදුරටත් අපි පිලිගමු...මේ වුර්තීමය වගකීම එසේමෙසේ එකක් නොවන අතර රටක් ජාතියක් සහ ලෝකයක් ලෙස ස්වභාවධර්මයට අනුගත වූ සංවර්ධනයක අවශයතාවය නැවත නැවතත් අපට සිහිගන්වන අවස්ථාවක් ලෙස මෑතකදී මුහුනදුන් තත්වය හමුවේ හෝ අවබෝධයට ගැනීම අප සැමගේ වගකීම වන්නේය... ස්වභාවය දන්නා කෙනෙක්, ( නිසි වුර්තීමය පිලිගැනීම ඇති ) ගොඩනැගීම් කාර්‍යන්හීදී සහභාගි කරවාගැනීම ඉතාම වැදගත්. කණගාටුවට කරුන ඒ බව සේවාදායකයා නොදන්නා කමයි... මේ වෑයම වෙනුවෙන් ඔහුට අපගේ ස්තූතිය.
Archtect Sumudu Athukorala ගේ බිත්තියෙනි,
Archi චැට් 29
"ආකිටෙක්චර් ඉගෙනගැනීම සහ ගිනිගැනීම"
ආකිටෙක්චර් විෂයක් විදිහට ඉගෙනගැනීම ගැන එයින් බාහිර ගොඩ දෙනෙක්ට ලොකු අදහසක් ඇති කියලා හිතන්න බැහැ. ආකිටෙක්චර් කියන්නේ වෙන විෂයක්, වෘත්තියක් වගේ ඉගෙන ගන්න පුලුවන් කෙහෙල්මලක් නෙමෙයි. දීර්ඝ කාලීන දුෂ්කරක්‍රියාවක් කරලා මිසක් කෙනෙකුට ආකිටෙක්ට් කෙනෙක් වෙන්න අමාරුයි. ඒ වගේම ආකිටෙක්චර් කියන විෂය එහෙම ලේසියෙන් උගන්වන්නත් බෑ. ඒ කොහොම වෙතත් ආකිටෙක්ට් කෙනෙක් වෙන්න නම් කෙනෙක් අවුරුදු හතක විතර ඒ මත්තෙම නහින්න ඕනේ. ඒ ගමන ශාරීරිකව වගේම මානසිකවත් ලොකු පීඩනයක් දරාගෙන ඉන්න ඕනේ එකක්.
කප්පරක් කොළ රෝල් ඔතාගෙන, පොඩි පොඩි කාඩ් බෝඩ් වලින් හදපු බිල්ඩින් කෑලි උස්සගෙන කොන්ඩේ අවුල්කරගෙන, අත්වල වේලිච්ච කෙමිෆික්ස් හෝ පාට තවරාගෙන, මැදපු නැති ඇඳුම් ඇඳගෙන, කිසිම හිනාවක් නැතුව, නිදිමතේ වැනි වැනි යන ළමයි දැකලා තියෙනවද? අන්න ඒ අය තමයි ආකිටෙක්චර් ඉගෙන ගන්න ළමයි. එහෙම නැතුව ආකිට්ක්චර් ඉගෙනගන්නත් බෑ. නිදි මැරීම සහ ආකිටෙක්චර් අධ්‍යාපනය කියන්නේ ගොනු ගෙල බැඳි නගුල වගේ. එකක් නැතුව අනික පිහිටන්නේ නෑ.
ආකිටෙක්චර් විෂය එක විෂයක් වෙන්නේ විවිධ විෂයන් ගොඩක් එකතු වීමෙන් පසුවයි. පාරිසරක විද්‍යාව, ගණිතය, සමාජ විද්‍යාව, අමුද්‍රව්‍ය, දර්ශනය, කලාව, මූල්‍යකරණය, භූගෝලය, දේශගුණික විද්‍යාව, මානව අධ්‍යයනය, ඉතිහාසය වගේ මෙකී නොකී විෂයන් සමූහයක් එකිනෙක ගැටගැසී හැදුනු නූල් බෝලයක් තමයි ආකිටෙක්චර් කියන්නේ. මේ සෑම විෂයක්ම ඉගෙන ගන්න අතරේ ඩිසයින් අභ්‍යාස තමයි ඒ විෂය පථයේ මූලිකම අංගය වෙන්නේ. ඒ කියන්නේ ආකිටෙක්චර් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ දීර්ඝ ඉගෙනුම් කාලය තුල මේ වගේ ඩිසයින් අභ්‍යාස සෑහෙන ප්‍රමාණයක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ එක අධ්‍යයන වසරකට දෙකක් හෝ තුනක් බැගින්. මේකෙදි වෙන්නේ තෝරාගත් ඉඩමක් තුළ ඔවුන් විවිධ ගොඩනැගිලි සැලසුම් කිරීමයි. එම අභ්‍යාස සඳහා ලබාදෙන නියමිත කාලසීමාව තුල සතිපතා එම නිර්මාණ ක්‍රියාවලිය අධීක්ෂණයට ලක්වෙනවා. දිනපතා තම තමන්ගේ සැලසුම් නිර්මාණ රැගෙන විත් විශ්වවිද්‍යාලය තුලදී Desiign Tutoring ලබාගෙන එම නිර්මාණය ටිකෙන් ටික හැඩගස්වා ගත යුතයි. ඒ අතරේ Design Crits වලට සහභාගී වී පිටතින් පැමිණෙන ආකිටෙක්ට් ඇදුරන් වෙත එම නිර්මාණ ඉදිරිපත් කර ඔවුන්ගේ පැසසුම්, විචාර, අපවාද සහ උපදෙස් වලින් ඔලුව කුරුවල් කරගෙන අවසාන නිර්මාණය සිදු කලයුතුයි. එසේ විවිධ පීඩනයන් යටතේ තම නිර්මාණය සිදුකර "ඔයා මේ design එක එන්ජෝයි කරලා නෑ, you have to enjoy what you do" කියලා කියද්දී "යකෝ නිදිමරාගෙන, නොකා නොබී, දුක්වින්දගෙන උඹලගෙන බැනුමුත් අහගෙන මේ කරන්නේ! එතකොට ඔය enjoy කරන්න කියන්නේ ඒකද?" කියලා අහන්නත් ඒ ළමයින්ට හිතෙනවා ඇති.
ඔය ආකිටෙක්චර් ඉගෙන ගන්න ශිෂ්‍යන්ගේ පැත්තෙන් බලපුවම පේන විදිහ. හැබැයි ඒකට තව පැත්තක් තියෙනවා.
ආකිටෙක්චර් වගේ විෂයක් ඔය සංග්‍රාමය නැතුව ඉගෙන ගන්න අමාරුයි. මම හිතන්නේ ඔය තත්වය ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ කොහේ ගියත් ආකිටෙක්චර් අධ්‍යාපනය ඔය වගේ තමයි. ඒ වගේම ගොඩාක් නිදහස් වටපිටාවක් ලබා දුන්නොත් ඒ අධ්‍යාපන ක්‍රියාවලිය හරියට කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. ආකිටෙක්චර් කියන්නේ අමාරු වෘත්තියක්. ආකිටෙක්ට්ස් ලා විදිහට අපිට ඒ පුහුණුව අවශ්‍යයි එළිය ඇවිත් වැඩ කරන්න. මොකද වෘත්තීමය වශයෙන් අපිට විශාල වගකීම් ගොඩක් පැවරෙනවා. සැලසුම් නිර්මාණ සහ ඉදිකිරීම් ක්‍රියාවලියේ නියමුවා විදිහට අපි හැම විෂයක් ගැනම හොඳ දැනුමක් අවබෝධයක් සහිතව ඉන්න ඕනේ. සහ පීඩනය යටතේ වැඩකරන්න පුහුනුවෙන්නත් ඕනේ. හැබැයි ඔය අතරේ මම හිතනවා ආකිටෙක්චර් කියන්නේ තියෙන හොඳම වෘත්තියක් කියලත්. ඒක ඇත්තටම හොඳට Enjoy කරන්න පුළුවන් වෘත්තියක්. කලාත්මක විද්‍යාවක්, විද්‍යාත්මක කලාවක්.
ආකිටෙක්චර් සම්බන්ධ්ග විවිධ අධ්‍යාපනික ආයතන සමග කාලයක් තිස්සේ වැඩ කරන කෙනෙක් විදිහට මම නිරීක්ෂණය කරපු දේවල් ටිකක් ගැනත් ලියන්න ඕනේ. එකක් තමයි Quality වලට වඩා Quantity කියන දේට ඉහල ඇගයීමක් ලැබීම. Design Assignment එකක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. නමුත් Critical Thinking නැතිනම් විචාරාත්මක සිතීම නැතිනම් කොච්චර ප්‍රමාණාත්මක දේවල් තිබුනත් වැඩක් නැහැ. ඒ නිසා 3D, විවිධ වර්ණ වලින් මිල අධික කොළ වල මුද්‍රණය කරපු නිර්මාණයකට වඩා Butter sheet වල පැන්සල් කුරුටු බලි ගොඩක් තුල ඒ විචාරාත්මක චින්තනය තියෙන්න පුළුවන්. ගොඩක් වෙලේට ප්‍රමාණාත්මක දේවල් කරන්න ළමයින්ව වැඩි පුර තල්ලු කළාම අර Critical Thinking පැත්තක තියලා බොරුවට පුම්බබ්පු ලස්සනට පේන නිර්මාණයක් කරලා 3D වලින් වැඩ දාලා 3D images පනහක් විතර දාලා දුරට ඇපල් ළඟට පැපොල් නිර්මාණ කරන්න ළමයි පෙළඹෙන්න පුළුවන්. හැබැයි මෙහෙම කිව්වම තියරි නැත්නම් ආකිටෙක්චර් භාෂාවෙන් කිව්වොත් තෙල් වලින් විතරක් වැඩේ ගොඩ දාගන්න හදන එකත් වෙන්න පුළුවන් නිසා මේක හරියට සමබර කරගන්න ඕනේ. මම හිතපු දෙයක් තමයි ආකිටෙක්ට්ස් ලා විදහට හිතන එක තමයි වැදගත්. ලංකාව වගේ රටක ඒ සිතීම තමයි හිඟ. හැදෙන ගොඩක් ගොඩනැගිලි බලනකොට ඒක පේනවා. ඉදිකිරීම් ව්‍යාපෘතියක නියමුවා විදිහට ආකිටෙක්ට් කෙනෙක්ට ලොකු පරාසයක තීරණ ගන්න පුළුවන්. පරිසරයට, නගරයට, සමාජයට සහ සංස්කෘතියට වගේම අපිට රටක් විදිහට දරාගන්න පුළුවන් නිර්මාණ කරන්න ඒ විචාරශීලී චින්තනය වැදගත්. ගොඩක් වැදගත්. ලෝකය ටික ටික හොඳ අතට වෙනස්කරගන්න පුළුවන් ඒ විදිහට තමයි.
ඔය වගේම වෙන තවත් නරක දෙයක් තමයි ආකිටෙක්චර් ඉගෙන ගන්න ළමයි මත දාලා තියෙන මේ ප්‍රමාණාත්මක නැත්නම් Quantity over Quality තත්වය නිසා ළමයි තමන්ගේ නිර්මාණය වෙනකෙනෙක්ට මුදල් ගෙවලා කරගන්න තත්වයක් ඇතිවීම. සල්ලි වියදම් කරලා Architectural Model එක 3D වගේ දේවල් කරගෙන ඒවා තමන් කරපු විදිහට කතාකිරීම. හරි කමක් නෑ තමන්ගේ නිර්මාණය ඉතාම හොඳ විදිහට ඉදිරිපත් කරන්න තමයි ඒ දේවල් කරන්නේ නමුත් එහෙම කරනකොට එතන නිර්මාණාත්මක සිතීම කියන එක ඉතුරුවෙනවද? මේ වගේ මතයක් විවාධයට තුඩු දෙන්න පුළුවන්. ඒත් සම්පූර්ණයෙන්ම අහක දාන්න බෑ.
දැනුයි මට තේරුණේ මේ වගේ දෙයක් එක ලිපියකින් කතාකරන්න බැරි තරම් විශාලයි. ඒ නිසා තව කෙටි ලිපි ටිකක් ඉදිරියට ලියන්න බලන්නම්. කොහොම වුනත් මට අවශ්‍ය වුණේ මේ ගිනි පුපුරෙනුත් ගින්නක් අවුළුවන්නයි.
සුමුදු අතුකෝරල