09/08/2026
🌴 ශ්රී ලංකාවේ පුවක් වගාව: ඔබ දැනගත යුතුම කරුණු 🌴
පුවක් කියන්නේ අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන වටිනා අපනයන භෝගයක්. ඔබත් පුවක් වගාවට උනන්දු නම්, වගාවට සුදුසු නිවැරදි වර්ගය/ ආකාරය තෝරා ගැනීම ඉතාමත් වැදගත්.
මෙන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත සහ ලංකාවේ බහුලව දක්නට ලැබෙන පුවක් වර්ග පිළිබඳ සාරාංශයක්:
1. දේශීය පුවක් (Local Arecanut)
ලංකාවේ සෑම ප්රදේශයකම පාහේ දැකිය හැකියි. මෙහි ලක්ෂණ වන්නේ මීටර 15-30ක් පමණ උසට වැඩෙන ශක්තිමත් කඳක් සහිත වීමයි. වසර 6-7කින් අස්වැන්න ඇරඹෙන අතර, එක් ඉත්තක ගෙඩි 50-400 දක්වා තිබිය හැක. ගෙඩි රවුම් හෝ දිගැට් වන අතර ප්රමාණයෙන් කුඩායි. පැසුණු ගෙඩි වල ලෙල්ලෙ පැහැය කහ, තැඹිලි හෝ රෝස පාටට හුරු කහ පාටයි. කහට ගතිය සාමාන්ය හෝ සාපේක්ෂව වැඩියි.
කරුංකා සැකසීමට වඩාත් සුදුසුයි.
මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්යස්ථානය මගින් හඳුන්වා දුන් මාතලේ සිංහ, මාතලේ චතුර සහ මාතලේ රාජා යන වරණයන් මෙයට අයත් වේ.
2. හම්බන් පුවක් (Hamban Puwak)
සැපීම සඳහා වඩාත් ප්රිය කරන වර්ගයකි. උසින් වැඩි, ශක්තිමත් කඳක් සහ පළල් පත්ර සහිත වීම මෙහි ලක්ෂණ වේ. ගෙඩි සෙ.මී. 7-8ක් පමණ දිගටි වන අතර කහ, තැඹිලි හෝ රතු පැහැයක් ගනී.එලාවරණය ( ලෙල්ල ) එතරම් ඝණකම් නැත. සාමාන්ය කහට ගතියක් ඇත. එක් ඉත්තක ගෙඩි 75-80ක් පමණ හට ගනී.
3. රට පුවක් (Rata Puwak)
මිටි ප්රභේදයක් ලෙස හඳුන්වා දිය හැක. උස මීටර 8-12ක් පමණ වන අතර, ආයු කාලය වසර 12-15ක් වැනි කෙටි කාලයකි. වසර 3-4ක් වැනි කෙටි කාලයකින් අස්වැන්න ලබා දීම මෙහි ඇති විශේෂත්වයයි. අනෙකුත් පුවක් අවාර කාලයේදී (අගෝස්තු - සැප්තැම්බර්) අස්වැන්න ලබා දීම මෙහි ඇති විශේෂ වාසියකි. ගෙඩි රවුම් සහ විශාල වන අතර, කහට ගතිය අඩු බැවින් කරුංකා සැකසීමට වඩාත් සුදුසු නොවේ. ලෙල්ල කොල හෝ කහ පැහැතියි. සමහර ගෙඩි ඉදේන විට කහ පැහැති ලෙල්ලෙ කොල පැහැ ඉරි දක්නට ලැබේ. බීජ විශාල මදයක් සහිතයි.මදය සුවදයි.
වැදගත් උපදෙස්:
නොමිලේ පැළ ලබා ගැනීම: අපනයන කෘෂිකර්ම ව්යාප්ති නිලධාරී කාර්යාලය හරහා ලියාපදිංචි වී දේශීය පුවක් පැළ නොමිලේ ලබා ගත හැක.
🔴 හයිබ්රිඩ් පුවක්: ලංකාවේ දැනට නිල වශයෙන් හඳුන්වා දුන් "හයිබ්රිඩ්" හෝ "අවුරුදු දෙකෙන් අස්වනු දෙන" පුවක්, මිටි පුවක්, කුරු පුවක්, සිංහ කුරු පුවක් ලෙස වර්ග නොමැති බව කරුණාවෙන් සලකන්න. වංචනිකයින්ට හසු නොවන්න.
📢 මේ වටිනා තොරතුරු ඔබේ ගොවි මිතුරන් අතරත් බෙදා ගන්න!
වැඩි විස්තර සඳහා ඔබේ ප්රදේශයේ ගොවිජන සේවා මධ්යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්යාප්ති නිලධාරී මහතා හමුවන්න.