නටඹුන් Ruins & Nature

නටඹුන් Ruins & Nature We love history and archaeology. It must be the root of any nation and will definitely help to be a proud and rich member of that culture.

අටමස්ථාන කම්පනය වූ වගයි.     ස්වභාවදහම අනාත්මය. කිසිම කෙනෙක් එය පාලනය නොකරන්නේය. එයට සරිලනසේ ගහකොල සත්වයා බිහිවී එම තත්ව...
02/06/2024

අටමස්ථාන කම්පනය වූ වගයි.
ස්වභාවදහම අනාත්මය. කිසිම කෙනෙක් එය පාලනය නොකරන්නේය. එයට සරිලනසේ ගහකොල සත්වයා බිහිවී එම තත්වය පවත්වා ගැනීමේ කාර්යභාරයක් අනාත්මවම සිදුවෙන්නේය. අප මහාකාරුණික බුදුරජාණන්වහන්සේ සොයාගත් විශ්මිත දෙයත් එය වන්නේය. එය ඉතාමත් සරල බව වැටහෙන්නේ එය මනාව අවබෝධකර ගත් අයට පමණි. ඒ මහා බෝසතාණන් ස්වභාවධර්මය ඇතිසැටියෙන් එසේම සොයාගෙන, කවිරුවත් පාලනය නොකරන එම ක්‍රියාවලිය ආපස්සට හරවා, එම ක්‍රියාවලියෙන් මිදුනේය, නැතහොත් සංසාරගමන නැවැත්වුයේය. ඒ කාරණය පසක්කර ගැනීමට බුදුරජාණන්වහන්සේ සොයා ගත් කරුණු තුන වන්නේ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රී ලක්ෂණයය. අනිත්‍ය යනු ඇතිවී ඒ සැණින් නැසෙන බවය, දුක්ඛ යනු කිසිදෙයක් ඉතිරි නොවී විනාශ වී යන බවය. අනාත්ම යනු එය කිරීමට කිසිකෙනෙකු නොමැති බවය. මෙය බුදුකෙනෙකු පමණක්ම දන්නා කාරණාවක්ය. බුදුකෙනෙකු සොයාගනු ලබන්නේ එයය. එසේ සොයාගනු ලැබූ එම සත්‍ය අප රටේ ජනයා නිසිලෙස හදුනාගෙන මේ සංසාරයෙන් එගොඩ ගිය ලක්ෂ ගණනක රහතුන් වහන්සේලා වැඩ සිටිය මහා පුදබිම නේද යන්න නොදැන මේ මහා නගරය නිර්මාණය කල මහා නිර්මාණ කරුවන් ගැන සිතමින්, ඔවුන් මගේ මුතුන් මිත්තන් නොවේද? ඇයි මාහට එසේ කිරීමට බැරි යන්නෙන්, මහාපරිමාණයෙන් සිතීමට ඉගෙන ගත්තෙමි. (මා අවුරුදු 14 පමණ සිට, පාසල් නිවාඩුවක් ලැබුන විට නෑදෑ නිවසකට පැමිණ අටමස්ථානයේ උදේ සිට පුරාවිද්යා පුවරු කියවමින් ඇවිදීම ජීවිතයේ අංගයක් කරගෙන සිටියේය).
අනුරාධපුර යුගය අප මව්බිමේ ස්වර්ණමය යුගයක් විය. එය අදට අවුරුදු 2460 කට එහා ගිය කාල වකවානුවක් තුල අපගේ රාජධානියක් විය. මහා විහාරය, අභයගිරි විහාරය සහ ජේතවනාරාම විහාරයමෙන්ම මිහින්තලා ආරන්‍යසේනාසනා සහ අනෙකුත් අප බෞද්ධ ස්ථානවල ලෝකයේ කොහේවත් නොතිබුණ විශේෂිත කරුණක් විය. එනම් අප තුන් විහාරවල පමණක් රහතන්වහන්සේලා හතලිස්දාහක් පමණ වැඩ සිටි ඒ ආශ්චර්‍යමත් කාරණාවය. මහාවිහාරයේ රහතුන් වහන්සේලා විසිදාහක් සිටියත්, මහා විහාරයේ ඇතුලත භූමි ප්රමාණය මෙන් දෙගුණයක් පමණ අභයගිරිය මහා විහාරයේ තිබීම මෙන්ම රහතුන් වහන්සෙලා දහදාහක් පමණක් එහි වැඩ සිටීම මාහට මේ ලගදී ප්‍රශ්නයක් ඇතිකලේය. එය අමතක කලත් මාහට අමතක කල නොහැකි මහා කලකිරීමක් හිතට දැණින. මා නැවතත් අටමස්ථාන දැක බලාගැනීමට දවස් කීපයකට උඩදී ගියෙමි. රුවන්වැලිසෑය මිත්‍යාදෘෂ්ඨිකයින් අරක්ගෙන තිබුණත් බාර ගැට ගැසීමට තැනක් දැන් වෙන්කර ඇත්තේය. අයකැමියන් ඔලුවට දාන නෙට් එකක් පැලැද භක්තිකයන් පිරිසක් සඟරුවනක් සමග මොනවාදෝ කරමින් සිටියේය. පැයක් ඇතුලත කප්රුක වන්දනා තුනක් දැකබලා ගැනීමට හැකි විය. තැනින් තැන එක් එක්කෙනාගේ අදෝණාවන්ය. සඟපරපුරත් මල්, තෙල් සුවද දෝතින් ගෙන චෛත්‍ය වටා බුදුරජුන් ලගා කරගත් හා ලබපු දේ ගැන කියවමින් ගාථා, කවි හා ගී මෙන්ම ගායනා කරන්නේය. මෙහෙණින් වහන්සේනමක් මා අසලින් සිට ඉතාමත් හොදින් ගාථා ගායනා කලාය. මේ අසා සිටි හා දැකබලා සිටි මාහට මෙය ලිවීමටම සිතිනි. මෙසේ සංඝරත්නය මල් තෙල් අතැතිව චෛත්‍යය වටා සක්මන් කිරීම බුදුන් සරණ යෑමක්ද? නැත, බුදුන් සරණ යෑම යනු බුදුරජාණන් වහන්සේ අපතුලින් දැකීමය. එනම් ඔහුගේ ගුණය අපවිසින් සකසා ගත යුතුය. ඒ සදහා, චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අෂ්ඨාන්ගික මාර්ගය, මෙන්ම පටිච්ච සමුප්පාදය තුලින් ප්‍රඥාව දියුණු කල යුතුවේ. ඉන්පසු විදර්ශනාව හෙවත් සතර සතිපට්ටානයෙන් සියලු කෙලෙස් දුරු කල යුතුවේ. අඩුම වශයෙන් සංඝයා බුදුන්ගේ ශ්‍රාවකයෙක් හෙවත් සෝවාන් මාර්ගයේ සිටින පුද්ගලයෙකු විය යුතුය.
මා බොහෝ කාලයක් නිහඩව සිටියෙමි. වැඩ අධික බවත් නිකරුණේ අකුසල් සිත් නොඇති කර ගැනීමත් පරමාර්ථය විය. ඒත් මේ පිංබිමට කුමක් සිදුවී ඇත්ද? අප තේරුම් ගත යුත්තේ එය කිරීමට කිසිදු කෙනෙක් නොමැතිබවත් එය ස්වභාවධර්මයෙන්ම සිදුවන බවය. එනම් මේ බුද්දධර්මයත් අනිත්‍ය බවය.
අභයගිරිය පැත්තට ගියවිට තත්වය ඉතාමත් දරුණුය. එය හින්දු කෝවිලක් වී හමාරය. මා අසල සිටි ස්වාමීන්වහන්සේ නමක් පොල්ගෙඩියක් අත තියාගෙන සිටියේය. දොරටුව දෙපැත්තේ රතු සහ සුදු යනුවෙන් දේවාල දෙකකි.එහි සිටි කපුමහතුන් දෙදෙනා බෞද්ධයන්ගේ බාර හාර සල්ලිවලට ඔප්පුකරන්නේය. අපට කුමක්වී තිබේද? කුරින්දි විහාරය හින්දුන් අල්ලා ගනියි යන බයට සෑහෙන ආගමික භක්තිකයන් කතා කරන්නේය. ඒත් අභයගිරිය බහිරවයා ගිලගෙනය. සංචාරක මගපෙන්වන මහතෙකු විදේශිකයන් දෙදෙනෙකු සමග සිටියේය. මා ඔහු සිටි තැනට ගොස් විමසූයේ ඔබ මේ අයට මේ ස්ථානය හින්දු කෝවිලක් ලෙස නේද පෙන්වන්න තියෙන්නේ කියා. ඔහු ඉතාමත් සංවේදීව, වෙලා තිබෙන විනාශය මා සමග කුලූපගව කතා කලේය. අභයගිරියේදී මා කතාකල සංචාරක මග පෙන්වන මහතා සමාධි පිලිම වහන්සේ ලගදී නැවතත් මට මුණ ගැසුනේය. අප අමතක නොකල යුතු කරුණක් තිබේ. මෙවැනි ස්ථානවලට පැමිණෙන බොහෝ විදේශිකයන් බුදුදහම වැලදගෙන සිටින අයයි. ඔවුන්ගේ දැනුම ඉතාමත් ඉහල තැනකය. මා මෙය දන්නේ අත්දැකීමෙන්ය.
ශ්‍රී මහා බෝධියට ගියෙමි. එයත් හින්දු ආගමික ස්ථානයක් වී හමාරය. එහි වරින් වර කපුවන් හතර දෙනෙකු මිනිසුන්ගේ භාර ඔප්පු කරමින් සල්ලි එකතු කර ගන්නේය. මෙම හින්දු විපර්යාසය සිදුවී ඇත්තේ අටමස්ථාන පරිපාලකයන්ගේ සෘජු අනු දැනුම මතය. ප්‍රධාන හේතුව සල්ලි හම්බකිරීමය. එසේනම් බුදුරජාණන්වහන්සේ සොයාගත් ධර්මය කොහෙද? අප බෞද්ධයන්ගෙන් 99.99%ක් බෞද්ධයන් නොවන්නේය. අප අතර සිටින බොහෝ දෙනා මිත්‍යාදෘෂ්ඨිකයින්ය. එය ආයුධයක් කර යොදා ගන්නා ආගමික නායකයන් බුදුදහම විනාශ කරමින් සිටින්නේය.
නිසි බලධාරින් මේ ගැන සොයා බැලිය යුතුය. මහනුවර දළදා මාලිගාවේ තත්වයත් එයමය. බුද්දධර්මය දන්නා හා සොයගෙන මෙහි පැමිණෙන විදේශිකයන් නොමග යැවෙන්නේය. මාලිගාවට කුඩා පිරිමි දරුවෙකුවටවත් දිග කලිසමක් නොමැතිව ඇතුලට යා නොහැකිය. විදේශිකයෙක් මාගෙන් ඇසුවේ උබලා අදහන්නේ මුස්ලිම් ආගමද කියාය. මෙසේ ඉතාමත් සත්‍ය වූ සහ පිරිසිදු බුදුදහම මිත්‍යාවක්මත ගොඩනැගී අපේ මූලික ආගමික කේන්ද්‍රස්ථාන වල එය විනාශ කිරීමට දීම බෞද්ධයෙකු හැටියට මා අනුමත නොකරන්නේය.

තිලක් දිසානායක

කඳුවලල්ලකින් සැඟවුණ ලෝකයටම එකක් වූ මහනුවරඓතිහාසික මහනුවර නගරයේම ජීවත්වන 99% කටත් වඩා බොහෝ මිනිසුන් මෙන්ම බහුතර ශ්‍රීලාංක...
01/06/2024

කඳුවලල්ලකින් සැඟවුණ ලෝකයටම එකක් වූ මහනුවර
ඓතිහාසික මහනුවර නගරයේම ජීවත්වන 99% කටත් වඩා බොහෝ මිනිසුන් මෙන්ම බහුතර ශ්‍රීලාංකිකයන්,රජයේ මේ සම්බන්ධ ආයතන හා නිල සංචාරක මගපෙන්වන්නන් මෙන්ම සංචාරක නියෝජිත ආයතන පවා නොදත් විශේෂ කරුණු බොහොමයක් කාලයත් සමග යටපත් වී තිබේ.
මහනුවර ලංකාවේ හා මුළු ලෝකයේම තිබෙන විශේෂ නගරයකි. එහෙත් සංචාරක ව්‍යායාපාරය පිලිබඳ මන්දගාමී ආකල්ප හා එහි වටිනාකම නොදත් බොහෝ බටහිර ගැති ආර්ථික සැලසුම් සකසන්නන්, විශේෂඥයන් මෙන්ම රජයේ නිලධාරීන් එය උපායමාර්ග සැලසුම් අතරට ගෙන ඒම ගැන හීනයකින් වත් සිතා නැත. උපායමාර්ග සැලසුම් සැකසීමේදී අපට තිබෙන සැබෑ සම්පත් හඳුනා ගැනීම ඉතාමත් අතයාවශ්‍යා කාරණයක් වේ.
ලෝකයේ කිසිම නගරයකට නැති මහනුවරට පමණක් අති විශේෂ කාරණා කීපයක් පහතින් දැක්වේ.

1. රක්ෂිත වනාන්තර තුනකින් වටවුණ ලෝකයේ එකම නගරය.
උඩවත්ත කැලේ රක්ෂිතය
දුනුමඩලාව වන රක්ෂිතය (වොකර් ස්ටේට් කැලේ)
ගන්නොරුව වන රක්ෂිතය

2. මෙම ගන්නොරුව රක්ෂිතයට පමණක් හෙවත් නුවරට ආවේණික වූ විශේෂ දෙයක් තිබේ. ගන්නොරු පන්දුරු මැඩියා ලෝකයේ සහ ලංකාවේ වෙන කිසිම තැනක ජීවත් නොවේ.

3. ලෝකයේ ප්‍රසිද්ධ නගරයකට මායිම්ව තිබෙන කුඩා රක්ෂිතයක දිවියන් (leopard) ජීවත් වන එකම රක්ෂිතය මහනුවර හන්තාන කඳුයාය සහ නුවර වැවට උඩින් පිහිටි රජපිහිල්ල මාවතට උඩින් කොටස අතර පිහිටි දුනුමඩලාව රක්ෂිතය වේ.

4. අවුරුදු 700 යකට එහා ලෝකයේ එක දිගටම පැවැත්වෙන සංස්කෘතික උත්සවය ඇත්තේ මහනුවරය. එය දළදා පෙරහැරය.

5. නගරයක වැසි ජලය ගෙන යෑමට හා දෙදෙනෙකු ඇවිදගෙන රජවාසල මෙන්ම නගරයේ වලව් 27 ක කුණු අපද්‍රව්‍ය ගෙන ගොස් බැහැර කිරීමට යොදා ගෙන ඇති තාක්ෂණයෙන් ඉහල කාණු පද්ධතිය.

6. අවුරුදු 200 කට එහා පැරණි, මිනිසුන් හැදූ කෘතිම වැවක් සහිත ලෝකයේ එකම නගරය.

7. ඉහත සඳහන් සියලු දේ ඇති ලෝකයේ එකම ලෝක උරුම නගරය

තිලක් දිසානායක

( සියලුම පින්තූර අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදි. එම පින්තූර එය පලකල අයට සතු දෙයකි.)

1000% ක් ඇත්ත කතාවක්
31/05/2024

1000% ක් ඇත්ත කතාවක්

25/09/2022
බඹරගල රජ මහා විහාරයබඹරගල රජ මහා විහාරය මනරම් මහනුවර දුම්බර මිටියාවතේ තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ රජමහ විහාරයකි....
23/01/2022

බඹරගල රජ මහා විහාරය
බඹරගල රජ මහා විහාරය මනරම් මහනුවර දුම්බර මිටියාවතේ තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ රජමහ විහාරයකි. මෙය වික්ටෝරියා ජලාශයට මුහුණලා හා පෙට්ටිගල කඳු ශිඛරය ආසන්නව ඉතාමත් මනරම් කඳු ගැටිත්තක පිහිටා ඇති මහනුවර ප්‍රදේශයෙන් හමුවන ඉතා වටිනා නටඹුන් සහිත මිල කල නොහැකි සම්පතකි.
මෙහි හමුවී ඇති පූර්ව බ්‍රහ්මී ලෙන් ලිපි, භාවනා කිරීමට යොදාගත් ලෙන් මෙන්ම පුරාණ සංගයාවාසයක නටඹුන් වලින් සනාථ වනුයේ මෙම ස්ථානය ඉතාමත් ඈත අතීතයේ සිට රහතුන් වහන්සේලා වැඩසිටි වාසස්ථානයක් බවය. එය අවුරුදු 2000 කට එහා ගිය අතීතයක් බව පූර්ව බ්රහ්මී ලෙන් අක්‍ෂර වලින් සනාථවේ . මෙහි ඇති විශේෂ කාරණය වනුයේ මහනුවර ප්ර්දේශයේ මෙවැනි ආශ්‍රම ඉතාමත් අල්ප ලෙස පිහිටා තිබීමය. එසේම මෙම රජමහ විහාරය ඈත අතීතයේ සිට රාජ අනුග්‍රහය ලැබූ බෞද්ධ ස්ථානයක් ලෙස පැවතීමය. එමෙන්ම මෙය ශතවර්ෂ ගණනාවක් තිස්සේ අලුත්වැඩියා කටයුතු හෝ නැවත ඉදිකිරීම් කටයුතු කර ඇති බව පැහැදිලි වනුයේ ගල්ලෙන් වල කටාරම් කිහිප හැඩයකින් මතුවී තිබීම නිසාය.
මෙහි හමුවී ඇති තඹ සන්නසකට අනුව වර්ෂ 1747-1782 AD රජකල කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙය රජමහා විහාරයක් බවට පත්කර සහ අවට ඇති ඉඩකඩම් විහාරයට පූජාකල බව සදහන් කර ඇත. එම ආභාෂයත් සමග මෙහි අලුතින් ඉදිකල විහාර කුටිතුල මහනුවර යුගයේ විචිත්‍ර චිත්‍ර ඇඳ ඇති බවත් දැකිය හැකිය.

ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික මහා ශිලා සුසානභූමියමෙය මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තුල සොයාගත් ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක වටින...
05/09/2021

ඉබ්බන්කටුව පූර්ව ඓතිහාසික මහා ශිලා සුසානභූමිය
මෙය මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තුල සොයාගත් ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයයි. මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉබ්බන්කටුව ගම්මානයේ පිහිටා තිබෙන මෙම ස්ථානය කලා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍රගතකොට ගෙන කුරුණෑගල ත්‍රිකුණාමලය පාරේ දඹුල්ලට කි.මි. 5ක් සමීපව වර්ග හෙක්ටයාර් 13 ක භූමි වපසරියක පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව තුල දැනට සොයාගෙන ඇති විශාලතම මෙගාලිතික් සම්ප්‍රදාය හෝ මහාශිලා සම්ප්‍රදායට අයත් මනාලෙස සංරක්ෂිත පූර්ව ඓතිහාසික ශිලා සුසානභූමිය ලෙසය. මෙහි ශිලා මංජුසා, හෙවත් විශාල ගල්ලෑලි හතරක් මත ඉහලින් තවත් ගල්ලෑල්ලක් තබා පෙට්ටියක් ලෙස සකසා තිබෙන සුසාන ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විතවන අතර පූර්ව ඓතිහාසික සාධක එකතුවීම අප මානව ශිෂ්ඨාචාරයේ එක් විශේෂ සංදිස්ථානයක සාක්ෂි ලැබීම ඉතාමත් සතුටට පත්විය හැකි කරුණකි.
මෙම ස්ථානය 1970 දී පමණ සොයාගත් අතර එදවස පුරාවිද්‍යා කොමසාරිස්වූ ආචාර්‍ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙහි පළමු පුරාවිද්‍යා කැණීම් කටයුතු එම වර්ෂයේදී සිදු කරන ලදි. එහෙත් මෙහි මූලික ක්ෂේත්‍ර සමීක්ෂණයක් 1982 වර්ෂයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මගින් සිදු කරන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1983/84 යන කාල පරිච්චේදයේදී සුසාන භූමියේ උතුරු කෙළවරෙහි පිහිටි සුසාන ගර්භ පොකුරක් විවෘත කෙරිණි. මෙහි තව ඉදිරි පියවරක් ලෙස 1986දී කැළණිය විශ්වවිද්‍යාලය විසින් සමස්ත සුසාන භූමියෙහිම අධ්‍යනයකින් පසුව විස්තරාත්මක සැලසුමක් සකස් කරන්නට විය.
ඉන් පසුව 1988 හා 1990 දී සොහොන් කොත් 21 ක් සොයාගන්න ලද්දේ මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා (The Kommission für Allgemeine und Vergleichende Archaeologie) යන ආයතනය එක්ව දෙස් විදෙස් ගවේෂකයන් විසින් සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙසය. මෙහි කල රේඩියෝ කාබන් සාම්පල පරීක්ෂණයට අනුව එම සොහොන් කි.පු. 6 වන සියවසට හෙවත් දැනට අවුරුදු 2620 කට එහා පැරණි බව ජාත්‍යන්තරව තහවුරු විය.
මේ සොයා ගැනීම් මත ශ්‍රී ලංකාවේ මානව පුණර්ජීවනය ඉතා ඈතට එනම් බුදු දහම ලංකාවට පැමිණීමට ප්‍රථම සිට පැවති බව මෙවැනි විශිෂ්ඨ සොයා ගැනීම් මත තහවුරුවී ඇත. මෙම ගල් වලින් සාදන ලද සොහොන් ඇතුලත මැටි භාජන යොදා මෘත දේහය අළු ලෙසින් තැන්පත් කර තිබෙන අතර දකුණු ආසියාවේ ඉතාමත් පැරණි අක්ෂර සටහන් ද එක් ගල් පියනක තිබී සොයා ගන්නා ලදි. ඊට අමතරව විශේෂ පාෂාණ වන කානිලියන් හා තිරුවාණ වලින්, ඇට වර්ග වලින් හා මැටි යොදා සාදන ලද ආභරණද මෙන්ම මෙවලම්ද සොයා ගන්නා ලද අතර මුළු සොහොන් ගණන 68 කට වඩා දැනට සොයාගෙන තිබේ. මෙය 2017 දී මහජනතාව සඳහා විවෘත වූ සේම පාසල් අධ්‍යාපන කටයුතු සඳහා පොත් වලටද ඇතුලත් කරන ලදි.
මෙවැනි ලෝක ඉතිහාසයේ අපගේ ක්‍රියාකරිත්වය පිළිඹිඹුවන අති විශිෂ්ඨ සොයා ගැනීම් සඳහා ලැබෙන මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකාව තුල ඉතාමත් අල්ප වන අතර එය වෙනස් විය යුතු කාලය උදාවී තිබේ. ඇත්තටම මෙම මාධ්‍ය ආයතනවල මේ කටයුතු තේරුම් ගත හැකි අධ්‍යාපනය ලත් නිලධාරීන්ගේ අඩුපාඩුව හෝ අප අධ්‍යාපන ව්‍යුහයේ අඩුපාඩුවක්ද යන්න සොයා බලා පිලියමක් යෙදීම ඉදිරි අනාගතයට වැඩදායි ආයෝජනයක් වනු ඇත. මා දකින ප්‍රධානතම හේතුව වන්නේ පරිසරය, ඉතිහාසය හා සාරධර්ම පසෙක තබා පාසලෙන් පිටත් කරනු ලබන නූතන මානවයාගේ ක්‍රියාකාරකම් විශ්වබල සමතුලනයට බාධාවක් වී තිබීමය. පරිසරයට ආදරය කිරීම යනු ගස් වැල් සියොතුන් හා සිව්පාවුන් එකතුවී මිනිස් වර්ගයාට නැවත ආදරය කිරීමය. එය මෙසේ යැයි කීමට අපහසු වූවත් එය එසේ කරනු ලබන පුද්ගලයා ලබන්නාවූ අත්දැකීම හා මානසික සුවය මනසින් විඳිය හැක්කේ එවැන්නෙකුටම පමණි.
අනෙත් වටිනා කරුණ වන්නේ ලෝකයා ශ්‍රී ලාංකිකයා දෙස බලනු ලබන කෝණය ඉතාවේගයෙන් වෙනස් වීමයි. එය 1996 දී ලෝක ක්‍රිකට් කුසලානය ලංකාව දිනා ගැනීමේදී ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අපදෙස බැලූ ආකරය හා සමාන වේ. එදින මැදපෙරදිග විසූ ආසියාතික බොහෝ ටැක්සි රියදුරන් ලංකාවේ මගීන් ගෙන් මුදල් අය නොකලේය. අපි ලාංකිකයැයි කීමෙන් මහත් ආඩම්බරයක් ඇතිවිය. එදා එය සීමිත පිරිසක් කැපකිරීමෙන් ලබාගත් දෙයකි.
එහෙත්, අද අපට ස්වභාවධර්මය හා මුතුන්මිත්තන් දායාද කල දේ ආයාසයකින් තොරව පරිහරණය කිරීමට අවස්ථාව උදාවී තිබේ. අද මාහට ඉතාමත් ප්‍රීතිමත් දවසක් විය. මා විකිපීඩියා ගොස් ඉබ්බන්කටුව පිරික්සීමේදී අප අවුරුදු 250000 කට එහා ප්‍රාග් ඓතිහාසික කාලවකවානුවක් ඇති රටක් ලෙස කතා කර තිබේ. මේ එහි මූලාරම්භය විය යුතු අතර අපේ රටට කිසිම රටකට අයිති නොවූ වටිනාකමක් ගෙන ආ හැකිය. අප දිවයින ලෝකයේ අංක එකේ සංචාරක නිකේතනය බවට පත් කිරීමට අවශ්‍ය වන්නේ පුංචිම පුංචි තල්ලුවක් පමණි.
ලෝකයේ මෙම මෙගාලිතික් නටඹුන් විසිරී තිබුණත් අපරට විශේෂිතය. හේතුව වනුයේ වෙනත් රටක මේ නටඹුන් බැලීමට කි.මි. දහස්ගානක් විශේෂ මහන්සියක් දරා සංචාරය කලයුතු අතර වාසනාවකට එය අපරටේදී විශේෂවූ කාරණයකි. කි.මි. සියයක් ගියවිට බොහෝ පුරාවිද්‍යාත්මක හා මෙවැනි ශිලා සොහොන් බිමක් සේම තව බොහෝ නටඹුන් ආයාසයකින් තොරව නැරඹිය හැකිය. ලංකාවට සංචාරකයන් මිලියන 25ක් අවුරුද්දකට ගෙන්විම අනිවාර්‍යෙන් කලහැක. ඒ සඳහා හොඳ නායකත්වයක්, දැක්මක් සහ ගැලපෙන උපායමාර්ග ක්‍රියාවට නැංවිය යුතුය.
පින්තූර අන්තර්ජාලය මගින් සපයා ගන්නා ලදි. පින්තූර වල අයිතිය මුල් අයිතිකරුවන් සතුය)

තිලක් දිසානායක

තෝනිගල, තිලක්කුලම, වව්නියාව - ලංකාවේ දැනට සොයාගත් ඉතා වටිනා සෙල්ලිපි වලින් එකක් -  ( උතුරු නැගෙනහිර අපේ උරුමය)අප මව්බිමේ...
29/08/2021

තෝනිගල, තිලක්කුලම, වව්නියාව - ලංකාවේ දැනට සොයාගත් ඉතා වටිනා සෙල්ලිපි වලින් එකක් - ( උතුරු නැගෙනහිර අපේ උරුමය)
අප මව්බිමේ ලෝකයේ වෙනත් කිසිම රටකට නොමැති අපටම විශේෂිත බොහෝ දේ සොයා ගත හැක. එයින් වැඩිකොටසක් ස්වභාවධර්මය මෙන්ම අනිත් කොටස අපේ මුතුන්මිත්තන් පරිත්‍යාග කර ඇත. ඒ සියලුදේ අප වර්තමාන සහ අනාගත ප්‍රයෝජනය සඳහා යොදාගෙන ඇතිද යන්න ප්‍රහේලිකාවකි. උත්තරය “නැත“ වෙනවා නම් එයිනුත් ගම්‍ය වන්නේ ලෝකයේ කිසිම රටකට නොමැති අවස්තා තවමත් අප රට සතුව ඇති බවය. අපේ බුද්ධිය ලෝකයේ කිසිම රටකට නොදෙවෙනිය. එය මා ඉතා වගකීමෙන් කියනුයේ ලෝකයේ ප්‍රධාන රටවලින් 75% කට පමණ සංචාරය කර තිබෙන හා ශතක දෙකකට වඩා වැඩිකාලයක් විදේශයන්හි සේවය කර තිබෙන නිසාය.
වර්තමානයට හා අනාගතයේ පාවිච්චිය සඳහා අපේ මුතුන් මිත්තන් අතීතයේදී ඉතා වැදගත් රාජකාරී කීපයක් කර ඇත. ඔවුන් ලෝකය හා සැසඳීමේදී විශේෂ මානව වර්ගයකි. ඔවුන් ඉන්දියාවෙන් පිටුවහල් කල හොර නඩයක් නොවන බව ඉතා මනාව ඔප්පුවෙමින් පවතී. අපට අවුරුදු දෙලක්ෂ පනස් දහසකට වඩා පැරණි ඉතිහාස දම්වැලක් හිමි රටකි. ලෝකයේ පලමුවෙන් ඇටජාති පරිබෝජනය කල ජාතීන් අතරත්, අවුරුදු ලක්ෂ ගානකට පෙර අකුරු හා සංඥා භාවිතා කල මුල් ජාතීන් අතරත්,ආසියාවේ පලමුවෙන් දුනු හී යොදා සතුන් දඩයම් කල ජාතියත් අපේ මුතුන්මිත්තන් වේ. අප යටත් කර හුරාකෑ විජාතිකයන්ට ගැතිකම් කල අය අදත් කියනුයේ “ඔය පාරම්භාන අතීතය කන්නද“ කියාය. සුද්දා අපේ මනස ඔවුන්ගේ ගැත්තන් මගින් හෙමින්සීරුවේ විනාශ කර ඇති බවට මෙය හොඳ සාක්ෂියකි.
අපේ මුතුන් මිත්තන් ඉතා විශේෂ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී එය අනාගතයට සුරක්ෂිත කර තබා ඇත්තේ සෙල්ලිපියක් ලෙසය. මෙම සෙල්ලිපිය ලංකාවේ දැනට සොයාගත් ඉතාමත් වටිනා සෙල්ලිපිය විය යුතුය. එහෙත් එහි වටිනාකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තවම පසක් වී නොමැත. එහෙයින් එය ආරක්ෂාකිරීමට යැයි කියා යුධ සමයේ අඩියක් පමණ මේ සෙල්ලිපිය වටේ බැම්මක් බැඳ පස්පුරවා සතවර්ෂ හතරකට ආසන්නව වසාදමා තිබේ. යුද්ධය ඉවරවී වසර ගනනාවක් පසුවී තිබියදීත් මෙය පස්ගොඩකින් වසා ලෝකයෙන් වසන්කර තැබීම අප ක්‍රමවේදයේ විශාල අඩුපාඩුවකි.
මෙය උතුරු නැගෙනහිර මායිමේ වව්නියාවේ සිට හොරොව්පතානට පිවිසෙන මාර්ගයේ හයවෙනි සැතපුම් කණුව ආසන්නයේ තිලක්කුලම යන ගම්මානයේ ගල්තලාවක පිහිටා තිබේ. එම ගල්තලාවේ වෙනත් බෞද්ධ නෂ්ඨාවශේෂ ඉතිරිව පවතින අතර අගල් තුනකින් පමණ උසකින් යුත් අකුරු හා පේලි 16යකින් යුක්ත මෙම ඉමහත් වටිනා සෙල්ලිපිය අමාත්‍යමණ්ඩලයේ ඇමතිවරයෙකුගේ පුතකු වන දේව යන්නෙකු විසින් කර ඇත. මෙය නිමවා ඇත්තේ කිත්සිරිමේඝ රජු සමයේ වුවත් ඔහුගේ පියාවන මහසෙන් රජු ගැනද සඳහන් කොට ඇත. මහසෙන් රජු බුදු සසුනට විශාල ලෙස පීඩා හිංසා කල අයෙකි. එහෙත් ඔහුගේ පුත් මෙම තත්වය මගහරවා ඔහුගේ පියා මෙසේ වර්ණනා කර ජනතා ප්‍රසාදය දිනා ගැනීමට යුහුසුලු වී ඇත.
මෙම සෙල්ලිපියෙන් මෙම ප්‍රදේශයේ ආරාමයකට දානය සැපයීම සඳහා ගම්මුන්ට ණයට ධාන්‍ය දී, මුල් ධාන්‍ය ප්‍රමාණය අඩුවක් නොකර පොලිය ආරාමයට දීම සදහා විශේෂිත නම්කෙරූ වෙළද ස්ථානයකට ගෙනවිත් දියයුතුය. එසේම එය බාටා ක්‍රමය හෙවත් භාණ්ඩ හුවමාරු ක්‍රමය මෙන්ම එදවස ලංකාවේ පැවති ආර්ථික ක්‍රියාදාමයන්ද පැහැදිලි කරගත හැක. මෙය කි.ව. හතරවෙනි සියවසේ මුල් භාගයේ ක්‍රියාත්මක වූ සටහනකි. දැනට කි.පු. 2000 දී පමණ ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය සහ බැබිලෝන් වැනි රටවල ආගමික සිද්ධස්ථානවල මිනිසුන්හට ණයට භාණ්ඩ සපයා ඇත. ඉන්පසු එයට වඩා දියුණු ක්‍රියා පිලිවෙතක් සොයාගනු ලබනුයේ අප මව්බිමේය.
අපරටේ වාර්ෂික නිෂ්පාදන අගය ඇමරිකානු ඩොලර් බිලියන 87කි. මේ අගයට වඩා වැඩියෙන් පිරිවැයක් ඇති සමාගම් දහස්ගනනක් ලෝකයේ ඇත. එසේනම් අප රට පොඩි ආයතනයක් සේ සලකා ඒකාබද්ධ කෙටිකාලීන හා දිගු කාලීන සැලසුම් මාර්ගයෙන් රට සංවර්ධනය කිරීමේ අරමුණට ලඟාවිය හැක. එයට දිය හැකි හොඳම උදාහරණය 1996 ලෝක ක්‍රිකට් කුසලානය ලංකාවට ගෙන ඒමය. එහි මහ මොලකරු කව්රුත් නොදන්න හා කතා නොකරන ආනා පුංචිහේවා මහතාය. මේම සටහන මා තබනුයේ බොහෝ කලකට පෙර ඔහුගේ පුවත්පත් සාකච්චාවක් කියවීමෙන් පසුවය. ආනා පුංචිහේවා යනු කළමණාකාරිත්වයේ ඉතා විශිෂ්ඨ ප්‍රායෝගික දැනුමෙන් පරිපෝෂිත මෙන්ම උගත්, බහුජාතික සමාගමක විධායක අධ්‍යකෂක ලෙස කටයුතු කල විශිෂ්ඨ කළමණාකරුවෙකි.
තෝනිගල සෙල්ලිපිය මූලික බැංකු ක්‍රියාදාමයේ මූල පද්ධතිය මනාව පැහැදිලි කර අපේ කෘෂි ආර්ථිකය මෙන්ම වෙනත් බොහෝ මූල්‍යමය වටිනාකම් ගැන සරාංශව කතා කර තිබෙන ස්ථානයකි. එය ලෝකයාට එලිපෙහෙලි කර අප සටහන් විකිපීඩියා හා ගූගල් හරහා ඉදිරිපත් කල යුතුය. මා සිංහලෙන් ලිවූවත් අන්තර්ජාතික සඟරාවක සටහනක් දා තිබූ නිසා මිනිස් ශිෂ්ඨාචාරයට ඇලුම් කරන විදේශිකයන්ද පේජ් එකට ලයික් කර ඇත. එසේනම් තව තවත් අතපසු නොකොට අපේ ශිෂ්ඨාචාරයේ වතගොත අන්තර්ජාතිකව ප්‍රසිද්ධ කල යුතුය.
මා ඉතා ඕනෑකමින් කාරණාවක් ගැන සඳහන් කරන්නෙමි. නටඹුන් ද රුයින් පේජ් එකට ලයික් කරන්න කියා සියලුම පෝස්ට් ලයික් කරන මහත්ම මහත්මීන්ට යවා ඇත. මාගේ බලාපොරොත්තුව මෙයට සාමාජිකයින් පනස්දාහ ඉතා ඉක්මණින් ලබාගෙන ලාංකීය ඉතිහාසය වෙනුවෙන් ලොකු වැඩකොටසක් කිරීමය. එනිසා ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනුයේ, එම ඉල්ලා එවීම භාරගෙන එම පොඩි උදව්ව කරන ලෙසය.
තිලක් දිසානායක
(පින්තූර අන්තර්ජාලය මගින් සපයා ගන්නා ලදි. පින්තූර වල අයිතිය මුල් අයිතිකරුවන් සතුය)

මිහින්‍තලයමා කුඩා අවදියේ සිටම මිහින්තලයට ඉතා ලබඳියාවක් දක්වන ලදි. සාමාන්‍යපෙළ විභාගය ලි‍යා පාස් වු පසු උසස් පෙළට පෙර, කි...
21/08/2021

මිහින්‍තලය
මා කුඩා අවදියේ සිටම මිහින්තලයට ඉතා ලබඳියාවක් දක්වන ලදි. සාමාන්‍යපෙළ විභාගය ලි‍යා පාස් වු පසු උසස් පෙළට පෙර, කිසිකෙනෙක්ගේ සහායක් නොමැතිව තනියම ඇවිදීමේ අවස්ථාවක් දෙමාපියන්ට පිංසිද්ධවෙන්න මාහට ලැබුණි. එයට හේතුව සාමාන්‍යපෙළ සමත්වූ පසු මාගැන සම්පූර්ණ විශ්වාසයක් ඔවුන් මා කෙරෙහි ගොඩනගා ගැනීමය. ඉන්පසු සෑම වාර විභාගයක්ම අවසන් වූ පසු මා දුර පලාත්වල නෑදෑ ගෙවල් වල තනියම යෑම පුරුද්දක් කරගෙන සිටියේය. අපේ අම්මාගේ දෙවැනි වැඩිමහල් සහෝදරයා ජීවත්වූයේ කහටගස්දිගිලියේය. මා ගුඩ්ෂෙඩ් බස්නැවතුම්පලට පැමිණ කහටගස්දිගිලියේ යෑම සාමාන්‍ය සිද්ධියක් කරගෙන සිටියේය. ඒ ගැන දැන් හිතනවිට ඒවා පුදුමාකාර සිදුවීම්ය. මා බස් එකේ ගියවිට එහි ආ බව ගෙදරට පැවසීමට ක්‍රමයක් නොවීය. අම්මා කීවොත් ලියුමක් පෝස්ට් කල යුතුය. නැවත ගෙදර යන්නේ මට හිතුන විටය. අද සමාජය වෙනස් වී ඇති ආකාරය හිතාගන්නවත් බැරිය. අද දෙමාපියන් හා දූදරුවන් පුදුම භෞතික බැඳීමක සිටියත් ඔවුනට ආත්ම බැඳීමක් නැතිතරම්‍ ය. අප කිසිදින දෙමාපියන් සමග තර්ක කලේ නැත. අදටත් බොරුවක් නොකියන්නේය. මා දකින ආකාරයට මේ වෙනස, ආත්මාර්ථකාමීත්වය අවසානයේ දුක බවට පත්වීමය. බැඳීම්, තණ්හාව නිසා වැඩි කරගෙන ඇත. තණ්හාව, අවසානයේ ඔවුන් වෙන් කරන්නේය. තණ්හාව සමාජයට ගේන්න දැන් මූලික වෙන්නේ අම්මාය. අම්මාගේ මූලික අරමුණ නොහොත් තණ්හාව වන්නේ තම දරුවා පමණක් දොස්තර කෙනෙක් කිරීමටය. එනිසා, එකම පංතියේ ඉගෙන ගන්න ලමයෙක් එහා ගෙදර හිටියත්, පත පොත හුවමාරුව, දැනුම හුවමාරුව ඉතාමත් අල්පය.
මාමලාගෙ ගෙවල් ටවුන් එකේ වූවත් එදා එය හද්දා පිටිසර ගමක්ය. හවසට වැවේ නාන්න යෑම, පුස් බයිසිකලේ කුඹුරු ලියදි මැද වැලිපාරේ හයියෙන් පාගගෙන හුළඟ වැදෙන්න ඉගිල්ලෙන්න, හවසට මාමලාගේ ගෙදරට එන කොණ්ඩෙ බැඳපු වෙදමහත්තයාගේ කතා අහන්න මා ඉතාමත් ප්‍රිය කලේය. ඒ ගමේ මිනුසුන් අපිට සෑහෙන්න ගෞරව කලේය. ඔවුන් අපිට කතා කලේ නුවර ඈයන් ලෙසය.
මා එහි ගියපසු පසුදා උදෙන්ම අනුරාධපුරයට බස් එකේ නැග යන්නේය. එය කි.මි. 40 ක පමන දුරක්ය. ඉන්පසු පූජානගරයට ගොස් නටඹුන් සොයා ඇවිදීම පුරුද්දක් විය. පු.වි. ගසා ඇති බෝඩ් කියවා එකින් එක බලමින් තනියම ඇවිදීම ජීවිතයේ ලද පුදුමාකාර වෙනස් වූ සුන්දර අත්දැකීමක්ය. එම අත්දැකීම, එදා මගේ වයසේ බොහෝ දෙනෙක් නොලද දෙයක් විය යුතුය. එදා අපේ අතීත උරුමයන් දෑසින් දැක රජවරුන් ජීවත්වූ ආකාර මා සිහින මැව්වේය. මාත් ඔවුන් අතරේ සිටි ලෙස ඒ හීන තවත් සුන්දර කලේය. දවල් කඩේකින් මොනවා හරි කා නැවතත් දෙකට විතර ආපසු ගොස් මිහින්තලයට ගොඩවෙන්නේය. මිහින්තලය ඇත්තේ මා ආපසු යායුතු ත්‍රිකුණාමල පාරේමය. එය වෙනමම අත්දැකීමක්ය. බුදු දහම ලංකාවට ආ පරිසරය මෙතරම් සුන්දරද කියා සිතින් චිත්‍රපටියක් සේ සියලුම දේ ගොඩනගා ගන්නේය. ගලෙන් කොටා ඇති බෙහෙත් ඔරු සහ අපේ පැරණි ආරෝග්‍යශාලා සංකිර්‍ර්ණයට මා ඇලුම්කල ස්ථාන අතර විශේෂය. මිහින්තලේ සංචාරයේ මා අවසානයට කරනුයේ, මිහින්තලා ගලට වඩා ඉහලින් තිබෙන ගල්තලාවට ගොස් වාඩිවී පහල නගරේ තැනින් තැන දිස්වෙන ලයිට් එලි බලමින් අපේ අතීත ශ්‍රීවිභූතිය මනසින් බුක්තිවිදීමය. රූ 7.30, 8.00 වෙන තෙක් එහි රුදී සිට නැවත කහටගස්දිගිලියට පැමිනෙන්නේය.
මිහින්තලය මා දකින අයුරු
මිහින්‍තලය ලෝක මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් බව තව වර්ෂ දසදහසකුත් එහා අනාගතයේ ලියවෙනු ඇත. එහි වර්තමාන වැදගත්කම වන්දනාමාන කිරීම උදෙසා පමණක් වැඩි වශයෙන් කතා බහට ලක්වෙන බව මෙන්ම පොසොන් පෝයට පමණක් සිහියට නැගෙන තැනක් වශයෙන් අප බොහෝ දෙනාගේ මතකයේ රුඳී ඇත. එතනින් එහා සිතීමට අප වැඩි දෙනාගේ මනස සැදී පැහැදී නැත. එය නූගත්කම නොව, මූලික අධ්‍යාපනයේ කොටසක් ලෙස අපේ ඉතිහාසය විද්‍යානුකූලව හැදෑරීම අතපසුකොට ඇති නිසාය.
මේ සංසිද්ධිය මාගේ මතකයට පිවිසියේ, මෑතකදී අප වාසස්ථානයට වැඩම කල ආරණ්‍යගතව අමාමහ නිවන් මග අපේක්ෂා කරන මහා ශිල්වත් තරුණ ස්වාමීන් වහන්සේ නමක් කිවූ කතාවක් නිසාය. පාලි භාෂා දැනුමේ අග තැන්පත් හා බුරුමය තායිලන්තය වැනි රටවලට වැඩම කර අවුරුදු ගානක් එම රටවලින් දහම් දැනුම ලබා ඉතාමත් උසස් මනසකින් හෙබි උන්වහන්සේ සමඟ වචන කීපයක් කතා කිරීමට ලැබීමත් භාග්‍යක් ලෙස සලකමි. උන් වහන්සේ මා පුදුමයට පත්කරවූ කාරණාවක් කීවේය. එනම් තායිලන්තයේ හා බුරුමයේ උන්වහන්සේ වැඩසිටිය ස්ථානවල යම් විශේෂ බෞද්ධ උත්සව හෝ වැඩ සටහන් පැවැත්වීමේදී ලංකාව දෙසට හැරී අප රටට වැඳීමට පුරුද්දක් කරගෙන සිටින බවය. හේතුව විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ, ථේරවාදී බුදුදහම ආරක්ෂාකිරීමට ඉතා උතුම්වූ කර්තව්‍යක් වන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර පිරිසිදු බුදු දහම ආරක්ෂා කිරීමට අප මූලික වී තිබෙන නිසාය. එවේලේ මගේ හිතට නැඟුණ ප්‍රීතිය කියා නිමකිරීමට නොහැකි විය. මිහින්තලය ගැන මෙවැනි අදහසක් මගේ හිතට නැඟුණේ එම මොහොතේය.
බුදු දහම ලංකාවට වැඩම වීම හා එම දහම ආරක්ෂා කිරීම හා මනසින් උසස් යැයි ඔප්පුකල ජාතියක් ලෙස තව අවුරුදු දසදහසක් එහායින් අප ගැන කතා කරණුයේ අද අප මෙසපොතේමියා, ඉන්දු නිම්නයේ තිබූ මොහෙන්ජ ජාරෝ හරප්පා වැනි කතා වස්තූන් ලෙසය. මනසින් උසස් යැයි පැවසීමටත් යම් කාරණයක් ඇත. අප ජීවත්ව සිටියදී වැඩවුන් අති පූජණීය රේරුකාණේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේගේ බුදුදහමේ මූලික මෙන්ම අරටුව වන අභිධර්මය ගැන තිබූ අවබෝධය හා ඉන් එහා ගිය උන්වහන්සේගේ පොත් ලිවීමේ අවකාශය, අභිධර්මය මෙන්ම තේරුම් ගැනීමට අපහසු නිසාය. උන්වහන්සේ ලියා ඇති පොත් සියල්ලම ලියා ඇත්තේ එකම සෝදු පතක්වත් නොකරය. එනම් මනසින් ආ දේ එලෙසින්ම උන්වහන්සේ ලියා එලෙසම ග්‍රන්ථාරූඩ කර ඇත. එම ලිවීම කිසිම දවසක කිසිම වෙලාවක ආයේ වෙනස් කර නොමැත. මතක ශක්තිය මෙන්ම ලෝකයේ කිසිමදාක වෙනස් නොවන ස්ථාවර ගැඹුරු සත්‍යය එලෙස එලිදැක්වීම අදහා ගැනීමට අපහසුය. යම්දවසක අප කව්රුන්ද යන්න ලෝකයා මෙයින් දැන ගනු ඇත.

මිහින්තලයේ නෂ්ඨාවශේෂ
අප වංශකතා වලට අනුව මිහිඳුමහ රහතන් වහන්සේ බුදු දහම රැගෙන ලංකාවට වැඩම කලේ කි.පු. 247 දීය. අප කව්රුත් දන්න පරිදි එකල ලංකාව පාලනය කලේ දේවානම්පියතිස්ස රජතුමාය. මිහිඳුමහ රහතන් වහන්සේට අප රජතුමා මුණ ගැසෙනුයේ මෙම කඳු ශිඛරය මතය. බුදුදහම දිවයින තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වනුයේ රාජ අනුග්‍රහය නිසාය. එකල රජ කෙනෙකුගේ අණ හොඳ හෝ නරක වේවා ක්‍රියාත්මක කලයුතුය. චීන මහායාන ෆාහියන් ස්වාමීන්වහන්සේ කි.ව. 500 යදී ලංකාවට වැඩම කල අවස්ථාවේදී මිහින්තලය ගැනද සටහනක් තබා ඇත. එනම් එදා භික්ෂූන් වහන්සේලා 2000ක් පමණ එහි වැඩ සිටි බවය. එහි මුල් කතාවස්තුවත් සමග මෙම ස්ථානය විශාල සේනාසනයක් ලෙස සඟ සතුවී තිබූ බවත් සියලු පහසුකම් වලින් යුත් අංගසම්පූර්ණ සේනාසන සංකීර්ණයක් බවය.
එසේම මෙම ස්ථානය කලින් කලට එක් එක් රජවරු විසින් ස්ථානය වැඩිදියුණු කරමින් යම් යම් අංග එක් කර ඇත.
එක් එක් කාලපරිච්ජේදයනට අයත් ස්ථූප විශාල ප්‍රමාණයක් තිබීමත්, ආරෝග්‍යශාලා, පුස්තකාල, භෝජනාගාර,දානශාලා,ආහාර ගබඩා, ජල තටාංග, ජල ප්‍රවාහන පද්ධති, භාවනා උපකාරක ලෙන්, විශ්වවිද්‍යාල, නොයෙකුත් ආකාරයේ විශේෂිත සෙල්ලිපි, ආදී අංග සම්පූර්ණ මෙවැනි අධිතාක්ෂණික ජනාවාස සංකීර්ණ ලෝකයේ කොහේවත් සොයා ගැනීමට නොහැකිය. එයින් වඩාත් විශේෂිතවන්නේ මෙහි අදත් දැකිය හැකි ආරෝග්‍යශාලා සංකීර්ණයය. එය දේශීය වෙදකමට අනුව භික්ෂුන් වහන්සේලාගේ හා සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සකසා ඇත. මෙසේ හමුවන ලෝකයේ ඇති එකම මෙන්ම පළමු ආරෝග්‍යශාලාව මෙය විය හැක.

තිලක් දිසානායක

(පින්තූර අන්තර්ජාලය මගින් සපයා ගන්නා ලදි. පින්තූර වල අයිතිය මුල් අයිතිකරුවන් සතුය)

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when නටඹුන් Ruins & Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to නටඹුන් Ruins & Nature:

Share