02/06/2024
අටමස්ථාන කම්පනය වූ වගයි.
ස්වභාවදහම අනාත්මය. කිසිම කෙනෙක් එය පාලනය නොකරන්නේය. එයට සරිලනසේ ගහකොල සත්වයා බිහිවී එම තත්වය පවත්වා ගැනීමේ කාර්යභාරයක් අනාත්මවම සිදුවෙන්නේය. අප මහාකාරුණික බුදුරජාණන්වහන්සේ සොයාගත් විශ්මිත දෙයත් එය වන්නේය. එය ඉතාමත් සරල බව වැටහෙන්නේ එය මනාව අවබෝධකර ගත් අයට පමණි. ඒ මහා බෝසතාණන් ස්වභාවධර්මය ඇතිසැටියෙන් එසේම සොයාගෙන, කවිරුවත් පාලනය නොකරන එම ක්‍රියාවලිය ආපස්සට හරවා, එම ක්‍රියාවලියෙන් මිදුනේය, නැතහොත් සංසාරගමන නැවැත්වුයේය. ඒ කාරණය පසක්කර ගැනීමට බුදුරජාණන්වහන්සේ සොයා ගත් කරුණු තුන වන්නේ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රී ලක්ෂණයය. අනිත්‍ය යනු ඇතිවී ඒ සැණින් නැසෙන බවය, දුක්ඛ යනු කිසිදෙයක් ඉතිරි නොවී විනාශ වී යන බවය. අනාත්ම යනු එය කිරීමට කිසිකෙනෙකු නොමැති බවය. මෙය බුදුකෙනෙකු පමණක්ම දන්නා කාරණාවක්ය. බුදුකෙනෙකු සොයාගනු ලබන්නේ එයය. එසේ සොයාගනු ලැබූ එම සත්‍ය අප රටේ ජනයා නිසිලෙස හදුනාගෙන මේ සංසාරයෙන් එගොඩ ගිය ලක්ෂ ගණනක රහතුන් වහන්සේලා වැඩ සිටිය මහා පුදබිම නේද යන්න නොදැන මේ මහා නගරය නිර්මාණය කල මහා නිර්මාණ කරුවන් ගැන සිතමින්, ඔවුන් මගේ මුතුන් මිත්තන් නොවේද? ඇයි මාහට එසේ කිරීමට බැරි යන්නෙන්, මහාපරිමාණයෙන් සිතීමට ඉගෙන ගත්තෙමි. (මා අවුරුදු 14 පමණ සිට, පාසල් නිවාඩුවක් ලැබුන විට නෑදෑ නිවසකට පැමිණ අටමස්ථානයේ උදේ සිට පුරාවිද්යා පුවරු කියවමින් ඇවිදීම ජීවිතයේ අංගයක් කරගෙන සිටියේය).
අනුරාධපුර යුගය අප මව්බිමේ ස්වර්ණමය යුගයක් විය. එය අදට අවුරුදු 2460 කට එහා ගිය කාල වකවානුවක් තුල අපගේ රාජධානියක් විය. මහා විහාරය, අභයගිරි විහාරය සහ ජේතවනාරාම විහාරයමෙන්ම මිහින්තලා ආරන්‍යසේනාසනා සහ අනෙකුත් අප බෞද්ධ ස්ථානවල ලෝකයේ කොහේවත් නොතිබුණ විශේෂිත කරුණක් විය. එනම් අප තුන් විහාරවල පමණක් රහතන්වහන්සේලා හතලිස්දාහක් පමණ වැඩ සිටි ඒ ආශ්චර්‍යමත් කාරණාවය. මහාවිහාරයේ රහතුන් වහන්සේලා විසිදාහක් සිටියත්, මහා විහාරයේ ඇතුලත භූමි ප්රමාණය මෙන් දෙගුණයක් පමණ අභයගිරිය මහා විහාරයේ තිබීම මෙන්ම රහතුන් වහන්සෙලා දහදාහක් පමණක් එහි වැඩ සිටීම මාහට මේ ලගදී ප්‍රශ්නයක් ඇතිකලේය. එය අමතක කලත් මාහට අමතක කල නොහැකි මහා කලකිරීමක් හිතට දැණින. මා නැවතත් අටමස්ථාන දැක බලාගැනීමට දවස් කීපයකට උඩදී ගියෙමි. රුවන්වැලිසෑය මිත්‍යාදෘෂ්ඨිකයින් අරක්ගෙන තිබුණත් බාර ගැට ගැසීමට තැනක් දැන් වෙන්කර ඇත්තේය. අයකැමියන් ඔලුවට දාන නෙට් එකක් පැලැද භක්තිකයන් පිරිසක් සඟරුවනක් සමග මොනවාදෝ කරමින් සිටියේය. පැයක් ඇතුලත කප්රුක වන්දනා තුනක් දැකබලා ගැනීමට හැකි විය. තැනින් තැන එක් එක්කෙනාගේ අදෝණාවන්ය. සඟපරපුරත් මල්, තෙල් සුවද දෝතින් ගෙන චෛත්‍ය වටා බුදුරජුන් ලගා කරගත් හා ලබපු දේ ගැන කියවමින් ගාථා, කවි හා ගී මෙන්ම ගායනා කරන්නේය. මෙහෙණින් වහන්සේනමක් මා අසලින් සිට ඉතාමත් හොදින් ගාථා ගායනා කලාය. මේ අසා සිටි හා දැකබලා සිටි මාහට මෙය ලිවීමටම සිතිනි. මෙසේ සංඝරත්නය මල් තෙල් අතැතිව චෛත්‍යය වටා සක්මන් කිරීම බුදුන් සරණ යෑමක්ද? නැත, බුදුන් සරණ යෑම යනු බුදුරජාණන් වහන්සේ අපතුලින් දැකීමය. එනම් ඔහුගේ ගුණය අපවිසින් සකසා ගත යුතුය. ඒ සදහා, චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අෂ්ඨාන්ගික මාර්ගය, මෙන්ම පටිච්ච සමුප්පාදය තුලින් ප්‍රඥාව දියුණු කල යුතුවේ. ඉන්පසු විදර්ශනාව හෙවත් සතර සතිපට්ටානයෙන් සියලු කෙලෙස් දුරු කල යුතුවේ. අඩුම වශයෙන් සංඝයා බුදුන්ගේ ශ්‍රාවකයෙක් හෙවත් සෝවාන් මාර්ගයේ සිටින පුද්ගලයෙකු විය යුතුය.
මා බොහෝ කාලයක් නිහඩව සිටියෙමි. වැඩ අධික බවත් නිකරුණේ අකුසල් සිත් නොඇති කර ගැනීමත් පරමාර්ථය විය. ඒත් මේ පිංබිමට කුමක් සිදුවී ඇත්ද? අප තේරුම් ගත යුත්තේ එය කිරීමට කිසිදු කෙනෙක් නොමැතිබවත් එය ස්වභාවධර්මයෙන්ම සිදුවන බවය. එනම් මේ බුද්දධර්මයත් අනිත්‍ය බවය.
අභයගිරිය පැත්තට ගියවිට තත්වය ඉතාමත් දරුණුය. එය හින්දු කෝවිලක් වී හමාරය. මා අසල සිටි ස්වාමීන්වහන්සේ නමක් පොල්ගෙඩියක් අත තියාගෙන සිටියේය. දොරටුව දෙපැත්තේ රතු සහ සුදු යනුවෙන් දේවාල දෙකකි.එහි සිටි කපුමහතුන් දෙදෙනා බෞද්ධයන්ගේ බාර හාර සල්ලිවලට ඔප්පුකරන්නේය. අපට කුමක්වී තිබේද? කුරින්දි විහාරය හින්දුන් අල්ලා ගනියි යන බයට සෑහෙන ආගමික භක්තිකයන් කතා කරන්නේය. ඒත් අභයගිරිය බහිරවයා ගිලගෙනය. සංචාරක මගපෙන්වන මහතෙකු විදේශිකයන් දෙදෙනෙකු සමග සිටියේය. මා ඔහු සිටි තැනට ගොස් විමසූයේ ඔබ මේ අයට මේ ස්ථානය හින්දු කෝවිලක් ලෙස නේද පෙන්වන්න තියෙන්නේ කියා. ඔහු ඉතාමත් සංවේදීව, වෙලා තිබෙන විනාශය මා සමග කුලූපගව කතා කලේය. අභයගිරියේදී මා කතාකල සංචාරක මග පෙන්වන මහතා සමාධි පිලිම වහන්සේ ලගදී නැවතත් මට මුණ ගැසුනේය. අප අමතක නොකල යුතු කරුණක් තිබේ. මෙවැනි ස්ථානවලට පැමිණෙන බොහෝ විදේශිකයන් බුදුදහම වැලදගෙන සිටින අයයි. ඔවුන්ගේ දැනුම ඉතාමත් ඉහල තැනකය. මා මෙය දන්නේ අත්දැකීමෙන්ය.
ශ්‍රී මහා බෝධියට ගියෙමි. එයත් හින්දු ආගමික ස්ථානයක් වී හමාරය. එහි වරින් වර කපුවන් හතර දෙනෙකු මිනිසුන්ගේ භාර ඔප්පු කරමින් සල්ලි එකතු කර ගන්නේය. මෙම හින්දු විපර්යාසය සිදුවී ඇත්තේ අටමස්ථාන පරිපාලකයන්ගේ සෘජු අනු දැනුම මතය. ප්‍රධාන හේතුව සල්ලි හම්බකිරීමය. එසේනම් බුදුරජාණන්වහන්සේ සොයාගත් ධර්මය කොහෙද? අප බෞද්ධයන්ගෙන් 99.99%ක් බෞද්ධයන් නොවන්නේය. අප අතර සිටින බොහෝ දෙනා මිත්‍යාදෘෂ්ඨිකයින්ය. එය ආයුධයක් කර යොදා ගන්නා ආගමික නායකයන් බුදුදහම විනාශ කරමින් සිටින්නේය.
නිසි බලධාරින් මේ ගැන සොයා බැලිය යුතුය. මහනුවර දළදා මාලිගාවේ තත්වයත් එයමය. බුද්දධර්මය දන්නා හා සොයගෙන මෙහි පැමිණෙන විදේශිකයන් නොමග යැවෙන්නේය. මාලිගාවට කුඩා පිරිමි දරුවෙකුවටවත් දිග කලිසමක් නොමැතිව ඇතුලට යා නොහැකිය. විදේශිකයෙක් මාගෙන් ඇසුවේ උබලා අදහන්නේ මුස්ලිම් ආගමද කියාය. මෙසේ ඉතාමත් සත්‍ය වූ සහ පිරිසිදු බුදුදහම මිත්‍යාවක්මත ගොඩනැගී අපේ මූලික ආගමික කේන්ද්‍රස්ථාන වල එය විනාශ කිරීමට දීම බෞද්ධයෙකු හැටියට මා අනුමත නොකරන්නේය.
තිලක් දිසානායක