19/08/2026
ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය: ආනයනකරුවන් සහ ව්යාපාරික ප්රජාව දැනුවත් කිරීමේ වැඩසටහන
ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරන ලද "ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 18 වැනි අඟහරුවාදා ලංකා වාණිජ මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන විශේෂයෙන්ම ආනයනකරුවන් සහ ව්යාපාරික ප්රජාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කර තිබුණි.
වැඩසටහනේ පිළිගැනීමේ කතාව ලංකා වාණිජ මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී සහ මහලේකම් ශිරාන් ප්රනාන්දු මහතා විසින් සිදු කරන ලදී. ඉන් අනතුරුව, වැඩසටහනේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා විසින් ප්රධාන දේශනය පවත්වන ලදී.
එහිදී ඒ මහතා රජයේ ඩිජිටල්කරණ ප්රතිපත්තිය සහ ආදායම් පරිපාලන ප්රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) කාර්යභාරය පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේය. කඩදාසි රහිත රේගු ප්රකාශන ව්යාපෘතිය මඟින් වෙළෙඳ ක්ෂේත්රයට සැලසෙන පුළුල් ප්රතිලාභ සහ මෙම ව්යාපෘතිය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමේ ඇති වැදගත්කම ද අරුක්ගොඩ මහතා විසින් මෙහිදී අවධාරණය කරන ලදී. තවද, මෙම ව්යාපෘතිය නියමිත දිනට ක්රියාත්මක කිරීමට සමගාමීව පද්ධති සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශයේ (ICT Directorate) නිලධාරීන්ගේ කැපවීම සහ මහන්සිය එතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය.
ප්රධාන දේශනයෙන් අනතුරුව, LankaPay ආයතනයේ සහ ශ්රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් තාක්ෂණික සැසියක් මෙහෙයවන ලදී. එහිදී ඩිජිටල් අත්සන යනු කුමක්ද, එය ලබාගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්රකාශන (Customs Declarations) ඉදිරිපත් කිරීමේදී එය ප්රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහභාගී වූවන් පුළුල්ව දැනුවත් කෙරිණි.
වැඩසටහන අවසානයේදී විශේෂ සාකච්ඡා සැසියක් ද පැවැත්වුණු අතර, එහිදී පැනනැඟිය හැකි ගැටලු සහ ප්රායෝගික අපහසුතාවන් සම්බන්ධයෙන් ව්යාපාරික ප්රජාවට ප්රශ්න යොමු කිරීමට අවස්ථාව සලසා තිබුණි. අදාළ නිලධාරීන් විසින් ඒ සඳහා අවශ්ය පැහැදිලි කිරීම් සහ නිරවුල් කිරීම් ලබා දෙමින් නව ක්රමවේදය වෙත සාර්ථකව අනුගත වීම සඳහා අවශ්ය සහාය ලබා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා, ආදායම් පරිපාලන ප්රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) අධ්යක්ෂවරුන්, ලංකා වාණිජ මණ්ඩලයේ ප්රධාන විධායක නිලධාරී ඇතුළු එහි නිලධාරීන්, ශ්රී ලංකා රේගුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන්, LankaPay ආයතනයේ නියෝජිතයින් මෙන්ම ආනයනකරුවන් , කාගෝ නියෝජිතයන් සහ ව්යාපාරික ප්රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.