25/01/2020
කොරෝනා වෛරසය කියන්නේ මොකද්ද? ඒක අලුත් දෙයක්ද?
කොරෝනා වෛරසය කියන්නේ ක්ෂීරපායී සතුන්ගේ දකින්නට ලැබෙන වෛරස පවුලක්. මේ අතරින් වර්ග 6ක් මේ වන විට මිනිස්සුගෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් වෛරස 2ක් මීට වසර ගණනාවකට කලින් වසංගත තත්වයෙන් ලෝකයේ පැතිර ගොස් තිබෙනවා.
1. Middle East Respiratory Syndrome (MERS) : 2012 දී ඔටුවන් හරහා
2. Severe Acute Respiratory Syndrome (SARS) : 2002 දී මුගටියන් වර්ගයක් (Civet Cat) හරහා
අලුත් කොරෝනා වෛරසය මොකද්ද?
අලුත් කොරෝනා වෛරසයෙන් ආසාදනයවූ මුල්ම මනුෂ්‍යයා සොයා ගැනුනේ 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නුවරින්. ඒ වෛරස වර්ගය මීට පෙර මිනිසුන්ගෙන් වාර්තා වෙලා තිබුනේ නෑ. එබැවින් එය 2019 Novel Coronavirus (2019-nCoV) ලෙස නම් කළා.
ඒක කොහෙන්ද ආවේ?
මේ ගැන විවිධාකාර මත ගොඩනැගුනා. සාමාන්‍යයෙන් චීන ජනයා විවිධාකාර සතුන් ආහාරයට ගන්නා නිසා ඒ හරහා පැමිණි බවට සැක කෙරුණා. නමුත් මේ වන විට අදාළ වෛරසයේ මුලු ජීනෝමය අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
(https://www.ncbi.nlm.nih.gov/nuccore/MN908947)
ඒ අනුව මෙම වෛරසය වවුලන්ගෙන් පැමිණි කොරෝනා වෛරසයකට වැඩි නෑකමක් කියන බව ඔප්පු වී තිබෙනවා.
රෝගයේ ව්‍යාප්තිය?
මුලින් චීනයේ වුහාන් නුවරින් ආරම්භවූ මෙය අද වන විට තවත් රටවල් 10කට (තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව, නේපාලය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඕස්‍ට්රේලියාව, මැලේසියාව) පැතිරී තිබෙනවා. මේ වන විට රෝගීන් 1370කුත් මරණ 41කුත් වාර්තා වෙලා තියෙනවා. වුහාන් නගරය සහ හවුන්ගැන්ග් නගරය ගිය සතිය වන විටදී රෝගය පැතිරීම වැලැක්වීමට වසා දමන්නට (lockdown) චීනය තීරණය කළා. මේ වන විට එම නගර වලින් පිටවන්නට හෝ ඊට ඇතුල් වන්නට කිසිම හැකියාවක් නෑ.
රෝග ලක්ෂණ?
මූලිකවම මේ රෝගය ආසාදනය වන්නේ ශ්වසන පද්ධතියටයි. ඒ අනුව කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ ඇති වෙන්න පුලුවන්. පසුකාලීනව ශ්වසන අපහසුතා සහ නියුමෝනියා තත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
රෝගය පැතිරෙන්නේ කොහොමද?
දැනට මිනිසාගෙන් මිනිසාට ශ්වසන පද්ධතිය හරහා පැතිරීම සිදුවන බවට තහවුරු කරගෙන තිබෙනවා. ඒ සෙම බිඳිති (respiratory droplets) වශයෙන් සුලඟ හරහා. ආසාදනයවූ අයෙක් කිවිසුමක් ඇරියොත් මේ සෙම බිඳිති විශාල ප්‍රමාණයක් අවට පරිසරයට මුදාහැරෙනවා. පැතිරීමට සජීවී වාහකයෙක් අවශ්‍යයි. ප්‍රශස්ත පරිසරයකදී පැය 24-36ක් වැනි කාලයකට වඩා වෛරසයට තනිව ජීවත් වීමට නොහැකියි.
රෝගය පැතිරීම පාලනය කරන්න අපිට කරන්න පුලුවන් මොනවාද?
ඕනෑම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකදී කරන්න ඕන දේවල් එකයි.
1. කහින විට කිවිසුම් අරින විට මුඛය සහ නාසය ලේන්සුවක්/වැලමිට ආධාරයෙන් ආවරණය කරගන්න.
2. පුරුද්දක් විදියට අත් සබන්/alcohol based hand rub යොදා සෝදන්න. ආසාදිත අයෙක් ස්පර්ශ වුනොත් වෙන කොහෙවත් අල්ලන්න කලින් අනිවාර්යයෙන්ම අත් සෝදන්න. මුහුණ අල්ලන්න එපා.
3. සෙනඟ අතර ගැවසෙන එක අඩු කරන්න. විශේෂයෙන් ගුවන්තොටුපොලවල් වගේ වැඩි අවදානමක් සහිත ස්ථාන.
4. ආසාදිතයින් හැකි සෑම අවස්ථාවකම මඟහරින්න.
5. සත්ව ආහාර හොඳින් පිස ආහාරයට ගන්න. අමු ආහාර ගැනීමෙන් වළකින්න.
6. සත්ව ගොවිපළවල් ආශ්‍රිත ප්‍රදේශ මඟහරින්න.
7. ආසාදිතයෙක් නම් මුහුණු ආවරණයක් (face mask) භාවිතා කරන්න.
8. රෝග ලක්ෂණ දින තුනකට වැඩිනම්, විශේෂයෙන් ශ්වසන අපහසුතා ඇත්නම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ලංකාවේ තත්වය මොකද්ද? අවදානමක් තිබෙනවාද?
මේ වන විට කිසිම රෝගියෙක් වාර්තාවී නෑ.
නමුත් අවදානමක් තිබෙනවා. ප්‍රධානම හේතුව ලංකාවේ සැලකිය යුතු සංඛ්‍යාවකින් චීන ජනයා ජීවත් වන නිසා. ඔවුන් නිතර යන එන නිසා පහසුවෙන් මේ රෝගය ආසාදනය වූ අයෙක් අපේ රටට ඇතුල් විය හැකියි. මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ උණ රෝගීන් හඳුනාගැනීමේ ස්කෑන් යන්ත්‍ර සවිකර තිබෙනවා. නමුත් මතක තබා ගත යුතු වන්නේ මේ රෝගය ආසාදනය වී දින 14ක් වැනි කාලයක් රෝග ලක්ෂණ ඇතිවීමට ගත වෙන බව. එම නිසා මුල් අවදියේදී රෝග වාහකයින් අප රටට ඇතුල්වීමට වැඩි ඉඩක් තිබෙනවා.
ප්‍රතිකාර?
වෛරස් රෝග බහුතරයකට ප්‍රතිකාර නෑ. ඒවා සුව වන්නේ දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින්. සුව වනතුරු රෝහලක රඳවාගෙන රෝග ලක්ෂණ වලට ප්රතිකාර කිරීම සිදු කළ හැකියි. තවමත් මේ සඳහා එන්නතක් නිපදවා නෑ.
බය වෙන්න ඕනද?
වැදගත් ප්‍රශ්නයක්. මගේ පුද්ගලික මතය මීට වඩා ලංකාවේ අපි බය වෙන්න ඕන ලෙඩ තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් Influenza රෝගයත් මේ වන විට ලංකාවේ පැතිර යනවා. ඒ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බව තවමත් අඩු තත්වයක තිබෙන්නේ. මේ රෝගයෙනුත් මිනිස්සු මිය යන්නට හැකියාව තිබෙනවා. මේ සියලු ශ්වසන පද්ධතිය හරහා වැලඳෙන රෝග පාලනය බොහොම පහසුයි.
බය වෙන්න ඕන අය කවුද?
ඕනෑම වෛරස් රෝගයකදී දේහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් වැඩි වශයෙන් කල්පනාකාරී විය යුතුයි.
» කුඩා දරුවන්
» ගර්භණී කාන්තාවන්
» අනෙකුත් දීර්ඝකාලින රෝග සහිත අය (හෘද රෝග වැනි)
» වියපත් අය
සමාජ මාධ්‍ය විසින් මෙය අනවශ්‍ය ආකාරයට උලුප්පවා පෙන්නන්නට උත්සාහ දරනවා. හැකි සෑම විටෙකම පිළිගත් වෙබ් අඩවි (පහළින් සඳහන් කර ඇත) වලින් තොරතුරු ලබාගන්න.
අත් සෝදන්න. ලේන්සුවක් පාවිච්චි කරන්න. ආසාදිතයන් මඟහරින්න. සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.
ගැටලු, අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න.
UPDATE :
News 1st (26/01/2020) : බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් සිව්දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි.
News 1st (25/01/2020) : කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.
නවතම තොරතුරු සඳහා : https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/situation-reports
https://www.cdc.gov/coronavirus/2019-ncov/locations-confirmed-cases.html
මූලාශ්‍ර:
https://www.cdc.gov/coronavirus/
https://www.who.int/health-topics/coronavirus
https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(20)30183-5/fulltext
වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS) | 26-01-2020