22/05/2026
අයින්ස්ටයින්ටත් වැරදුණ, විද්‍යාවේ ලොකුම අභිරහස 🚀✨
ඔබ දන්නවද අපේ විශ්වයේ තියෙන උපරිම වේග සීමාව මොකක්ද කියලා? ඒ තමයි ආලෝකයේ වේගය. තත්පරයට කිලෝමීටර් 300,000 ක්! ඇල්බට් අයින්ස්ටයින් වගේ ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෝ පවා කිව්වේ මේ විශ්වයේ කිසිම දේකට මේ වේගය පහුකරගෙන යන්න බෑ කියලා.
හැබැයි, 1935 දී අයින්ස්ටයින්ම කරපු එක පරීක්ෂණයකින් ලෝකෙම හොල්ලන දෙයක් එළියට ආවා. ඒ තමයි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව මේ ආලෝකයේ වේගය කියන නීතිය කැඩෙනවා කියන එක! ඒ කියන්නේ ආලෝකයටත් වඩා වේගයෙන්, හරියටම කිව්වොත් ක්ෂණිකවම එක තැනක ඉඳන් තව තැනකට බලපෑම් කරන්න පුළුවන් දේවල් විශ්වයේ තියෙනවා.
ගොඩක් අය හිතුවේ අයින්ස්ටයින්ට දැන් වයසයි, එයාට මේ අලුත් විද්‍යාව තේරෙන්නේ නෑ කියලා. හැබැයි අවුරුදු 30 කට පස්සේ විද්‍යාඥයෝ මේක ඇත්තටම පරීක්ෂා කරලා බැලුවාම ඔක්කොමල්ලා පුදුම වුණා. ක්වොන්ටම් විද්‍යාව ඇත්තටම මේ විශ්වයේ නීති කඩලා දානවා! අපි බලමු මේ භෞතික විද්‍යාවේ තියෙන බයම හිතෙන ඒ වගේම ගොඩක් අය වැරදියට තේරුම් අරන් තියෙන මේ පරීක්ෂණය ගැන. 🌌🔍
මේ කතාව තේරුම් ගන්න අපි පොඩි උදාහරණයකින් පටන් ගමු. හිතන්න අපේ ඉර එකපාරටම අතුරුදහන් වුණා කියලා. එතකොට අපේ පෘථිවියට මොකද වෙන්නේ? ☀️🌍
අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයට අනුව, ඉර නැතිවුණ ගමන්ම ඒකේ ගුරුත්වාකර්ෂණයත් නැතිවෙලා යනවා. ඒ කියන්නේ ඒ තත්පරේම පෘථිවිය කක්ෂයෙන් ගැලවිලා අභ්‍යවකාශයට විසිවෙලා යනවා. ඒ කියන්නේ ඔහුට අනුව මේ බලපෑම ක්ෂණිකයි.
හැබැයි අයින්ස්ටයින් 1905 දී කිව්වේ මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. එයාට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නේ කාල-අවකාශයේ ඇතිවෙන නැමීමක්. ඉර නැතිවුණාම ඒකෙන් ඇතිවෙන තරංගය ආලෝකයේ වේගයෙන් ඇවිත් පෘථිවියට වැදෙන්න විනාඩි 8 ක් යනවා. ඒ කියන්නේ ඉර නැතිවෙලා විනාඩි 8 ක් යනකන් පෘථිවියට කිසිම දෙයක් දැනෙන්නේ නෑ!
මේකට හේතුව තමයි මේ විශ්වයේ කිසිම බලපෑමකට ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන්න බැරි වීම. මේකට භෞතික විද්‍යාවේ කියන්නේ "Locality" (ස්ථානීයතාවය) කියලා.
අයින්ස්ටයින් මේ විදිහට සාපේක්ෂතාවාදය හැදුවාට පස්සේ, අලුතින් ආපු ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන අධ්‍යයනය කළා. ඒකෙදී එයා දැක්කා මේ අලුත් විද්‍යාව අර එයා හදපු "Locality" නීතිය සම්පූර්ණයෙන්ම කඩනවා කියලා. 🔬🤯
1927 පැවැත්වුණ Solvay Conference (සොල්වේ සමුළුව) කියන්නේ ලෝකේ හිටපු සුපිරිම විද්‍යාඥයින් ඔක්කොම එකතු වුණු තැනක්. එතනදී අයින්ස්ටයින් ලෝකෙට අමුතුම ප්‍රශ්නයක් ගෙනාවා.
"හිතන්න අපි ඉලෙක්ට්‍රෝනයක් එක හිඩැසක් හරහා යවනවා. ක්වොන්ටම් විද්‍යාවට අනුව මේ ඉලෙක්ට්‍රෝනය යන්නේ තරංගයක් විදිහට. මේක තිරයක වැදුණාම අපි ඉලෙක්ට්‍රෝනය එක තැනකින් දකිනවා. හැබැයි එතකොටම අර මුළු අවකාශය පුරාම පැතිරිලා තිබුණු තරංගය එක තත්පරෙන් නැතිවෙලා යනවා. ඒ තරංගය අතුරුදහන් වෙන්න ඕනේ ආලෝකයේ වේගයෙන් වුණත්, මේක වෙන්නේ ක්ෂණිකවමයි!"
මේකෙන් අයින්ස්ටයින් ඔප්පු කළා ක්වොන්ටම් විද්‍යාව කියන්නේ "Non-local" (අස්ථානීය) විද්‍යාවක්, ඒ කියන්නේ ආලෝකයට වඩා වේගයෙන් දේවල් වෙන විද්‍යාවක් කියලා. අයින්ස්ටයින් මේකට කිව්වේ "Spooky action at a distance" කියලා.
අයින්ස්ටයින්ගේ මේ කතාවට ක්වොන්ටම් විද්‍යාවේ පියා වගේ හිටපු නීල්ස් බෝර් සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. බෝර් ගෙනාපු "Copenhagen Interpretation" එකට අනුව, ඉලෙක්ට්‍රෝනයක් දිහා අපි බලන්න කලින් ඒක කොහේද ඉන්නේ කියලා අහන එකම තේරුමක් නැති ප්‍රශ්නයක්. තරංගය තමයි අපිට දැනගන්න පුළුවන් උපරිම දේ. ⚡🥊
අයින්ස්ටයින් මේකට කොහෙත්ම කැමති වුණේ නෑ. එයාට ඕනේ වුණේ මේ ක්වොන්ටම් විද්‍යාව අස්සේ හැංගිලා තියෙන ඇත්තම කතාව (Local theory) මොකක්ද කියලා හොයාගන්න.
1935 දී අයින්ස්ටයින්, එයාගේ ගෝලයෝ දෙන්නෙක් වුණු Podolsky සහ Rosen එක්ක එකතුවෙලා ලෝක ප්‍රසිද්ධ EPR Paper කියන පර්යේෂණ පත්‍රිකාව එළියට දැම්මා. මේකෙන් තමයි අද ලෝකයම කතා වෙන Quantum Entanglement කියන සංකල්පය මුලින්ම එළියට ආවේ.
මොකක්ද මේ Quantum Entanglement කියන්නේ? 🌀🔗
හිතන්න ලොකු ශක්තියක් තියෙන ෆෝටෝනයක් එකපාරටම කෑලි දෙකකට කැඩෙනවා. එකක් ඉලෙක්ට්‍රෝනයක්, අනිත් එක පොසිට්‍රෝනයක් (Positron - ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝනයක්).
මේ අංශු දෙකටම තමන්ගේම භ්‍රමණයක් තියෙනවා. නීතියක් තියෙනවා මේ දෙන්නාගේ මුළු භ්‍රමණය බිංදුව වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය කැරකෙන්නේ එක පැත්තකට (උදා: Up / +) නම්, පොසිට්‍රෝනය අනිවාර්යයෙන්ම අනිත් පැත්තට (Down / -) කැරකෙන්න ඕනේ. මේ විදිහට එකිනෙකාට බැඳිලා තියෙන අංශු වලට තමයි අපි Entangled particles (පැටලුණ අංශු) කියලා කියන්නේ.
ක්වොන්ටම් විද්‍යාවට අනුව, අපි මේ ඉලෙක්ට්‍රෝනය මනිනකන් ඒක + ද - ද කියලා කියන්න බෑ. ඒක අවස්ථා දෙකේම ඉන්නවා. හැබැයි අපි ඉලෙක්ට්‍රෝනය මැනලා ඒක + කියලා දැක්ක ගමන්, අර පොසිට්‍රෝනය කොච්චර ඈතක හිටියත් ඒ තත්පරේම ඒක - බවට පත්වෙනවා!
මේක තමයි අයින්ස්ටයින් පෙන්වපු ලොකුම ප්‍රශ්නය. හිතන්න ඔයා මේ පොසිට්‍රෝනය ආලෝක වර්ෂ ගාණක් ඈතට යවනවා කියලා. ඔයා මෙහේ ඉඳන් ඉලෙක්ට්‍රෝනය + කියලා මැනපු ගමන්, අර ආලෝක වර්ෂ ගාණක් ඈතින් ඉන්න පොසිට්‍රෝනයට කොහොමද තත්පරෙන් පණිවිඩයක් යන්නේ "මම + වුණා, ඔයා ඉක්මනට - වෙන්න" කියලා? ඒ පණිවිඩය යන්න ආලෝකයටත් වඩා වේගයෙන් යන්න ඕනෙනේ! 📦🔐
අයින්ස්ටයින් කිව්වේ මේක වෙන්න බැරි දෙයක් කියලා. ඒ වෙනුවට එයා ලේසි උත්තරයක් ගෙනාවා.
"මේ අංශු දෙක මුලින්ම වෙන් වෙද්දීම, එයාලා කතා කරගන්නවා කවුද + වෙන්නේ කවුද - වෙන්නේ කියලා. ඒ තොරතුර අංශු දෙක ඇතුළෙම හංගගෙනයි එයාලා යන්නේ. ඒ නිසා එකක් මනිද්දී අනිත් එක අමුතුවෙන් පණිවිඩ යවන්න ඕනේ නෑ, ඒක කලින්ම දන්නවා එයා වෙන්න ඕනේ මොකක්ද කියලා."
මේක ඇහුවාම හැමෝටම හිතුණේ අයින්ස්ටයින් හරි, ක්වොන්ටම් විද්‍යාව කියන්නේ අසම්පූර්ණ විද්‍යාවක් කියලා.
අවුරුදු 30 ක් යනකන් මේක නිකන්ම නිකන් වාදයක් විතරක් වෙලා තිබුණා. මොකද අයින්ස්ටයින් මොකක් කිව්වත්, ක්වොන්ටම් විද්‍යාවෙන් කිව්වත් අන්තිම උත්තරේ අරකමයි. ඉතින් විද්‍යාඥයෝ මේක ගණන් ගත්තේ නෑ. 🧪📏
හැබැයි 1964 දී ජෝන් බෙල් කියන භෞතික විද්‍යාඥයා මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එයා අර අංශු මනින යන්ත්‍රය (Stern-Gerlach machine / Polarizers) එකම පැත්තකට තියන්නේ නැතුව අංශක 0, 120 සහ 240 විදිහට පැති 3 කට කරකවලා මනින්න පුළුවන් අලුත් පරීක්ෂණයක් (Bell's Theorem) හැදුවා.
මේ පරීක්ෂණයේදී අංශු දෙක මනින පැති දෙක වෙනස් වුණොත්, ඒ දෙන්නාගේ උත්තර අසමාන වෙන ප්‍රතිශතය කොච්චරද කියලා තමයි බැලුවේ.
ක්වොන්ටම් විද්‍යාවට (Non-local) අනුව: මේ අසමානතා ප්‍රතිශතය 25% යි.
අයින්ස්ටයින්ගේ කතාවට (Local hidden variables) අනුව: මේ ප්‍රතිශතය අනිවාර්යයෙන්ම 33% ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.
අන්තිමට 1980 ගණන් වලදී Alain Aspect කියන විද්‍යාඥයා ප්‍රංශයේදී ෆෝටෝන පාවිච්චි කරලා මේ පරීක්ෂණය ඇත්තටම කරලා බැලුවා. (2022 දී මේකට නෝබෙල් තෑග්ගත් හම්බවුණා). 😲🔬
ප්‍රතිඵලය මොකක්ද දන්නවද? ප්‍රතිඵලය ආවේ හරියටම 25% යි! ඒ කියන්නේ අයින්ස්ටයින්ට වැරදිලා! ක්වොන්ටම් විද්‍යාව කියපු දේ 100% ක්ම හරි!
අපේ විශ්වයේ අර "හංගපු විචල්‍ය" කියලා දෙයක් නෑ. ඇත්තටම මේ පැටලුණ අංශු (Entangled particles) අතරේ ආලෝකයටත් වඩා වේගයෙන් යන මොකක්හරි අද්භූත සම්බන්ධතාවයක් තියෙනවා! ජෝන් බෙල්ගේ න්‍යායෙන් ඔප්පු කළේ අන්න ඒක.
මේක ඇහුවාම ඔයාට හිතෙයි "එහෙනම් අපිට මේක පාවිච්චි කරලා අනාගතයට හරි, ආලෝක වර්ෂ ගාණක් ඈත ඉන්න කෙනෙකුට හරි තත්පරෙන් මැසේජ් යවන්න පුළුවන් නේද?" කියලා. ✉️🚀
උත්තරේ තමයි "බෑ". මොකද අපි මේ අංශුවක් මනිද්දී අපිට ලැබෙන උත්තරය (+ හෝ -) සම්පූර්ණයෙන්ම අහඹුයි. අපිට ඕනේ විදිහට ඒක පාලනය කරන්න බෑ. අනිත් පැත්තේ ඉන්න කෙනාට ලැබෙන උත්තරයත් අහඹුයි. ඒ නිසා අපිට මේ ක්‍රමයෙන් කිසිම තොරතුරක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යවන්න බෑ. අන්න ඒ නිසා තමයි අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තාමත් බේරිලා තියෙන්නේ!
මේ "Spooky action" කතාව පිළිගන්න අකමැති අයට තවත් අමුතුම විසඳුමක් තියෙනවා. ඒ තමයි Many Worlds Interpretation (බහු ලෝක න්‍යාය). 🌍🌌
මේකට අනුව, අපි අංශුවක් මනිද්දී ඒක + ද - ද කියලා තීරණය කරන්නේ නෑ. ඒ වෙනුවට මේ මුළු ලෝකයම දෙකට කැඩෙනවා! එක ලෝකෙක ඔයා + කියලා දකිනවා, අනිත් ලෝකයේ ඉන්න ඔයාගේ කොපිය ඒක - කියලා දකිනවා. මේකෙදි අංශු දෙකට ආලෝකයේ වේගයට වඩා වේගයෙන් කතා කරගන්න ඕනේ නෑ, මොකද ලෝක දෙකේම ඒ උත්තර දෙකම තියෙන නිසා.
මේක හිතන්න අමාරු වුණත්, මේ නිසා ක්වොන්ටම් විද්‍යාවයි, ගුරුත්වාකර්ෂණයයි එකතු කරලා "Quantum Gravity" (ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණය) කියන මහා න්‍යාය හදන්න මේක ලොකු උදව්වක් වෙයි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.
ලෝකයේ තියෙන බුද්ධිමත්ම මොළයක් වුණ අයින්ස්ටයින් පවා ක්වොන්ටම් විද්‍යාව ඉස්සරහා අසරණ වුණා. එයා වැරදි වුණත්, එයා ඒක ප්‍රශ්න කරපු නිසා තමයි අද අපි මේ "Quantum Entanglement" ගැන මේ තරම් දුරට දන්නේ. 🌟
මේ විශ්වයේ තාමත් අපිට තේරුම් ගන්න බැරි, ආලෝකයටත් වඩා වේගයෙන් වැඩ කරන අමුතු නීති තියෙනවා කියන එක දැන් 100% ක්ම ඔප්පු වෙලා ඉවරයි. සමහරවිට අපි මේ ජීවත් වෙන්නේ අපිට පේනවාට වඩා ගොඩක් වෙනස්, සමාන්තර ලෝක ගණනාවක් තියෙන මහා විශ්වයක වෙන්න පුළුවන්!
මේ ලිපි ගොඩක් අය කියවන්නේ නෑ සංකීර්ණ වැඩි නිසාද දන්නෙ නෑ.. සාමාන්‍යයෙන් ලයික් 500ක්වත් දැන් එන්නෙ නෑ. හැබැයි මට පුළුවන් කාලයක් මම ලියනවා කියවන අය වෙනුවෙන්.. එයාලට ස්තූතියි!
ආලෝකයටත් වඩා වේගයෙන් වැඩ කරන මේ ක්වොන්ටම් අංශු ගැන ඔයා මීට කලින් අහලා තිබුණාද? Many Worlds න්‍යාය ගැන ඔයාට මොකද හිතුණේ? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, විද්‍යාවට සහ විශ්වයේ අභිරහස් වලට ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා!
🚀🌌✨👍💬🗣️
Sulochana Dissanayake
Sources : Internet