25/08/2024
විතයේ ඇත්ත සුරක්ෂිතතාව තියෙන්නේ කොතැනද කියන ප්‍රශ්නයට මිනිසුන් ආකාර දෙකකට උත්තර හොයනවා.
පළමුවැනි ක්‍රමය වන්නේ ගොඩක් එකතු කරගෙන, ඒ එකතු කරගත් දේ පසුපස සැඟවී 'සුරක්ෂිතතාව' සෙවීමයි.
ඒ කියන්නේ විශාල ධනයක්, විශාල බලයක් හෝ විශාල ප්‍රසිද්ධියක් එකතු කරගෙන ඒ පසුපස සැඟවී ආරක්ෂාව පැතීමයි. එහෙම නැත්නම් විශාල පිරිසක්, සම්බන්ධතා විශාල ප්‍රමාණයක්, බලාපොරොත්තු ගොඩක් ගොඩගහගෙන ආරක්ෂාව සෙවීමයි.
එතැන තියෙන්නේ high stakes ජීවිතයක්.
නැති කරගන්න බැරි, high stakes ජීවිතයක තියෙන ප්‍රශ්නය වන්නේ ආරක්ෂාව වෙනුවට ලොකු බියක් නිර්මාණය වීමට ඇති හැකියාවයි.
බය නිසා ආරක්ෂාව සෙවීම වෙනුවට ආරක්ෂාව සෙවීම නිසා බය නිර්මාණය වෙනවා.
බැලූ බැල්මට එතැන තාර්කිකබවක් නැහැ.
මේ ඉතා ම සුලබ, ජනප්‍රිය පළමුවෙනි ක්‍රමය වෙනුවට එයට වඩා වෙනස්, විකල්ප ක්‍රමයක අවශ්‍යතාව මතුවන්නේ එතැනදීයි.
ඒ ක්‍රමය වන්නේ නැති වෙන්නට දෙයක් නැති, ඕනෑම දෙයක් නැති වුණාට කමක් නැති low stakes ජීවිතයක් තුළින් ආරක්ෂාව සෙවීමයි.
එහෙම ජීවිතයක ලොකුවට කිසි දෙයක් හඹා යන්නේ නැහැ. ලොකුවට කිසි දෙයක් හොයන්නේ නැහැ. ලොකු පිරිසක් තමන් වටා එකතු කරගන්නේ නැහැ. ඒ එකතු කරගන්න අයගෙන් කිසිවක් බලාපොරොත්තු වන්නේත් නැහැ. එතකොට අමුතුවෙන් නැති වෙන්නට දෙයක් නැහැ. නැති වුණත් එයින් ලොකු කම්පනයක් ජීවිතයට ඇත්තේත් නැහැ.
එතැන ආරක්ෂාව හැදෙන්නේ ආරක්ෂා කරන්නට දෙයක් නැති නිසයි.
මේ ක්‍රම දෙකෙන් වඩා සාර්ථක ක්‍රමය මොකක්ද, අසාර්ථක ක්‍රමය මොකක්ද කියා මම දන්නේ නැහැ.