Keja Farm කේජා ගොවිපළ

Keja Farm   කේජා ගොවිපළ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keja Farm කේජා ගොවිපළ, Business Supply Service, Abhayapura, Mahiyangana.

🌺🌺🌺කෙසෙල් - Banana 🍌🍌🍌🌺🌺🌺🌺" කෙසෙල් " කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ . ලංකාවේ අපිට වගේම ආසියාතික , යුරෝපීය රටවලත් ජනප්‍රිය...
04/09/2024

🌺🌺🌺කෙසෙල් - Banana 🍌🍌🍌🌺🌺🌺🌺

" කෙසෙල් " කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ . ලංකාවේ අපිට වගේම ආසියාතික , යුරෝපීය රටවලත් ජනප්‍රියම කෑමක් තමයි කෙසෙල් කියන්නේ . ඉතින් අද අපි ටිකක් හොයලා බලමු කෙසෙල් ගැන තොරතුරු ටිකක්.

කෙසෙල් කියන පළතුර අයත් වන්නේ,

✨️ කුලය: Musaceae
✨️ ගණය: Musa
✨️ ගෝත්‍රය: Zingiberales
✨️ රාජධානිය: Plantae
✨️ විද්‍යාත්මක නාමය: Musa acuminata, Musa balbisiana, and Musa × paradisiaca

ලංකාවේ අපේ කෙසෙල් වර්ග අයත් වන්නේ ප්‍රධාන කාණ්ඩ 3 කට . ඒවානම් ,

⭕මයිසෝර් කාණ්ඩ​ය – මයිසෝර් කාණ්​ඩයට ලංකාවේ තිබෙන ඇඹුල් කෙසෙල් සහ සීනි කෙසෙල් අයිති වෙනවා.
⭕කැවෙන්ඩිශ් කාණ්​ඩය – කැවෙන්ඩිශ් කාණ්​ඩයට ආනමාළු, ඇම්බුන් සහ බිම් කෙසෙල් අයිති වෙනවා. මෑතකදි ජනප්‍රිය වුණු නේත්‍රාපලම් අයිති වෙන්නෙත් කැවෙන්ඩිශ් කාණ්​ඩයට.
⭕කෝලිකුට්ටු කාණ්​ඩය – පුවාළු, සුවඳැල් සහ රත් කෙසෙල් අයිති වෙන්නේ කෝලිකුට්ටු කාණ්​ඩයට.

කලාප අනුව ගත්තොත් තෙත් කලාපය කැවෙන්ඩිශ් කාණ්​ඩයේ කෙසෙල් වලට ජනප්‍රියයි. අතරමැදි කලාපයේ කෝලිකුට්ටු සරුවට වැවෙනවා. මයිසෝර් හෙවත් සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් වැඩිපුර වැවෙන්නේ වියළි කලාපයේ. ඇඹිලිපිටිය කෙසෙල් වවන කලාපයේ නම් මේ ඇඹුල් සහ කෝලිකුට්ටු යන දෙවර්ගයම එකම කලාපයක වගා කරනවා.
මේ කාණ්ඩ 3 යටතේ දේශීය කෙසෙල් වර්ග රැසක් අපේ අහාර රටාව තුල ඈත අතීතයේ පටන්ම පැවතුනා.

🍌 ඇඹුල් කෙසෙල්
🍌 කෝලි කුට්ටු
🍌 ආනමාලු
🍌 රත් ආනමාලු
🍌 සීනි කෙසෙල්
🍌 අළු කෙසෙල්
🍌 රන් කෙසෙල් හෙවත් රතඹලා
🍌 බිම් කෙසෙල්
🍌 ඇටමුරු
🍌 දිය මුන්දන්
🍌 මුරු මුන්දන්
🍌 අළු මුන්දන්
🍌 ගෝන ඇඹුල්
🍌 සුවඳැල්
🍌 වල් සුවඳැල්
🍌 කිරි සුවඳැල්
🍌 ඇටි කෙහෙල්
🍌 මර්ත මාළු
🍌 නේත්‍රාපලම්
🍌 අම්බුන්
🍌 රට හොඹුරවලු
🍌 මුව තුනි කෙහෙල්
🍌 අංගවීර
🍌 පුවාළු
🍌 මැටි කිතල
🍌 කිනල
🍌 පේර කෙහෙල්
🍌 කන්නන් හොරු
🍌 කළු පුවාළු
🍌 යාපනේ පුවාළු
🍌 කණ්ඩුල (දෙමුහුම් ප්‍රබේදයක්)
🍌 පුලතිසි (දෙමුහුම් ප්‍රබේදයක්)
🍌 නදී
🍌 ප්‍රසාද්

ඉතින් අපි ඒ ඒ කෙසෙල් වර්ග කීපයක් ගැන විස්තර ටිකක් දැන ගනිමු.

🍌➖සීනි කෙසෙල්➖🍌
⭕ප්‍රදේශය අනුව උස මීටර් 2 - 4 අතර වෙනස් වේ.
⭕කඳ දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත ය.
⭕පත්‍ර වෘන්තයේ දාර මුළුමනින්ම ඇතුලට නැමී ඇත.
⭕පත්‍ර තලය පළල්ය.
⭕කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත තැඹිලි පාටට හුරු රතු පැහැයෙන් යුක්ත ය.
⭕කොළපුවල නාරටි මතු වී ඇත.
⭕කැන්වල ප්‍රමාණය පාලන තත්ත්වය මත වෙනස් වේ.
සීනි කෙසෙල් මෑතකදී තමයි ජනප්‍රිය වු​ණේ. වැඩිය තෙල් බේත් නොගහා වවන්න පුළුවන් සීනි කෙසෙල් ගස් නම් වෙලාවකට උසට උසේ වැඩෙනවා. සීනි කෙසෙල් වල තියෙන්නේ ඇඹුල් වලට වඩා පැතලි රසයක්. ක්‍රීම් ගතියත් ටිකක් සීනි කෙසෙල් වල වැඩියි. සීනි කෙසෙල් ඉදුණාම ලෙල්ල ගොඩක් තුනී වෙනවා. ඒ වගේම සීනි කෙසෙල් ඇඹුල් තරම් කහ පාට නැහැ. ඇඹුල් කෙසෙල් එක්ක බලද්දි සීනි කෙසෙල් ටිකක් ලොකුවට හැදෙනවා. සීනි කෙසෙල් ලෙඩ්ඩුන්ට දෙන්න කදිම කෙසෙල් වර්ගයක් කියලා තමයි කට්ටිය කියන්නේ.

🍌➖ඇම්බන්➖🍌
⭕කඳ මීටර් 4 - 4.5 පමණ උස් වේ.
⭕කොළ පැහැයෙන් යුක්ත කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
⭕පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පැහැති ය.
⭕යටි පෘෂ්ඨය ලා කොළ පැහැති ය.
⭕කෙසෙල් මුහයේ කොළපු දම් පැහැයෙන් යුක්ත ය.
⭕ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත.
⭕ගෙඩියක් සෙ.මී. 16 - 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 14 - 16 පමණ වේ.
කෙසෙල් කියන්නේ අග්නිදිග ආසියාවට, ඒ කියන්නේ ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාවට අයිති ප​ළතුරක්. ඒ කාලේ ලන්දේසි සහ සුදු ජාතිකයින් මේ රටට ඇතැම් අග්නිදිග ආසියානු පළතුරු සහ කෙසෙල් හඳුන්වා දෙන්නට ඇති. 1927 වර්​ෂයේ ඒ විදිහට ලක් රජය මැදිහත් වෙලා ලංකාවට හඳුන්වා දුන්න කෙසෙල් ජාතියක් තමයි ඇම්බුන් කියන්නේ. ඇම්බුන් ඉදුනාම ආනමාලු වගේ තදම පාටට තියෙන්නේ නැහැ. ඒ වගේම ඇම්බුන් ආනමාලු වලට ටිකක් සමාන වුණාට රසය ටිකක් පිටි ගතියෙන් වැඩියි.

🍌➖ආනමාළු➖🍌
⭕මීටර් 3 - 5 පමණ උස් වන ප්‍රභේදයකි.
⭕කඳ කොළ පැහැතිය.
⭕පත්‍ර තලය පළල්ය.
⭕පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
⭕කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පැහැයට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොළ පැහැය ගනී.
⭕මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පැහැයට හුරුය.
⭕ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මී. 25 පමණ දික් වන අතර පරිධිය සෙ.මී. 1.5 -1.8 පමණ වේ.
⭕කැනක බර කි.ග්‍රෑම් 12 - 18 පමණ වේ.
ආනමාලු සහ ඇම්බුන් දෙකම ටිකක් එක වගේ. ආනමාලු ඉදු​ණත් තියෙන්නේ කොළ පාටට. මෙයින් ඇම්බුන් කියන එක ටිකක් ලොකුයි. ආනමාලු ගෙඩිය ඉදු​ණත් පොත්ත ඝනකමට තියෙනවා. මේකේ රසය තරමක් ඇඹුල් මිශ්‍ර පැණි රසක් ගන්නවා. කිලෝ එකකට සෙට් වෙන ගෙඩි ප්‍රමාණය නම් ටිකක් අඩුයි. මොකද කෙහෙල් ගෙඩි ටිකක් බරයි.

🍌➖කෝලිකුට්ටු➖🍌
⭕ගසක් මීටර් 2 1/2 - 3 ක් පමණ උස්ව වැඩේ.
⭕කඳ කොළ පැහැති ය.
⭕පත්‍ර නටුව කෙළවර දම් පාටට හුරු රෝස පැහැයෙන් යුත් දාරයක් සහිතය.
⭕පත්‍ර කඳ කොළ පාටය, පළල්ය. වැඩි වශයෙන් කඩුපත් මොරෙයියෝ හටගනිති.
⭕කෙසෙල් මුහය දම් පාටට හුරුය.
⭕කැන පහළට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පැහැයට හුරුය.
⭕මිහිරි සුවඳක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.
⭕ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රභේද ඉදෙන විට ගෙඩිවල පුල්ලි මතුවන අතර ඉදෙන විට ලෙල්ල දික් අතට පිපිරීම සිදුවේ.
සිංහල අවුරුද්දට සහ නෑ ගමන් යද්දි කෙහෙල් ඇවරියකුත් අරන් යන සිරිතක් තියෙනවා. ඒ වගේ වෙලාවක ගමන වඩාත් වැදගත් එකක් නම් කෝලිකුට්ටු නැතිනම් පුවාළු කෙහෙල් ඇවරියක් අරං යන්න තමයි ගොඩක් අය කැමති. සීනි සහ ඇඹුල් එක්ක බලද්දි කෝලිකුට්ටු කැනක ගෙඩි අඩුයි. ඒ වගේම කෝලිකුට්ටු වගාවක් නඩත්තු කරන්නත් අමාරුයි. ඒත් හැමදාම මිලෙන් වැඩි කෝලිකුට්ටු වලට හො​ඳ වෙළ​ඳ පොලක් තියෙනවා. මිල අඩුම වකවානුවක වු​ණත් කෝලිකුට්ටු කෙසෙල් කිලෝවක් රුපියල් 200/=ක් විතර වෙනවා. පුෂ්ටිමත් ගෙඩි තියෙන කෝලිකුට්ටු ඉදුනාම තමයි රස වැඩිම. කෝලිකුට්ටු ඉදුනාම ඒකෙන් එන පිටි රසය දිවට අමුතු මිහිරක් එකතු කරනවා. ඉදුනාම පොත්ත තුනී ව​න ​මේ කෙසෙල් වර්ග​යේ ගෙඩි ඇතැම්විට ඉදෙනකොට පැ​ළෙනවා. එකම කාණ්​ඩයට අයිති වු​ණත් කෝලිකුට්ටු, සුවඳැල් සහ පුවාළු කෙසෙල් වර්ග තුනක්.

🍌➖ඇඹුල් කෙසෙල්➖🍌
⭕මීටර් 3 - 3.5 පමණ උස්ව වැඩෙන දම් පාටට හුරු රතු පැහැයෙන් යුත් කඳක් ඇත.
⭕බොහෝ විට දම් පාට වර්ණක ව්‍යාජ කදේ‍ දැකිය හැකිය.
⭕පත්‍ර නටුවේ දාර දම් පාටය.
⭕පත්‍ර මැද නාරටිය දම් පාටට හුරු කොළ පැහැති ය.
⭕ගෙඩි තරමක් වක්වී සිලින්ඩරාකාරව පවතී.
⭕ඉදෙන විට දීප්තිමත් කහ පැහැයක් ගනී.
⭕ගෙඩි ඇඹුල් රසයෙන් යුක්තය.
⭕මනා පාලන තත්ත්ව යටතේ කිලෝ ග්‍රෑම් 25 - 30 දක්වා වූ කැන් ලබා ගත හැකිය.
ගමේ ගෙදරක අම්මා, තාත්තා පො​ළේ ගිහින් එනකොට කෙහෙල් ඇවරියක් වරදින්නේ නැහැ. ඒ වගේ වෙලාවට බොහෝවිට ගෙදර එනනේ ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් ලාබයි. ඒ වගේම ඇඹුල් කෙසෙල් වලට ගොඩක් අය ආසයි. අගිස්ස උල් කුඩා ප්‍රමාණයේ ඇඹුල් කෙසෙල් වල ලාවට ඇඹුල් රසකුත් එක්ක එන පැණි රසක් තියෙනවා. ඇඹුල් කෙසෙල් වලින් ආවේණික සුව​ඳකුත් මැනවින් විහිදෙනවා. ඇඹුල් කෙසෙල් ටිකක් සීතල නිසා සෙම ගතිය වැඩිකරනවා කියලා විශ්වාසයක් අපි අතර තියෙනවා.

🍌➖රතඹලා➖🍌
⭕ගසක් උසින් මීටර් 3 - 3.5 දක්වා වැඩේ.
⭕රතු පාට පැල්ලම් දැකිය හැකිය.
⭕පත්‍ර වෘන්තය යටි පැත්තට වක්‍ර වී ඇති අතර එහි දාරය දම් පාට දාරයකින් සීමා වී ඇත.
⭕පත්‍රයේ උඩු පෘෂ්ඨය කොළ පාට වන අතර යටි පැත්ත රතු පැහැයෙන් යුක්ත ය.
⭕කැන අර්ධව තිරස්ව වර්ධනය වේ.
⭕පොත්ත තද පාට වන අතර මදය තැඹිලි පාටය.
⭕කැනක බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 8 - 18 පමණ වේ.
⭕කෙසෙල් ගුල්ලාගේ හානියට අධික ලෙස පාත්‍ර වේ.
මේ රත් කෙහෙල් වල රසය රාස්බෙරි රහ කියලත් සමහරු කියනවා. සමහර සංස්කෘතීන් වල මේ රත් කෙහෙල් පුරුෂ ලිංගයට සමාන වූ කෙහෙල් ගෙඩියක් ලෙස දක්වා තියෙනවා. ලපටි කාලේ කො​ළ පාට මේ කෙහෙල් ගෙඩි කාලයත් එක්ක කැන ලොකු වෙද්දි රතුපාටට හැරෙනවා. ලංකාවේ අයට නම් රත් කෙහෙල් එච්චරම අල්ලන කෙසෙල් වර්ගයක් නෙමෙයි. නුවර පළාතේ සීතල කාලගු​ණය යටතේ වැඩෙන රත් කෙහෙල් මතුපිටින් රතු වුණාට ඇතු​ළත සාමාන්‍ය කෙහෙල් ගෙඩියක වගේම තමයි.

🍌➖කණ්ඩුල➖🍌
⭕චතුර්ගුණ ප්‍රභේදයකි.
⭕දෙමුහුම් වර්ගයකි.
⭕මෙය පලතුරක් හා එළවළු වශයෙන් භාවිත කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
⭕කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
⭕උස මීටර් 2 - 2.5 පමණ වේ.
⭕කඳ ඉතා ශක්තිමත්ය.
⭕පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පැහැයෙන් යුක්ත ය.
⭕නියං ප්‍රතිරෝධීය.
⭕කළු සිගටෝකා පත්‍ර ලප රෝගයට ප්‍රතිරෝධීය.
⭕ශක්තිමත් කඳක් සහිත නිසා අහිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දෙයි.

🍌➖නදී➖🍌
⭕ඇඹුල් කෙසෙල් වගා දර්ශයන් අතරින් උසස් ගුණාත්මයෙන් යුතු කෙසෙල් වගා දර්ශයකි.
⭕පලතුරක් ලෙස පමණක් ගැනෙන ප්‍රභේදයකි.
⭕ළා කොළ පාට කඳක් ඇති අතර පත්‍රවල ස්වභාවය ඇඹුල් කෙසෙල් ආකාර වෙයි.
⭕මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී.
⭕පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද

🍌➖පුලතිසි➖🍌
⭕චතුර්ගුණ ප්‍රභේදයකි.
⭕දෙමුහුම් ප්‍රභේදයකි.
⭕කඳ මීටර් 1 1/2 - 2 පමණ උසක් ඇත.
⭕කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය.
⭕කෙසෙල් මුහ විශාලය, මුහයේ කොළපු හැලීමක් සිදු නොවේ.
⭕දිගු කලක් කැනෙහි මධ්‍ය නාරටියට ඇලී පවතී.
⭕නියං කාලයට එක් ඇවරියක් බැගින් ගසේ කැන තිබියදීම කපා ගෙන පරිභෝජනය කළ හැකිය.
⭕සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.

🍌➖ප්‍රසාද්➖🍌
⭕දේශීය අළු කෙසෙල් වර්ගයකි.
⭕සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
⭕ගෙඩිවල කෙළවර ප්‍රමුඛ ඉදිමුමක් ඇත.
⭕අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් කෙසෙල් ප්‍රසාදය වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
⭕කැනක බර කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ වේ.

🍌➖මොන්දන්➖🍌
⭕පිසීම සඳහා පමණක් යොදා ගනී.
⭕ව්‍යාජ කඳ කොළ පැහැයෙන් යුක්ත ය.
⭕පත්‍ර නටුව ළා කොල පාටය.
⭕පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
⭕කෙසෙල් මුහය ඉලිප්සාකාරය. කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පැහැති ය.

🍌➖මැටි කිතල➖🍌
⭕කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
⭕පත්‍ර තලය දම් පාටට හුරු කොළ පැහැය ගනී.
⭕පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත.
⭕එය පිටතට වක්වී නොමැත.

🍌➖ඇටමුරු➖🍌
⭕පිසීම සඳහා යොදා ගනී.
⭕සමහර ගෙඩිවල බීජ කිහිපයක් ඇත.
⭕කඳ කොළ පාට වන අතර ළා දම් පාට පැල්ලම් ඇත.
⭕පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පැහැයෙන් යුක්ත ය .
⭕යටි පැත්ත ළා දම් පැහැය ගනී.

🍌➖අළු කෙසෙල්➖🍌
⭕ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වශයෙන් යොදා ගන්නා ප්‍රභේදයකි.
⭕කඳ කොළ පැහැතිය.
⭕පත්‍ර තලය අදුරු කොළ පැහැතිය.
⭕කෙසෙල් මුහයේ කොළපු දම්පාටය.
⭕පැහැදිලි කොළපු නාරටි බේරී ඇත.
⭕නොමේරූ කැන් ඇන්ත්‍රැක්ස්නෝස් දිලීර රෝගයට පාත්‍රවේ.

🍌➖පූවාළු➖🍌
⭕ව්‍යාංජ කඳ මීටර් 03 පමණ උස්වේ.
⭕පත්‍ර පාදවල දුඹුරු පාටට හුරු කළු පාට සලකුණු ඇත.
⭕පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
⭕කොළපු වල පැහැදිලි නාරටි ඇත.
⭕කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත.
⭕කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
⭕ගෙඩියක් සෙ.මී. 12 - 15 පමණ දික්වේ. එහි පරිධිය සෙ.මී. 15 - 18 පමණ වේ.
⭕ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
⭕සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 - 16 පමණ යහපත් පාලන තත්ත්ව යටතේ ලබා ගත හැකිය.

🍌➖බිං කෙසෙල්➖🍌
⭕සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
⭕ දිවෝෆ් කැවෙන්ඩි‍ෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
⭕කඳේ උස මීටර් 1.5 - 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
⭕පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
⭕පත්‍ර තලය තද කොළ පැහැයෙන් යුක්ත ය.
⭕කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
⭕මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
⭕ඉතා රසවත් ප්‍රභේදයකි.
කැවෙන්ඩිශ් කියලා හඳුන්වන්නේ සුපිරි වෙළ​ඳසැල් වල දැන් තියෙන ලස්සන කහපාට කෙහෙල් වර්ගය. මේක පෙනුමෙන් ලංකාවේ අපිට පුරුදු ආනමාලු වගේ. ඒත් ලෙල්ල කහපාට වෙනවා. කැවෙන්ඩිශ් වල තියෙන්නේ මිහිරි රසක්. කැවෙන්ඩිශ් දැනට ලංකාවෙන් පි​ටරටට අපනයනය කරන වැඩෙත් කෙරෙනවා. කොහොම වු​ණත් ඇතැම් විදේශ රටවල ඉන්න මිතුරන්ට කෙසෙල් කියලා කන්නට ලැබෙන්නේ කැවෙන්ඩිශ් වගේ බහු​ල කෙසෙල් වර්ගයක් දෙකක් විතරයි. ඉතින් ලංකාවට ආවම එයාල පුරුදු ගමේ කෙසෙල් හොයනවා. මේ කෙසෙල් ලංකාවේදි බිම් කෙහෙල් කියලත් හඳුන්වනවා.

කෙසෙල් වල යහගුණය

කෙසෙල් කියන්නේ ඉස්සර කාලයේ ඉඳන්ම ඉතාම පෝෂ්‍යදායක ආහාරයක් බවට පිළිගැනෙන පලතුරු වර්ගයක්. අපි මීට ඉහතින් ශ්‍රී ලංකාවේ විවිධ කෙසෙල් වර්ග ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණය ගැන අහන්න ලැබෙන සාම්ප්‍රදායික විශ්වාසයන් ගැනත් පැහැදිලි කළා. ඒ වගේම පොදුවේ හැම කෙසෙල් වර්ගයකම තියෙන යහගුණය ගැන විද්‍යාත්මක පැත්තෙන් ලැබෙන සාක්ෂි ගණනාවකුත් පහතින් දක්වලා තියෙනවා. පුළුවන් හැම වෙලාවකම කෙසෙල් කන්න මේ හේතු ටිකම ප්‍රමාණවත් වේවි.
පොටෑසියම් බහුල කෙසෙල් ගෙඩි කියන්නේ ස්වභාවිකව තියෙන හොඳම ශක්තිජනක ආහාරයක්. ක්ෂණික ශක්තිය ලබා ගන්න වගේම ව්‍යායාම් වලදී ඇති වෙන කෙණ්ඩා පෙරළීම් සුව කර ගන්නත් මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ.
පොටෑසියම් වලින් අපේ ශරීරයේ රුධිර පීඩනය නියාමනය කෙරෙනවා, ඒ නිසා හෘදයාබාධ සහ ආඝාත (stroke) වලින් ආරක්ෂා වෙන්න නිතර කෙසෙල් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.
කෙසෙල් වල ඇති පෝෂක ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටත්, වයසට යන විට සිදු වන මාංශ පේශී අඩපණ වීම අවම කිරීමටත් දායක වෙනවා.

කෙසෙල් ආහාරයට ගැනීම ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගැනීමට උදව් වෙනවා. කෙසෙල් කියන්නේ ආහාර ජීර්ණයට අත්‍යවශ්‍ය හිතකර බැක්ටීරියාවලට පෝෂණය ගෙන දෙන මූලාශ්‍රයක්. (probiotic) මේ බැක්ටීරියාවන් තමයි අපේ ආහාර ජීර්ණයට අත්‍යාවශ්‍ය එන්සයිම වර්ග නිපදවන්නේ. මේ හිතකර බැක්ටීරියා පෝෂණය වීම ආහාර ජීර්ණයත්, ශරීරයට උරාගැනීමත් නිසි පරිදි සිදුවෙන්නට උදව් වෙනවා. විශේෂයෙන් විටමින් වර්ගත්, කැල්සියම් ඇතුළු ඛණිජ ලවණත් නිවැරදිව ශරීරයට ලබා ගන්න මේ ක්‍රියාවලිය ඉතා වැදගත්. කැල්සියම් නිසි ලෙස උරා ගැනීම අස්ථි වල ශක්තිමත්භාවයට ඍජුවම බලපානවා.

කෙසෙල් කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක්. වකුගඩු පිළිකා ඇතුළු රෝග බොහොමයක් ඇති කරන මුක්ත ඛණ්ඩක ඇතිවීම පාලනය කරන්න ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම හේතු වෙන බව සොයාගෙන තියෙනවා.
බඩේ ඇති වන තුවාල (stomach ulcers) වණ වීමට නොදී මුල් අවධියේම සුව කරන්න කෙසෙල් දායක වෙනවා.
කෙසෙල් තුල අඩංගු ආහාරමය තන්තු (diatery fibre), පොටෑසියම්, විටමින් C සහ විටමින් B6 යන සියලුම පෝෂක හදවතේ නීරෝගී බව වැඩිදියුණු කරන්න හේතු වෙනවා.
කෙසෙල් තුල අඩංගු වන ට්‍රිප්ටොෆෑන් (tryptophan) නම් ඇමයිනෝ අම්ලය මතක ශක්තිය වර්ධනය කරන්න හේතු වෙන බවටත්, මානසික ආතතිය දුරු කිරීමටත් හේතු වෙන බව සොයාගෙන තියෙනවා.

කෙසෙල් වගාවේ රෝග හා පලිබෝධ

දැන් අපි බලමු කෙසෙල් වගාවේදී අපිට එන රෝග සහ පලිබෝධ ගැටළු සම්බන්දයෙන් . මේ ගැන ඔබට අවබෝදයක් තිබීමෙන් වගාවක් රෝග/පලිබෝධ මූලික හානි අවස්තාවේදීම නිශ්චය කර ඒ සඳහා පිලියක් යෙදිය හැකියි.

✳️දිලීර රෝග✳️

➖පැනමා රෝගය➖
✨️රෝග කාරකයා - ෆියුසාරියම් ඔක්ඩිස්පෝරම්(Fusarium oxysporum cubense)
⭕කෙසෙල් වගාවට ඇති විය හැකි දරුණුම දිලීර රෝගයකි.
⭕ලංකාවේ වගා කරන කෙසෙල් රෝග අතරින් ඇඹුල් හැර අනෙකුත් සියළුම වර්ග පැනමා රෝගයට ග්‍රාහී වේ.
⭕රෝග කාරකයා පාංශු දිලීරයකි. එමනිසා ආසාදිත පස් මගින් හෝ ආසාදිත රෝපණ ද්‍රව්‍ය මගින් හෝ රෝගී ක්ෂේත්‍රයක් නඩත්තු කරන ගොවිපළ උපකරණ මගින් රෝග කාරකයා නිරෝගී ක්ෂේත්‍රයකට ව්‍යාප්ත විය හැක.
⭕එසේම රෝගී ශාක කොටස් ජල මාර්ගවලට දැමීමෙන්ද ආසාදිත පඳුරු හරහා වන ජල සම්පාදනයෙන්ද රෝග කාරකයා ව්‍යාප්ත විය හැක.
⭕රෝග කාරකයා මූල මණ්ඩලයට ආසාදනය වීමෙන් සනාල පටක අවහිර කරයි.
⭕ව්‍යාජකඳේ මෙන්ම කෝමයේද දුඹුරු පැහැයට හුරු දුර්වර්ණ ප්‍රදේශ දැකිය හැක.
⭕ජල අවශෝෂණයට වන බාධාව නිසා මැලවීමේ රෝග ලක්ෂණ පෙන්වයි.
⭕පත්‍ර කහපාට වී පිති වලින් කඩා වැටේ පසුව ශාකය මිය යයි.
⭕රෝග ලක්ෂණ දැකිය හැක්කේ කෙසෙල් කැන් ඇති වීමට ආසන්න පඳුරු වලයි.
⭕කුඩා පැලවල රෝග ලක්ෂණ දැකිය නොහැක.
✨️රෝග පාලනය
⭕රෝග පාලනය සඳහා දිලීර නාශක යෙදීම සාර්ථක නොවේ.
⭕එමනිසා රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
⭕ජලවහනය ක්‍රමවත්ව කල යුතුයි.
⭕රෝගී ශාක කොටස් ජල මාර්ග වලට නොදැමිය යුතුය.
⭕ඇඹුල් වැනි ප්‍රතිරෝධී ප්‍රභේද සමඟ මාරුවෙන් මාරුවට වගා කිරීම කළයුතුයි.
⭕නිරෝගී මව් ශාක වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතුයි.
⭕ආම්ලික පාංශු තත්ව රෝග කාරක ඝනත්වය වැඩි කිරීමට හේතු වන බැවින් ඩොලමයිට් හෝ අළු හුණු යෙදීම මගින් පසේ ආම්ලිකතාවය අඩු කිරීමට කටයුතු කළයුතුයි.
⭕පටක රෝපිත පැළ නිරෝගී රෝපන ද්‍රව්‍ය ලෙස යොදාගත හැක.
⭕නමුත් ආසාදිත ක්ෂේත්‍රයක සිටුවීමෙන් ඒ පැළ වලටද රෝගය වැළදීමේ හැකියාවක් ඇත.

➖ඇවරිමුල කුණුවීම (crown rot)➖
⭕මෙම රෝගය පසු අස්වනු රෝගයකි.
⭕මෙම රෝගය ඇති කිරීමට රෝග කාරකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරිත්වය හේතු වේ.
⭕කෙසෙල් කැනෙන් ඇවරි වෙන් කිරීමේදී ආසාදිත කැනක ඇවරි කැපීමෙන් පසු පිරිසිදු නොකල පිහි වැනි උපකරන මගින් ද නිරෝගී කැන් වලට ආසාදනය වේ.
⭕මෙහිදී ඇවරි කැනට සම්බන්ධ වන ස්ථානයට (crown) මෙන්ම පසුව කෙසෙල් ගෙඩිවල නටුවටද පැතිරී යයි.
⭕තවද ආසාදිත ඇවරි සේදූ ජලය නැවත භාවිතය නිසාත් ගෙඩිවලට සිදුවන යාන්ත්‍රික හානි නිසාත් රෝග කාරකයා ඇතුළු විය හැක.
⭕තවද නියමිත පරිනතියට පත්නොවී කැන් කැපීම නිසාද මෙම තත්වය ඇති විය හැක.
✨️රෝග පාලනය
⭕කැන්වලට තුවාල නොවනසේ අස්වනු නෙලීම කලයුතුය.
⭕නියමිත පරිණතියේදී අස්වනු නෙලිය යුතුයි.
⭕ඇවරි සෝදන්නේ නම් පිරිසිදු ජලයෙන් වෙන් වෙන්ව සේදිය යුතුයි.

➖ඇන්ත්‍රැක්නෝස් රෝගය➖
✨️රෝග කාරකයා - colletortichum spp
⭕ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතරින් අළු කෙසෙල් මෙම රෝගයට වඩාත් පාත්‍ර වේ.
⭕අනෙක් වගා කරන කෙසෙල් ප්‍රභේදවල ගෙඩි ඉදෙන අවස්ථාවේදී තැන තැන ඇති වූ කළු පාට වලයාකාර ලප හා ඒවා ඒකරාශී වී සෑදුණු කළු පාට පැල්ලම් ලෙස දැකිය හැකි අතර ඒ තත්වය පසු අස්වනු අවස්ථාවේදී ඇතිවන රෝගී තත්වයකි.
✨️රෝග පාලනය
⭕ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පිළිබඳව අවශ්‍ය කටයුතු කළ යුතුයි.
⭕එනම් පරඬැල් ඉවත් කර වගාව පිරිසිදු තත්වයෙන් තබාගත යුතුයි.
⭕අළු කෙසෙල්වලට නම් මුහයෙන ඇවරි වෙන්වීම ආරම්භ වූ පසු මැන්කොසෙබ් හෝ ක්ලෝරොතැලොනිල් අඩංගු දිලීර නාශකයක් සති 2 ක කාලාන්තර වලින් යෙදිය යුතුය.
⭕කැන් ආවරණය කිරීමද සුදුසුයි.

➖සිගටෝකා පත්‍ර ලප රෝගය➖
01) කහ සිගටෝකා රෝගය
✨️රෝග කාරකයා - Mycosphorella musicola
⭕පත්‍රයේ පාර්ශ්වික නාරටිවලට සමාන්තරව කහ දුඹුරු පාටට පැල්ලම් ඇති වේ.
⭕ඇතැම්විට මෙම රෝගය දරුණුම ආසාදනයවීම නිසා පත්‍ර වියලීයාම සිදුවිය හැක.
⭕අධි ඝණත්ව වගාවේදී හා වියළි කලාපයේ සුළං තත්ව සමඟ මෙම බීජාණු පැතිරීම වේගවත් වේ.
⭕අධි ඝණත්ව වගාවේදී මෙම රෝගය ආර්ථිකව හානිදායී රෝගයකි.
⭕තවද පොටෑසියම් ඌනතාව මෙම රෝගය වැළඳීමට පහසු තත්ව ඇති කරයි.
⭕තෙත් කලාපයේ නම් පරිනත පත්‍රවලට වැළඳෙන නිසා ආර්ථික වශයෙන් හානිදායී නොවේ.
⭕රෝග ලක්ෂණ ඇති වන්නේ සාපේක්ෂව පහල පත්‍ර වලයි.
(4-5 වැනි පත්‍ර)

02)කළු සිගටෝකා පත්‍ර ලප රෝගය
✨️රෝග කාරකයා - Mycosphorella fijiensis
⭕පාර්ශ්වික නාරටිවලට සමාන්තරව විහිදෙන පැල්ලම් තද දුඹුරු පාටට හුරුය.
⭕රෝග ලක්ෂණ ඇතිවන්නේ සාපේක්ෂව ඉහල පත්‍ර වලයි. (2-4 වැනි පත්‍ර)
⭕කහසිගටෝකා පත්‍ර රෝගයට සාපේක්ෂව මේ රෝගය ආර්ථික වශයෙන් හානිදායී වේ.
⭕මේ නිසා අස්වැන්න 35-50 පමණ අඩුවීමක් වියහැක.
⭕සියළු වගාකරන කෙසෙල් ප්‍රභේද මේ සඳහා ග්‍රාහී වේ.
⭕සාමාන්‍යයෙන් පත්‍ර 5ක් වත් නිරෝගී ඵලදායී තත්වයේ පැවතීම අස්වැන්න වැඩිවීමට බලපායි.
⭕මෙම රෝගය වැලදීම නිසා අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් ඇති විය හැක. එනම් ගෙඩි අපරිණත අවස්ථාවේ ඉදීම හා ඒකාකාර ඉදීමක් සිදුනොවීම වැනි තත්ව ඇතිවියහැක.
✨️රෝග පාලනය
⭕මෙම රෝගය දැනට ලංකාවේ වාර්තා නොවේ.
⭕රෝග ලක්ෂණ පවතීනම් එම ශාක ඉවත්කිරීමට කටයුතු කළයුතුයි.

➖කෝඩානා පත්‍ර ලප රෝගය➖
✨️රෝග කාරකයා - Codana musqe
⭕පත්‍ර තලය මතුපිට ඕවලාකාර පැල්ලම් ඇති වී ඒවා පත්‍ර දාරය දෙපසට පැතිරී යයි.
⭕මෙම පැල්ලම් දුඹුරු අළු පැහැති මධ්‍ය ප්‍රදේශයකින් යුතු අතර සංකේන්ද්‍රීය වලලු ආකාරයේ මෝස්තරයක් ලෙසද දැකිය හැක.
⭕එසේම ඒ පැල්ලම් කහපාට දීප්තිමත් වලයකින් වටවී ඇත.
✨️රෝග පාලනය
⭕ආසාදිත පත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුය.
⭕ක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශකයක් හෝ මැන්කොසෙබ් දිලීර නාශකය භාවිතා කළහැක.

✳️වෛරස් රෝග✳️

➖කෙසෙල් වඳපීදීම➖
⭕කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි.
⭕මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක.
⭕ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි.
⭕මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී.
⭕ඉදිරි වර්ධනයක් සිදුනොවේ.
⭕ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ.
⭕එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ.
⭕ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ.
⭕ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය.
⭕නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ.
⭕ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ.
⭕ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ.
✨️රෝග පාලනය
⭕රසායනික මර්දන ක්‍රමයක් නැත.
නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි.
⭕රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි.
⭕කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි.
⭕රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.
⭕වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක.
⭕ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.

➖බෝවන හරිතක්ෂයසහ ගොබ කුණුවීම➖
⭕පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය
විවිධ පරිසර තත්වයන් යටතේ පිපිඤ්ඤා විචිත්‍ර වයිරසයේ විවිධ මාදිලි මගින් මෙම රෝගය ඇති වේ.
⭕රෝග ලක්ෂණද වෛරස් මාදිලිය, පරිසරයේ උෂ්ණත්වය අනූව වෙනස් වේ.
⭕ආසාදිත ශාකවල හරිතක්ෂය වීම කුරුවීම සහ පත්‍රවල කහ පැහැති විචිත්‍රයක් පෙන්නුම් කිරීම මූලික රෝග ලක්ෂණ වේ.
✨️පාලනය
⭕රෝගී වගාවන්ගෙන් පැළ ලබා නොගන්න.
⭕රෝගී ශාක ගලවා පුළුස්සා විනාශ කරන්න.
⭕රෝග පාත්‍රී කුකබිටේසි, සොලනේසි කුලවලට අයත් බෝග කෙසෙල් සමඟ මිශ්‍රව වගා නොකරන්න.
⭕වගාව වල් පැළෑටිවලින් තොරව තබා ගන්න.

✳️බැක්ටීරියා රෝග✳️

➖බැක්ටීරියා කුණුවීම - Erwinia➖
✨️රෝග කාරකයා - Erwinia chrysanthemr
⭕මෙම බැක්ටීරියාව ආසාදනය නිසා කෙසෙල්වල රයිසෝමය තෙත් කුණුවීමට භාජනය වේ.
⭕තවද කෙසෙල් පත්‍ර නටුව කඳ සමඟ සම්බන්ධ වන ස්ථානයෙන්ද තෙත් ගඳ කුණුවීමක් දැකිය හැක.
⭕බැක්ටීරියා රෝග පාලනයට රසායනික ප්‍රතිකර්මයක් නැත.
⭕කෙසෙල් රයිසෝමයට ආසාදනය වී තිබේනම් කෙසෙල් පඳුර ගලවා විනාශ කිරීම හැර රසායනික පාලන ක්‍රමයක් නැත.
⭕එසේම මෙම රෝගය ආසාදිත ශාකයකින් නිරෝගී ශාකයකට ආසාදනයවීම භාවිතාකරන උපකරන මගින්ද සිදුවේ.
⭕එනම් ආසාදිත ශාකයක පරඬැලි කපා ඒ පිහිය සේදීමකින් තොරව නිරෝගී ශාකයක පරඬැල් කැපීමට යොදාගත්තොත් මෙසේ නිරෝගී ශාකයකට ආසාදනය වීමද සිදුවිය හැක.
⭕එමනිසා මෙම රෝගය කෙසෙල් පත්‍ර නටුව ව්‍යාජ කඳට සම්බන්ධ වන ස්ථානය ආශ්‍රිතව පමණක් දැකිය හැකි නම් පරඬැල් කැපීම සිදුකර එම ස්ථානයේ ක්ලෝරීන් 0.1g ක් ජලය ලීටරයකට දියකර ආලේප කිරීම පමණක් කළහැක.
⭕එසේම මුලින්ම නිරෝගී ශාකවල පරඬැල් කපා පසුව රෝගී ශාකවල පරඬැල් කැපීම කළයුතුයි. ඒ සෑම වාරයකදීම පිහිය ක්ලෝරීන් ද්‍රාවණයක ගිල්වා සෝදා ගැනීමද වඩාත් සුදුසුයි.
ඉතින් අවසානයේදී මතක් කරන්න ඕන කෙසෙල් කියන්නේ ලංකාවේ අපිට නැතිවම බැරි දෙයක් , උස්තසව අවස්තාවක් ගත්තත් එතන කෙසෙල් නෑ කියන්නෙ පරිප්පු නැති හෝටලේ වගේ ඒ නිසා ලංකාවේ එම කෙසෙල් අවශ්‍යතාවය නිසා වෙළඳපොල තුළ කෙසෙල් සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා.
අදහසක් විදියට කල්පනා කරලා බලන්න කෙසෙල් සඳහා විශේෂ වූ දේශගුණික කලාපයක් නෑ , අවුරුද්ද පුරාම ඵල දරනවා , රෝගාබාධා වුනත් අනෙවාට සාපේක්ෂව අඩුයි .හැබැයි ඉල්ලුම වැඩියි . එයත් දේශීය වෙලඳපොළ වගේම විදේශීය වෙළඳපොලෙත්. එම නිසා අපනයනික භෝගයක් වශයෙන් ලංකාවේ කෙසෙල් වගාව දියුණු කරන්න පුලුවන්නම් අපිට ලොකු ආදායමක් රටට ගෙන්නවා ගන්න පුළුවන්.
ඔබත් උත්සාහ ගන්න එවන් දෙයක් කරන්න , විදේශීය වෙලඳපොළ ඉලක්ක කරගෙන ලංකාවෙන් උසස් ගුණාතමක කෙසෙල් අපනයන කරන්න.

❤️අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී
ස්තුතිය ..බිංතැන්න.

" මුගටියා" ගැන අපි නොදන්න කතා “ගම්බද සහ නගරයට තදාසන්න පරිසරවලදී වගේම නාගරිකවත් සුලභව මුගටින් දකින්න පුළුවන්. අපේ රටේ සැම...
19/07/2024

" මුගටියා" ගැන අපි නොදන්න කතා

“ගම්බද සහ නගරයට තදාසන්න පරිසරවලදී වගේම නාගරිකවත් සුලභව මුගටින් දකින්න පුළුවන්. අපේ රටේ සැම තැනම එක නමකින් හැඳින්වූවත් මුන් උප-විශේෂ හතරකට අයිතියි.

උතුර, උතුරු-නැ‍ඟෙනහිර සහ මධ්‍යම කඳුකරයේදී වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න පුළුවන් මේ හුරුබුහුටි සතුන් සමේ වර්ණය අනුවත් වෙන් කර හඳුනාගන්න පුළුවන්. පොළොව මට්ටමින් අඟල් හයකට වඩා උස නැති අඩියකට වඩා තරමක් දිගු මුන්ගේ සිරුර පුරා අළු-දුඹුරු පැහැති රෝම පිහිටනවා. වල්ගය සිරුරට සාපේක්ෂව දිගයි. මුල රෝම ගුළියක් වගේත් කෙළවර තුඬක් වගේත් පිහිටනවා. පිරිමි සතා රාත්තල් තුනක් පමණ බර වුණත් ගැහැනු සතා රාත්තලක්වත් බර නෑ. මීයන්, කටුස්සන් වගේම කුඩා සර්පයන්, කුරුලු බිත්තර, බිම හැසිරෙන කුරුල්ලන් මුගටි අහර මෙනු-පත සරු කළත්, සුදුසු ආහාරයක් නැති වුණාම වේ තුඹසකට හොම්බ දමා පිලාවදවලිනුත් යැපෙනවා.

“ගම් තුලානේ පහුරුගගා ඇවිදින ගම් කුකුළන් වගේම කුකුළු කූඩුවල කිකිළියන් මරාදැමීමට මුගටින් බොහෝ සමත්. ප්‍රශ්නේ තියෙන්නේ කුකුළන් මරා කන්න නෙවෙයි මුන් කැමති. බෙල්ල සපා ලේ බොන්නයි. ඒ නිසා කොටුවකට වැදුණොත් වැඩි සතුන් සංඛ්‍යාවක් නිරපරාදේ මරාදමන නිසා මුගටින් කුකුළු ගොවීන්ගේ සතුරෙක්. ඒත් ගොළුබෙල්ලන්ගේ මද කා කටුව ඉතිරි කරන නිසා මුන් කෘෂි ගොවීන්ගේ මිතුරෙක් හැටියටයි සැලකෙන්නේ. ඒ වගේ පුරුදු නිසා අමුතුවෙන් වතුර සොයාගෙන යන්න ඕනෙ නෑ.

“මුගටින්ගේ අභිජනන සමයේ අමුතු රැඟුමක් නෑ. පැටවුන් බිහි වන්නට කොපමණ කාලයක් ගත වනවාද කියලත් නිශ්චිතව කියන්න හැකියාවක් නෑ. මොකද: උන් ගැබ්බර කාලේ අනෙක් සතුන් මෙන් වෙනසක් පෙන්වන්නේ නැති නිසා. ඒත් ජෝඩුව එකට ගමන් කරනවා දකින්න පුළුවන්. පැටවුන් ලැබෙන කාලෙට මව තනිවම හෝ පියාත් සමඟ එකතුව පොළොවේම අවපාතයක් සදාගන්නවා. ඒ කෙළවරක පැටවුන් බිහි කරනවා. තාත්තලා පැටවුන් ගැන සොයන්නවත්, ආරක්ෂාව සපයන්නවත් ඉන්නේ නැහැ. පැටවුන් ඉපදෙන්නේම ඇස් ඇරලා. ඒ නිසා කිරි බොන අතර ඉක්මනින්ම අම්මා පස්සේ වැටී කෑම සොයන්න යනවා.

“මුගටින් වගේමයි හෝතඹුවනුත් හැසිරෙන්නේ. උන්ගේ ශරීර වර්ණය වඩා දුඹුරු පැහැයට හුරු වුණත්, උනුත් මුගටි වර්ගයට අයත් උප-විශේෂයක්. මේ දෙගොල්ලන්ම තරහ ගිය විටත් බිය වුණු විටත් හීන් හඬකින් කෑගහනවා.”

“නයි-මුගටි හටන ගැන ගැමියන් අතර තිබෙන්නේ එක-එක මත. ඇත්තෙන්ම මුගටියාට නයි විසෙන් බේරී සිටීමේ විශේෂ හැකියාවක් තිබේදැයි සැකයක් විද්‍යාඥයන් අතර පවතිනවා. නොවැළැක්විය හැකි විදිහට දෙන්නා මුණගැසුණොත් මුගටියා රෝම පුම්බාගෙන සිරුර දෙගුණයක් විශාල කර, කඩිසරව එහා-මෙහා පනිමින් නාගයාට පෙලඹවීමක් ඇති කරනවා තමන්ට දෂ්ට කරන්න. එහෙම කීපවරක් කළාම නයි විස අඩු වනවා; නයා හෙම්බත් වනවා. එතකොටම නයාගේ බෙල්ලට පැනලා මුගටියා හපනවා. ඒ ගමන්ම මුගටියා කැලේට දුවලා රහස් කොළ වර්ගයක් කනවා කියලා තමයි ගැමියන්ගේ වගේම සත්ත්ව විද්‍යාඥයන්ගේත් විශ්වාසය.

“තවත් විශ්වාසයක් තමයි මුගටියාට සටන දිනාගන්න බැරි මට්ටමට එනවා නම් ඇළි මුගටියකු පිටේ තියාගෙන සටනට එනවා කියන-එක. නයි විෂවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇළි මුගටියාට තිබෙනවා කියලයි විශ්වාස කරන්නෙ. ඒ නිසා ඌ පැන පැන නයාව හපනවාලු. විද්‍යාත්මකව ඇළි මුගටින් බිහි වෙන්න පුළුවන්. ඒත් මම නම් කවදාවත් උන් දැකලා නෑ. ඇළි මුගටියා නයා මරපු ගමන් නික කොළ හරි වෙනත් හඳුනා නොගත් කොළයක් හරි කන්න කැලේට දුවනවා කියලත් මතයක් තිබෙනවා.

“අවරුදු දහදාහක් විතර මිනිසුන් සමඟ සම්බන්ධතාවක් ඇති මුගටියා වසර දස ලක්ෂ තිහක කාලයක් තිස්සේ පැවතෙන සතෙක්...

උපුටා ගැනිමකි ..

මී ගස ++++++පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන...... “Mabhuc...
22/06/2024

මී ගස
++++++
පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන......

“Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හැදින්වෙන මිගස විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකිය. මෙම විශේෂ 7 න් 4ක්ම අප රටට ආවේනික ශාක වීම විශේෂත්වයකි.

මීගස ඍජු කඳ සහිතව අඩි 50 ක් 60 ක් ක් පමණ උසට වර්ධනය වේ. මෙහි නොමේරු කොළ සහ ළපටි කොටස් වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණ පොත්ත අළු පැහැයක් ගනී.

මී මල් වල ඇත්තේ කහපාටට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුලේ දිලිසෙන සුළු බීජ ඇත. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය.
අපරටේ හමුවන පරිසර හිතකාමීම ශාකය මී ගසයි.

එදා රජ දවස දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස සදහන් කලා. එසේ වුවත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මී ගස කැපීමට ලංකාවේ වැසියන්ට අවසර ලැබෙනවා. එපමණක් නොව අපේම රටේ වැසියන් ලවා මෙම මීගස් කපාහෙල බවත් සඳහන්.

ඇයි? එදා අපේ රජවරුන් මෙම ශාඛය රැකීමටත් විදේශිකයන් මෙය විනාශ කිරීමටත් හේතූව වූයේ .!

මෙම මී මල් පිපෙන කාලෙට හා ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමගුල් වගේ. ඒ වගේම වවුලන් මෙම මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුබුරු පුරා වසුරු දානව. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමන ප්‍රමාණයක යූරියා කිලේ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම පසට නයිට්‍රජන් ලැබෙනවා,මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නෑ, නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය ලබාදෙනවා.
එසේම මී ගසේ කොළ කුඹුරට වැටුනම ඒ කොලත් කුඹුරට අගනාම පොහොරක් වෙනවා.

අද කලේ බරපතලම රෝගයක් වී ඇති වකුගඩු නරක්වීමට ප්‍රධානම හේතුවක් ලෙස රසායනික පොහොර වල තිබෙන බැරලෝහ හේතූවක් බව හැමෝම වගේ දන්නව. නමුත් අතීතයේ පැවති මී ගස හරිහැටි අපේ මුතුන් මිත්තන්ටත් අපිටත් රැක ගන්න හැකි වුණා නම් අද දවසේ අපට වකුගඩු රෝගය යන්න බරපතල රෝගයක්ව නොවන්නට ඉඩ තිබුණි.

අපගේ ආහාර ඇතුලත් වියයුතු විවිධ ඛණිජ ලවන වර්ග අපට ලැබෙන්නෙ අපි විසින් ලබා ගන්නා ආහාර වලින්. එම ආහාර මිනිසා ලබා ගන්නේ ශාඛ වලින්. ශාඛ එම ඛණිජ වර්ග ලබා ගන්නේ පසෙනි.
පසේ ඇති ඛණිජ ලවන මුලින්ම බැක්ටීරියා විසින් ජීරණය කළ පසුව ගස්වලට උරාගනු ලබයි.

නමුත් වර්තමානයේ කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නා වස විස නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වී ඇත. මෙම හේතුව නිසා පසේ ඇති ඛණිජ ලවන ජීර්ණය සඳහා අවස්ථාවක් නැත. ඒනිසාම ශාඛ වලට අදාල පෝෂ්‍ය පදාර්ථ කොටස් උරාගැනීමට හැකියාවක් නොමැත.
අපි විසින් ආහාරයට ගන්නා එළවඵ සහ පළතුරු වල නියම රසය, පැහැය සහ ගුණය අද නැති වීමට ප්‍රධාන හේතුව මෙයයි. එසේ වුවද ඇතැම්විට ඵලදාව නම් බොහෝ වට වැඩි වී ඇත්තේ රසායනික පොහොර භාවිතය නියාය.

අපි කියන මෙම මීගස ස්වාභාවිකවම පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නොමැති කාලෙට කෘමීන්ව ආහාරයට ගනු ලනව. මෙලෙසින් වී වගාවට සහ වෙනත් බොහෝ වගාවලට හානිකරන පලිබෝධකයන් ස්වභාවිකවම පාලනයක් සිදුවෙනව.

කුඹුරු අක්කරයකට සෑහීමට ප්‍රමානවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුලුවන්. එ් නිසාමයි මෙම ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමිව ඇත්තෙ.

මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් විවිධ ආහාර සඳහා යොදාගන්නවා. මී මල් වලින් කැවුම් හා හැලප හදනවා.

තෙල් සිදීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලා. මෙම මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් අතීතයේ අපේ පැරැන්නෝ යොදාගෙන තිබෙනවා.

එමෙන්ම මී මුරු කොහොඹ හා සුදුලූනු පොතු එක්කර ගෙවල්වල දුම් ඇල්ලීම පැරැන්නන්ගේ සිරිතක් වෙලත් එදවස තිබී ඇතිබව අද සිටින වැඩිහිටියන් ගෙන් දැනගැනීමට හැකියි. එසේම එම දුම නිසා ගෙදර තිබෙන විශබීජ වීනාශවෙන අතර ප්‍රසන්න සුවඳක්ද ලැබෙයි.

අතීතයේ දරුවෙකුගේ ඉපදීමෙන් පසුව මෙලෙස දුම් ඇල්ලීම අනිවාර්‍ය කාරණයක් වෙලත් පැවතිලා තියෙනව.

අනෙක් වැදගත්ම කාරණය වන්නේ හෙළ වෙදකම සදහා මෙම මී ගස ප්‍රයෝජනයට ගෙන තිබීමයි. අදටද මෙම ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා.

රෝගයන් ලෙස රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ග්‍රහනියේ රෝග, ක්ශයරෝගය, මුත්‍රා ආසාධනයන් සුවපත් කිරීම සදහා මී ගසේ විවිධ කොටස් යොදාගන්නවා.
වේදනා නාශක ලෙස මී තෙල් වලට ඇත්තේ ඉතාම වැදගත් තැනකි.

අතීතයේ අද මෙන් විදුලිය නොතිබූ අතර ඒ සඳහා මීතෙල් වලින් කුප්පි ලාම්පු සකසා පාවිච්චි කර ඇත. එසේම ඒ මගින් සාමාන්‍ය කුප්පි ලාම්පු වලින් ඇතිවන ඇස් දැවිල්ල ඇති නොවේ

සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගසක් දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.
එසේ විශිෂ්ට ශාකයක් වන මෙම ගස එදා අතීතයේ මුතුන් මිත්තන් රැක ගත්තා හා ප්‍රයෝජනයට ගත්තා සේම අපට අද දවස තුළ කළ යුතු ඉතාම වැදගත් යුතුකමක් වේ. එනම් එදා ඒ පැරැන්නන් විසින් ප්‍රයෝජනයට ලබාගත් මේ ගස අද දවස රෝපණය කර රැක ගැනීමයි.

ඉතින් ඔබ රැකගන්නේ ගසක් ම නොව ජාතියකි. අපේ අභිමානයකි. ඒ මතු පරපුරටයි.

(උපුටා පළකිරීමකි....
අයිතිය සහ ස්තූතිය මුල් හිමිකරුට)

අසිරිමත් කණාමැදිරියා - Fire Fly---------------------------------කණාමැදිරියා ඔබ කව්රුත් කුඩා කල පටන් හඳුනන කෘමි සතෙකි. අප...
16/05/2024

අසිරිමත් කණාමැදිරියා - Fire Fly
---------------------------------

කණාමැදිරියා ඔබ කව්රුත් කුඩා කල පටන් හඳුනන කෘමි සතෙකි. අප කව්රුත් කුඩා කල උන් ගැන ඇති වුයේ කුතුහලයකි. ඊට ප්‍රධාන හේතුව උන් නිකුත් කරන එළියයි. ඒ නිසාම අපි කුඩා කල උන් අල්ලා බෝතල් වල දමා සෙල්ලම් කල අයුරු මේ ලියන මොහොතේත් මගේ මතකයට එයි. නමුත් කීයෙන් කී දෙනාද මොවුන් ගැන නිවැරදි තොරතුරු දන්නේ. මේ ලිපියෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ කණාමැදිරියාගේ අසිරිමත් ජීවන තතුයි.

ලොව පුරා කණාමැදිරියන් විශේෂ 2,000 ක් පමණ සිටින අතර සියලුම කුරුමිණියන් මෙන්, කණාමැදිරියන් ඔවුන්ගේ ජීවන චක්‍රයේ අදියර හතරක් සහිත සම්පූර්ණ රූපාන්තරණයකට භාජනය වේ. එනම්, බිත්තර, කීටයන්, පිළවා සහ සුහුඹුලා ලෙසයි.

බිත්තර අවධිය (කළල අවධිය)
කණාමැදිරියන්ගේ ජීවන චක්‍රය ආරම්භ වන්නේ බිත්තරයකිනි. සංසර්ගයේ යෙදෙන ගැහැණු සතුන් ගෝලාකාර බිත්තර 100 ක් පමණ තනි හෝ පොකුරු ලෙස පසෙහි හෝ පසෙහි මතුපිට තැන්පත් කරයි. කණාමැදිරියන් තෙතමනය සහිත පස් වලට වැඩි කැමැත්තක් දක්වන අතර බොහෝ විට ඔවුන්ගේ බිත්තර, වසුන් හෝ කොළ රොඩු යට තැන්පත් කිරීමට තෝරා ගනී, එහිදී පස වියළීමට ඇති ඉඩකඩ අඩුය. සමහර කණාමැදිරියන් බිත්තර කෙලින්ම පසෙහි නොව කුඩා පැල මත තැන්පත් කරනු ඇත. මේ බිත්තර වලින් සාමාන්‍යයෙන් සති තුනක් හෝ හතරක් තුළ පැටවුන් බිහි වේ. සමහර කණාමැදිරියන්ගේ බිත්තර Bioluminescent වන අතර පසෙහි ඒවා සොයා ගැනීමට ඔබ වාසනාවන්ත නම් ඒවා අඳුරු ලෙස දිලිසෙන බව ඔබට පෙනෙනු ඇත.

කීට අවධිය
බොහෝ කුරුමිණියන් මෙන්, කණාමැදිරි කීටයන් පණුවන් මෙන් පෙනේ. මෙම කීටයන් අප රෑබදුල්ලා ලෙස හඳුන්වයි. සැබවින්ම මෙය ඔබ දැන ගෙන සිටියාද? රෑබදුල්ලා යනු වෙනමම ජීවී විශේෂයක් නොවේ. පෘෂ්ඨීය ඛණ්ඩක සමතල ස්වරූපයක් ගන්න අතර එම ඛණ්ඩක එකිනෙක අතිච්ඡාදනය වෙමින් පිටුපසට හා පාර්ශවිකව විහිදේ. කණාමැදිරි කීටයන් ආලෝකය නිපදවයි. ජීවීන් තුල මෙම ආලෝකය නිපද වීම Bioluminescent ලෙස හැඳින්වේ. මෙම ආලෝකය නිපදවීම වෙනත් ජීවීන් තුලද දක්නට ලැබේ. කණාමැදිරි කීටයන් සාමාන්‍යයෙන් පස තුල කොළ රොඩු අතර වාසය කරයි. රාත්‍රියේදී ඔවුන් හම්බෙල්ලන්, ගොළුබෙල්ලන්, පණුවන් සහ වෙනත් කෘමීන් දඩයම් කරයි. ඔවුන් ගොදුර ග්‍රහණය කර එයට ජීරක එන්සයිම විදිනු ලැබේ. එවිට ගොදුරු වූ සතා අඩපණ වන අතර මරණයට පත්වීමත් ඉන්පසු ජීරක එන්සයිම නිසා ද්‍රවයක් බවට පත් වීමත් සිදු වේ. එම ජීරණය වූ ද්‍රවය ඔවුන් ආහාර ලෙස ගනියි. සමහර විශේෂ වල කීට අවධිය වසරකට වඩා වැඩි කාලයක් පවතින අතර කීටයන් වර්ධනය වන විට පිටත සැකිල්ල එනම් බහිෂ්සැකිල්ල (Exoskeleton) හැව හරිනු ලබයි. මෙසේ පිළා අවධිය තෙක් කීපවරක් සැව හැලීම සිදු කරන අතර නව බහිෂ්සැකිල්ලක් හට ගනී. කීටයන් පිළා අවධියට පෙර අඟලෙන් හතරෙන් තුනක් පමණ දිගින් යුක්ත වේ. (දිග ප්‍රමාණය විශේෂය අනුව වෙනස් වේ).

පිළා අවධිය
කීටයා පිළා අවධියට ළගා වන විට පස තුලට වැදී මඩ වලින් කුටියක් සාදා ගෙන ඒ තුල ජීවත් වීමට පටන් ගනී. සමහර විශේෂ වල කීටයන් ගසක පොත්තකට සම්බන්ධ වන අතර උඩු යටිකුරු ලෙස එල්ලී පිළා කෝෂය සාදා ගනී (සමනලයන්ගේ දළඹුවන් මෙන්).

කීටයන්ගේPupal අවධියේදී කැපී පෙනෙන පරිවර්තනයක් සිදු වේ. හිස්ටොලයිසිස් (Histolysis) නම් ක්‍රියාවලියේදී කීටයන්ගේ ශරීරය බිදෙන අතර අතරTransformative සෛල සක්‍රීය වේ. මේ සෛල ආකාරය හිස්ටොබ්ලාස්ට්(Histoblast) ලෙස හැඳින්වෙන අතර මෙම සෛල කාණ්ඩය මගින් කීටයන් සුහුඹුල් ස්වරූපයට පරිවර්තනය කරන ජෛව රසායනික ක්‍රියාවලිය ආරම්භ කරයි. රූපාන්තරණය සම්පුර්ණ වූ විට, සුහුඹුල් සතා එලියට පැමිණේ.මේ සඳහා දින10 සිට සති කීපයක් ගත වේ. එය විශේෂය අනුව වෙනස් වේ.

සුහුඹුල් අවධිය
සුහුඹුල් කණාමැදිරියා ලෙස බාහිර පරිසරයට පැමිණෙන විට ඔවුන්ගේ ඊළග කාර්ය වන්නේ ප්‍රජනනයයි. විරුද්ධ ලිංගිකයන් තමා වෙතට ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් එළි දල්වමින් පියඹා යයි. සාමාන්‍යයෙන් පිරිමි සතා බිමට ආසන්නයේ පහත් ලෙස පියාසර කරන අතර උදරයේ ඇති විශේෂිත ඉන්ද්‍රිය මගින් සංඥා එළි දල්වයි. පඳුරු මත රැඳී සිටින ගැහැනු සතුන් පිරිමි සතාගේ මෙම විශේෂ ආරාධනාව බලාපොරොත්තුවෙන් සිටියි. මෙම විශේෂ සන්නිවේදන හුවමාරුව අවසන් වන්නේ පිරිමි සතා සහ ගැහැණු සතා එකිනෙක හමු වී සංසර්ගයේ යෙදීමෙන් පසුය. ඇතැම් විට කණාමැදිරි සුහුඹුල් සතුන් ආහාර නොගනී. ඔවුන් ප්‍රජනනය කිරීමෙන් පසුව මිය යයි. ඔවුන් ආහාර ගන්නේ නම් එවිට වෙනත් කෘමි සතුන් දඩයම් කර ගනී.

ගැහැණු කණාමැදිරියන් සමහර විට අමුතුම දඩයම් උපක්‍රම භාවිතා කරමින් වෙනත් විශේෂවල පිරිමි සතුන් ආකර්ෂණය කර ඔවුන්ව මරා අනුභව කරති. කෙසේවෙතත්, වැඩිහිටි කණාමැදිරියන්ගේ ආහාර පුරුදු ගැන වැඩි යමක් නොදන්නා අතර සමහර කණාමැදිරියන් පරාග හෝ පැණි වලින් පෝෂණය වේ යැයි සිතනු ලැබේ.

සමහර විශේෂ වල ගැහැණු වැඩිහිටි කණාමැදිරියන්ට පියාසර කිරීමට නොහැකිය. එම ගැහැණු සතුන් කණාමැදිරි කීටයන්ට සමාන වන අතර විශාල, සංයුක්ත ඇස් ඇත. සමහර කණාමැදිරි විශේෂ ආලෝකය නිපදවන්නේ නැත. උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ, බටහිර කැන්සාස් වලින් හමු වූ විශේෂ දිලිසෙන්නේ නැත.

මිත්‍යා මත
රෑබදුල්ලන් දෂ්ඨ කල විට ප්‍රතිකාර සඳහා අහසේ තරු සහ මුහුදේ මඩ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බව. මින් ප්‍රකාශ කරනුයේ ඉතාමත් විෂ සහිත සතෙකු බවයි. මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

අවසාන වශයෙන් මෙය කිව යුතුමය. ඔබට මතක ඇති අප කුඩා කාලයේ කණාමැදිරියන් ඉතා බහුල ලෙස පරිසරයේ දැක ගැනීමට හැකි වුනා. නමුත් අද වන විට මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඔවුන් කලාතුරකින් දැක ගැනීමටයි ලැබෙන්නේ. මීට ස්ථීරව කුමන සාධක බලපාන්නේ දැයි කිව නොහැකි නමුත් ඍජුවම මේ සඳහා මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇති බව කිව හැකිය. මොවුන් කෘෂි කර්මයට ඉතාමත් වැඳගත් කෘමි සතුන්ය. ස්වාභාවික පලිබෝධනාශක සතුන්ය. වගාවට හානිකර ගොළුබෙල්ලන්, හන්ගොල්ලන්, පනුවන් විශේෂ සහ වෙනත් හානිකර කෘමීන් මොවුන් විසින් දඩයම් කර ඔවුන්ගේ ගහන ඝනත්වය පාලනය කරයි. මේ ගැන පැරණි මිනිසුන් දන්නා නිසා ඔවුන් මේ සතුන් විනාශ කලේ නැත. රෑබදුල්ලන් හමුවන තැනක නිරීක්ෂණය කරන්න ඔබට මිය ගිය ගොලුබෙල්ලන්ගේ කටු සොයා ගත හැකිය. මොවුන්ගේ විනාශයට කුඹුරු ඇතුළු වෙනත් වගාවන්ට කෘමි නාශක සහ වල්නාශක භාවිත කිරීම මේ තත්වයට හේතු වුනා විය හැකිය. මේ නිසා පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටී වඩාත් හානිකර පලිබෝධකයින්ගේ ගහනය වැඩි වීම අපේක්ෂා කල හැකිය. දිනෙන් දින පෘථිවිය මිනිසා වනසමින් සිටියි. මිනිසා ස්වභාව ධර්මයට විරුද්ධව ක්‍රියා කිරීමේ විපාක අප අද විඳිමින් සිටිමු. මේ තත්වය තේරුම් ගෙන තණ්හාව සහ බලය කෙරෙහි ඇති ලෝභය නැති කර ගත් දිනෙක ලෝකය වඩාත් සතුටුදායක වනු ඇත. කෘතීම ජීවියෙක් නොවී ස්වාභාවික ජීවියෙක් ලෙස ස්වභාව ධර්මයට ආදරය කරමු, රැක ගනිමු.

උපුටා ගැනීම - මොහාන් කළුආරච්චි..

Address

Abhayapura
Mahiyangana

Telephone

+94762769162

Website

Alerts

Be the first to know and let us send you an email when Keja Farm කේජා ගොවිපළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Keja Farm කේජා ගොවිපළ:

Share