26/04/2024
😍😍 දෙවෙනි තුන්වෙනි පාර බබාලා ගේන අම්මලා තාත්තලාට,
💕මගේ ගෙදර වැඩිමහල් දරුවා මම. මට අවුරුදු 3 1/2න් මගේ අම්මා චූටි නංගියෙක් ගේනවා. මං ස්වාධීනව හැදුණු ළමයෙක් නෙමෙයි. තාත්තාගේ මහ ගෙදර ජීවත් වුණ නිසා අපි පාවිච්චි කලේ එක කාමරයක්. ඉතින් වෙනම ඇඳක හෝ කොට් එකක මං නිදා ගත්තේ නැහැ. ඇඳේ නිදා ගත්තෙත් තාත්තාගේ පපුව උඩ හෝ පිටේ. දුවලාගේ හිත් හොඳින්ම හඳුනන්නේ තාත්තා. ඒ නිසා වෙන්න ඇති තාත්තාගේ ඇඟේ නිදා ගනිද්දී රෝල් වෙලා වැටෙන්නේ නැතිව ඇඳ තෙමන්නේ නැතුව නිදාගන්නේ.
💕මෙහෙම සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී මගේ මව්පියන් තේරුම් ගන්නවා හැමදාම මහ ගෙදර කාමරයක ජීවත් වෙන්න බැහැ දරුවන් ස්වාධීනව හදන්න කලින් ඔවුන් ස්වාධීන වෙන්න ඕන කියලා. ඉතින් තාත්තා විදේශ ගත වෙනවා. ඒ වෙන්කොටත් මේ චූටි නංගි ඉපදෙන්න ඔන්න මෙන්න. තාත්තා රට ගිහින් මාස එකහමාරෙන් නංගි බබා ගෙදර අරන් එනවා.
💕එදා මට තිබුණු කුතුහලයේ තරම. රෝසම රෝස පාට නංගිව ගෙදර ගේනකොට මං හිටියේ අම්මගේ මහ ගෙදර. ලිංග භේදයක් ගැන මෙලෝ සසරක් නොදැන හිටපු මං මල්ලි බබා කියලා මේ චූටි කෙල්ලට කියද්දී "this is your nangi" කියන්න අම්මා අමතක කලේ නැහැ.
💕සැරින් සැරේ නෑයෝ එනවා, තෑගි බෝග ගේනවා, අපි ඔයාගේ නංගිව අරන් යන්න ද අහනවා, ඔයා කැතයි නංගි බබා ලස්සනයි කියනවා.
💕වරක් නෑ කෙනෙක් තෑගිත් අරන් නංගි බලන්න ආවම මං කාමරේට ගිහින් ඒ තෑගි පාර්සලේ අරන් " mama, is this for me?" කියලා අහද්දිම, නෑ නෑ, ඔයාට නෙමෙයි නංගිට ගෙනාවේ. අර ආපු අමුත්තෙක් පිළිතුරු දෙනවා. ඔයා දැන් ලොකුයි, ඔයාගේ දේවල් දැන් නංගිට දෙන්න, දැන් අම්මත් නංගිගේ. ඔන්න ආපු අමුත්තා මට කියනවා.
💕ඊට පස්සේ කවුරුහරි බබා බලලා යන්න ගෙදර ඇවිත් ගියාම මං නංගිගේ කකුලේ ඇඟිලි හොරෙන් හපන්න ගත්තා. එයාට කිරි දෙද්දී මං අඬනවා. මෙතුවක් කල් ඉන්ජෙක්ෂන් එකක් විදිනකොටවත් අඬපු නැති මං පුළුවන් තරම් හයියෙන් අඬලා නිදාගෙන ඉන්න නංගිව අවදි කරවනවා.
💕පසු දා මට හොඳටම උණ. බෙහෙත් අරන් ආවට සනීප වෙන පාටක් නැහැ. පහුවදා වෙද්දී එක කකුලක් ඉදිමිලා මං කොර ගහන්න ගන්නවා, තව පැය කිහිපයක් යදී හොඳටම ඇවිද ගන්න බැරිව තාත්තාව ඉල්ලා අඬනවා නිසා ළමා රෝහලට එක්ක යනවා. එහෙදී මාව ඉස්පිරිතාලෙ නවත්තනවා ආච්චි අම්මා එක්ක. කරන්න පුළුවන් හැම පරික්ෂණයක්ම වෛද්‍යවරුන් විසින් කරනවා. ඒ කාලේ බරවා රෝගය තිබුණු නිසා ඔවුන් බරවා හා පෝලියෝ රෝග පරීක්ෂණ සඳහා වැඩි අවධානයක් යොමු කලා.
💕අවසාන වතාවට ඔවුන් තහවුරු කරනවා මට ඇති රෝගයක් නැහැ. අළුත් පරිසරය හා වටපිටාවේ වෙනස නිසා මා මානසික පීඩාවකින් සිටින බවට.
💕එදා වෛද්‍යවරුන් මගේ අම්මව රෝහලට ගෙනවගන්නවා. ඔවුන් එදා කියපු වචන ටික මගේ අම්මා ලියා තියාගෙන දවස ගානේ කියවමින් මට නව පරිසරයක් ගොඩ නගා දෙනවා. එදා ඇයට ඔවුන් දීපු උපදෙස මං මෙසේ සඳහන් කරන්නම්.
💕" උඩුබැලි අතට නිදාගෙන ඉන්න අළුත උපන් බබාට වඩා කලින් උපන් දරුවන්ට ආදරේ අවශ්‍යතාව වැඩියි. මෙතුවක් කල් තනියම නිදාගෙන නැති දරුවා දැන් ආච්චි ළඟින් නිදා ගන්නවා. උපන් දා පටන් තාත්තා නැතිව ඇඳට නොගිය දරුවගේ පියා දැන් ඇය ළඟ නැහැ. වැඩිමලා කියා හෝ බාලයා කියා වෙනසක් නැහැ. දරුවෝ ඔක්කොම එක වගේ. ඔවුන්ට ඕන ආදරේ. අළුත උපන් චූටි නංගිව අක්කගේ ජීවිතේ කොටසක් කරන්න. ඇයට නංගිව අතපත ගාන්න, හාදු දෙන්න අවස්තාව දෙන්න. ගෙදරට එන අය ගේන තෑගි ඔයාලා දෙන්නටම කියා කියන්න. අම්මගේ අධීක්ෂණය යටතේ චූටි බබාව අක්කගේ උකුලෙන් ටිකක් තියන්න. නන්ගිට කවන බේබි ෆුඩ් ටිකක් අක්කටත් රස බලන්න දෙන්න. නංගිගේ හොඳම ආරක්ශකයා අක්කා බව පවසන්න. අක්කා වෙනුවෙන් අම්මයි තාත්තයි ලබා දීපු වටිනාම තෑග්ග නංගි බව දැනෙන්න ඉඩ හරින්න"
💕මුලින්ම අම්මා මාව රෝහලෙන් ගෙදර ගෙනවිත් වහාම අම්මගේ මහ ගෙදරින් මා සුපුරුදු පරිදි හිටපු තාත්තාගේ මහ ගෙදරට පිටත් වුණා.කිසිම නෑදෑයෙකුට ටික දවසකට බබා බලන්න එන්න එපා කියා ඇය දැනුම් දුන්නා. ටික වෙලාවකින් බ්‍රවුන් පේපර් කඩදාසියක ඔතපු තෑග්ගක් දුන්නා.
💕"Nangi baba brought this gift for her akki, this is for you"
අම්මෝ එවෙලේ මට දැනුණු සතුට. චූටි රෝස පාට ඩොක්ටර් සෙට් එකක් මට නංගි තෑගි දීලා. එදා තාත්තා කෝල් කලාම නංගි මට තෑග්ගක් දුන්නු බව මා කියා සිටියා.මේ ක්‍රමය අනුගමනය කරද්දී මට නැවතත් ටික දිනකින් කකුල යතා තත්ත්වයට පැමිණ ඇවිදින්න පුළුවන් උනා.
💕නංගිව නිදි කරවද්දී අම්මා මට කියා සිංදු කියෙවුවා.
ඇයව නාවනකොට සබන් ගාද්දි ඇගේ එක අතකට මං සබන් ගානවා.
ඇයට හාදු දෙන්න ඇයව වැළඳ ගන්න මට ඉඩ දුන්නා.
ඇයට කෑම කවන අවදිය එද්දී ඇගේ හැන්දෙන්ම මටත් කටක් කවා මං ලවුවා නංගිටත් කෑම කටක් කවනවා.
ඇයට පළතුරු යුශ, බත්කැඳ කිරි බෝත්ලේට දාලා දුන්නම සමහවිට එම සූප්පුවෙන්ම මාත් බිවුවා.
ඇගේ නැපි හා ඇඳුම් නවන්න මට අවස්තාවක් ලැබුණා.
ඇගේ උපන් දිනේට කේක් කපද්දී මාත් පිහිය අල්ලන් හිටියා.
ඇයට මුලින්ම අකුරු කියද්දී මා ලවුවා සද්ද උච්චාරණය කෙරෙවුවා.
💕එදා මේ නංගි මගේ කියලා ඉතා සූක්ෂමව අම්මා මට දැනෙන්න හැරියා. මේ දේවල් දකින ගොඩක් ඈයෝ විශබීජ ගැනයි ඕන දේ එපා දේ අවවාද දෙන්න එද්දී අම්මා ඔය සේරම එක හෙලා ප්‍රතික්ෂේප කලා.
💕එදා සල්ලි වලින් වහ වැටුණු වෛද්‍යවරුන් වෙනුවට දෙවිවරු වගේ නොමිලේ උපදෙස් දීපු එම වෛද්‍යවරුන්ට අදටත් මගේ අම්මා පිං දෙනවා. නංගි මගේ කියා එදා මට දැනුණු හැඟීම, නංගිගෙන් පසු උපන් මල්ලි වෙනුවෙන් මටයි නංගිටයි දෙන්නටම දැනෙන්න දුන්නා.
එදා පටන් හිමින් හිමින් ආපු මේ ගමන තුල වගකීම් ටිකෙන් ටික එකතු වෙලා මං ස්වාධීන වෙනවා.
නංගිගේ මල්ලිගේ හෝම් වර්ක් කරවන්න.
මං අපි තුන් දෙනාගෙම සුදු ඇඳුම් මදිද්දී නංගි අපි තුන්දෙනාගෙම සපත්තු පොලිශ් කලා. අපි කරන වැඩ දිහා බලන් හිටපු මල්ලි උදේට කෑම පෙට්ටියට දාන්න හදන සැන්ඩ්විචස් පාන් වලට බටර් තවරනවා.
💕අපි තුන්දෙනාගෙන් මුලින්ම විවාහ වෙන්නෙ නංගි. ඇගේ ප්‍රේම සම්බන්ධය අම්මට කියන්නත් පෙර ඇය මට පවසනවා. ඇගේ විවාහයේදී ඇයටත්, දෙමාපියන්ටත් වඩා නිදිමරාගෙන සේරම යුතුකම් මා ඉටු කරනවා. ඇය අදටත් කියන්නේ " No matter its my wedding I never had a pressure to arrange anything because akki did her best"
💕මල්ලි අපි දෙන්නටම වඩා අතිශයින්ම ස්වාධීන පුද්ගලයෙක් බවට පත් වෙන්වා. අවුරුදු විස්සක් ලබන්නත් කලින්ම කුඩා ව්‍යාපාරයක් කර වාහනයක් පවා කාගෙත් උපකාරයක් නැතුව මිලට ගන්නවා.
💕ඒ අතර අපි තුන්දෙනා ඇති තරම් ගහගෙන රණ්ඩු කර ගන්නවා.බැන ගන්නවා, තරහ වෙලා අපි ආයෙත් යාළු වෙනවා. අදටත් අපිට දැණෙනවා අපි වෙනස් මත දරණ එකම පවුලේ සහෝදරයන් කියලා. " Family is the heaven"
ඉඩෝරයට දිය බිඳක්
Copied from Ms. haya