24/08/2023
දළදා ඉතිහාසය පුරාම අලි කුලප්පුවීම් ගැන වාර්තා වෙනවා. ලංකාවේ අනිත් සාම්ප්‍රදායික ඉතිහාසයක් ඇති පෙරහැර සලකා බැලුවමත් ඔය හැම එකකම කුලප්පුවීම් සිද්ධවෙනවා. ඉතිහාසය දිග ඇරියොත් 1959 දි තමයි ප්‍රසිද්ධම දළදා අලි කුලප්පුව සිද්ධවෙන්නෙ. කතාවට කියනවා ගිනි අඟුරු වෙච්චි කොප්පරා පෑගිලා සිද්ධිය වුනේ කියලා. ප්‍රතිඵලය තමයි 15 දෙනෙකු මිය යෑමත් 125 කට අධික පිරිසක් බරපතල තුවාල ලැබීමත්. අවසානයේදි කාසල් පටුමග අසලදි පොලිසිය විසින් වෙඩිතබා රාජා නැමැති අලියාව ඝාතනය කිරීම.
මේ සිද්ධිය ගැන ඇන්ටන් ජෝන්ස් සිංදුවක් ලියනවා 'රම්‍ය මනහර දළදා මැදුර' කියලා. පෙරහැර ඉතිහාසයේ ගෝත්‍රිකත්වය කියවෙන හොඳම සටහනක් තමයි ඒ සිංදුව.
"ඇත්ගොව්වා මනප්පු
හොඳට බීලා කසිප්පු
හෙණ්ඩුවෙන් ඇණපු පාරට විය
අලියා කුලප්පු"
ලංකාවේ ඇත්ගොව්වන් කියාගන්න උන්ගේ කසිප්පු සම්ප්‍රදාය හා ඒ හා බැඳුනු පරපීඩක තත්වයන් ගැන ජෝන්ස් එහෙම ලියනවා.
76 පත්තිනි දේවාල පෙරහැර කුලප්පුව නිසා තවත් ඇතෙක් වෙඩිකාලා මැරෙනවා මාලිගාවේ පත්තිනි දේවාල වතුරමල ලඟදි.
92 දි කරඬුව වඩම්මන ඇතාගේ පිට උඩ රන්සිවිගෙය ගිනි ගන්නවා.
93 දි ආයේ කුලප්පු වෙනවා කුඹල් පෙරහැරේ කරඬුව වඩම්මන ඇතා. ඇතා කකුල් පැටලිලා ඇදන් වැටෙනවා. ඒ අවුරුද්දෙම රන්දොලි පෙරහැරේ කරඬුව වඩම්මන ඇතා කුලප්පු වෙලා දෑලේ ඇත්තුන්ට ගහලා කරඬුවත් අරන් දුවලා වැටෙනවා.
2014 දි කරඬුව ගෙනියන්නෙ ඉන්දි, දෑලෙ යන්නේ බුරුම රාජයි, වෑවලදෙණියේ රාජයි. දෑලේ ගිය බුරුම රාජා ඉන්දිට අනින නිසා අන්තිමේ කරඬුව විතරක් ගෙනියනවා දෑලේ ඇත්තු අයින් කරලා.
ඊට පස්සේ මෑතක වෙනවා 2019 දී සහ 2021 දි. මේ අවුරුද්දේ සිදුවීම තමයි ආසන්නම එක.
දැන් එතකොට මුන් 1959 ඉඳන් කුලප්පු වෙන්නෙ ලේසර් ගහලද ? ලේසර් කියලා පෙන්නන වීඩියො එකේ සලකුණු කරලා තියෙන ඒවානන් ලේසර් නෙමෙයි. ඒවා කැමරා කාචවලින් නිකුක් වෙන lense flare එක.
අලි කියන සත්තු කවදාවත් ගෘහස්ථකරණය කරපු සතුන් ජාතියක් නෙවෙයි. ගෘහාශ්‍රිතව පරම්පරාවක් හෝ දෙකක් ඉපදුනාට විද්‍යාත්මකව මේ සතුන් ගනන් ගැනෙන්නෙ හීලෑ කරන ලද වන සතුන් විදිහට. ගෘහස්ථකරණයෙන් මිනිසාට හිතකර චර්යා දක්වන්නන් සහ හීලෑ කිරීමෙන් ආක්‍රමණශීලි තත්වයන් යටපත් කර තිබීම කියන්නෙ දෙකක්. ඒ නිසා තමයි මද කිපෙන සමයේදි අවුරුදු ගානක් බලාගත්ත මනුස්සයෙක්ට වුනත් ලේසියෙන් ලංවෙන්න බැරි තරම් මේ සත්තු දරුණු වෙන්නේ. මද කිපෙන තත්වය වුනත් පෙර දැනුම්දීමක් ඇතිව වෙන දෙයක් නෙවෙයි. බොහෝ අවස්ථාවල පෙරහැර කුලප්පුවට හේතුව පෙරහැර අතරතුර මද කිපීම. නැතුව ලේසර් ගහලා නෙමෙයි.
දැන් මේ තලේබාන් අලි බෞද්ධයන්ට වෙලා තියෙන්නෙ ගලේ පහරපු බළලාගේ සිද්ධිය. මුතුරාජාව පන්සලක තියන් දස වද දීලා අන්තිමට ඌව දීපු බෞද්ධ රටෙන්ම ඇවිත් ටොක්කක් ඇනලම ආයේ සතාව අරන් ගියාට පස්සේ මේ නයිදෙලා ටික සෑහෙන බයකින් ලැජ්ජාවකින් ඉන්නෙ. ඊටත් වඩා ප්‍රශ්නය තමයි පහුවෙන දවසක් ගානේ මේ අම්බ ගෝත්‍රික, බුද්ධ දේශනාවට පරස්පර විරෝධි සම්ප්‍රදායෙන් දවසින් දවස බෞද්ධයො බැහැර වීම.
ඉස්සරනන් ඇත්තටම අලි කුලප්පු වහගත්ත එක කරේ. ප්‍රවෘත්ති යන්නේ පත්තරේ විතරයි,පත්තර ඉතින් කියන ඕන මගුලක් මිනිස්සු විශ්වාස කරනවා. දැන් හැම එකාම අතේ ස්මාර්ට් ෆෝන් තියෙන නිසා රියල් ටයිම් සිද්ධි යද්දි වහන්නත් බෑ. ලෝකයක් දකිනවා ගෝත්‍රික හැත්තගෙ හැටි.
අනිත් කාරණය තමයි ඔය අලින්ට ශ්වේද ග්‍රන්ථි හෝ ස්නේහ ශ්‍රාවි ග්‍රන්ථි පිහිටන්නෙ නෑ. ඒ කියන්නේ දහඩිය දැමීමෙන් ශරීර උශ්ණත්වය යාමනය වීමක් වෙන්නෙ නෑ. ශරීර ප්‍රමාණය පෘශ්ඨීය වර්ගඵලයට දක්වන අනුපාතය අනුව මේ සත්තු අනිවාර්යෙන්ම තමන්ගේ ශරීර උශ්ණත්වය පාලනය කල යුතු සතුන් කොට්ඨාසයක්. මේ හේතුව හින්දා තමයි පරිණාමයෙන් මේ සතුන්ගෙ හම රැලි වට්ටලා තියෙන්නෙ. රැල්ල තියෙද්දි පෘශ්ඨ වර්ගඵලය විශාල වෙනවා වගේම ජලය රඳවා ගැනීමේ හැකියාවක් එනවා සමතල පෘශ්ඨයකට වඩා. මේ හින්දා තමයි මේ සත්තු නිතරම ඇඟේ මඩ හෝ ජලය හලාගන්නේ. ඒවා හමේ රැලි මත රැඳිලා ශරීරය සිසිල් කරනවා. මීට අමතරව ශරීරයේ සංසරණය වෙන රුධිරය විශාල වර්ගඵලයක් තියෙන කන්පෙති හරහා සංසරණය වීමේදි සිසිලනය කරනවා. ඒක වෙන්නෙ ශරීර අභ්‍යන්තරේ සංසරණය වෙන රුධිරය බාහිරින් පිහිටන තුනී කොටසක් තුලින් ගමන් කිරීම නිසා සිදුවෙන සිසිලනයක්. කන්පෙති සලද්දි මේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිද්ධ වෙනවා.
දැන් හිතන්න මේ දර පෝරණුවක් වගේ ස්වභාවිකව රත්වෙන සතෙක්, සාමාන්‍ය ප්‍රමාණයට වඩා උණුසුම් කාළගුණයක් තියෙද්දි ඌට ස්වභාවිකව හිමිවුන සිසිලන පද්ධතියම වැහෙන්න ඝන රෙදි වලින් වහලා, කන්පෙති පවා වහලා, දෙපැත්තේ කොප්පරා රස්නෙත් එක්ක ගෙනියද්දි කුලප්පු නොවී තියේද කියලා. සාමාන්‍ය කපාල ධාරිතාවක් තියෙන එකෙක්ට මේ සරල කතාව තේරෙන්න ඕන. මේ ලඟදි ශෙයාර් වුන දවාලෙක යන හස්ථියෙක්ට බොන්න වතුර දුන්නම ඇඟේ හලාගන්න සංසිද්ධියම ඇති මේක තේරුම් ගන්න. මම පුදුම වෙන්නෙ නෑ මේ ඉදිරියේදි එන පෙරැහර සමයේදි මේ වගේ සිද්ධීන් වැඩිපුර වාර්තා වීමක් වුනොත්. ඒ නිසාම ඔය සත්තුන්ගෙ mobility එක තවත් සීමා කරලා දම්වැල දැමීමත් කරයි.
ඒ ඇරෙන්න කමිටු පත්කරලා, ලේසර් හොයන නාට්‍ය හොඳයි ඉතින් ඔය ගොබ්බයන්ටම. හැබැයි ඔය රෙදි ඔහොම රියල් ටයිම් කැඩෙන එක මරු. ලයිව් බලාගන්න පුළුවන් ලෝකෙටම රඟේ. 😂
ආ බයිද වේ.. 59 යේ සැප්තැම්බර් වල බණ්ඩා වෙඩිකනවා, 93 මැයිවල ප්‍රේමදාස මැරුම් කනවා, 2015 ජනවාරියේ පර්සි ගෙදර යනවා, 2022 ජුලි වල ගෝඨාව කනෙන් ඇදලා එලවනවා. අර කුලප්පුව පාලකයාට හොඳ නෑ කියන කතාවත් ඉතින් මේ විදිහට යනවා.
පහල පින්තූරේ තියෙන්නෙ 1959 දළදා පෙරහැර කුලප්පුවේදි වෙඩි තියලා මරලා දාපු අලියා.