29/09/2026
ඔබට රැකියාව එපා කරවන්නේ කවුද?
“මම මගේ Team එකේ හැමදෙනාටම හොඳින් සලකනවා. හැබැයි එයාලා මට පොඩ්ඩක්වත් Respect කරන්නේ නැහැ”
මගෙත් එක්ක Personal Coaching Session එකකට එක් වුණු තරුණ කළමනාකරුවෙක් ඉතා ම වේදනාවෙන් සඳහන් කළා.
“එයාල මට රස්සාව එපා කරවනවා”
ඔහුට තිබුණේ තදබල කලකිරීමක්.
තවත් ආයතනය තරුණියක් කියපු විදිහට,
“මට job එක එපා කරවන්නේ මගේ Manager”
රැකියා ලෝකයේ බොහොම ප්‍රසිද්ධ කතාවක් තමයි,
“Job එක එපා කරවන කෙනෙක් හැම ආයතනයකම ඉන්නවා” කියන එක.
මේක ආයතනික වැඩ සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. උසස් වැඩ සංස්කෘතියක් තියෙන ආයතනවල මේ අර්බුධය අඩුයි. ඔවුන්ගේ මානව සම්පත් කළමනාකරණ අංශ ඉතා ප්‍රභලයි. ඒ වගේ ම බලවත් සක්‍රීයයි. ඉතින් වැඩ කරන අයට එන පීඩනය අඩුයි.
ඔබත් මේ වගේ අය එක්ක වැඩ කරලා ඇති. සමහර වෙලාවට දැනටමත් වැඩ කරනවා ඇති. කොහොමද මේ තත්වයට මුහුණ දෙන්නේ?
1) වෘත්තීය සීමාවන් (Professional Boundaries) තබාගන්න
ඔවුන් සමඟ පෞද්ගලික සම්බන්ධතා පැවැත්වීම සීමා කරන්න. රාජකාරිමය වැඩකට පමණක් කතාබහ සීමා කරන්න. ඔබේ පෞද්ගලික තොරතුරු, රහස් හෝ ආයතනය ගැන ඔබේ අදහස් ඔවුන් සමඟ බෙදාගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.
2) අසුබවාදී කතාවලට එකතු නොවන්න
ඔවුන් අන් අයට අපහාස කරන විට, ඕපාදූප කියන විට හෝ නිතරම ආයතනයට බණින විට ඒ කතාවලට උදව් කිරීමෙන් හෝ අනුමත කිරීමෙන් වළකින්න. "මම මේ වැඩේ පොඩ්ඩක් ඉවර කරගන්න ඕනේ" වැනි කාරුණික හේතුවක් කියා එම ස්ථානයෙන් ඉවත් වන්න.
3) සියල්ල ලිඛිතව (Written Documentation) තබාගන්න
මෙවැනි අය බොහෝ විට තමන් කළ වැරදි අන් අය පිට පැටවීමට හෝ කියපු දේවල් වෙනස් කිරීමට දක්ෂය. එම නිසා, වැදගත් රාජකාරිමය තීරණ සහ උපදෙස් ඊමේල් (Email) හෝ ලිඛිත මැසේජ් මගින් තබාගැනීමට වගබලා ගන්න.
4) පුද්ගලිකව භාරගන්න එපා (Don't take it personally)
ඔවුන්ගේ නරක හැසිරීමට හේතුව ඔබේ වරදක් නොව, ඔවුන්ගේම මානසික අනාරක්ෂිතභාවය හෝ පෞද්ගලික අවුල් බව තේරුම් ගන්න. ඔවුන්ගේ කතාවලින් ඔබ කෝපයට පත්වන බව පෙනුනොත් ඔවුන් එයින් තෘප්තියක් ලබනවා. එම නිසා සැමවිටම ඉවසීමෙන් සහ සන්සුන්ව ප්‍රතිචාර දක්වන්න.
5) අවශ්‍ය නම් ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන්න
ඔවුන්ගේ හැසිරීම ඔබේ රාජකාරියට හෝ ආයතනයේ පරිසරයට දැඩි ලෙස බාධා කරන්නේ නම්, චිත්තවේගීය නොවී සාක්ෂි සහිතව ඉහළ කළමනාකාරීත්වයට හෝ මානව සම්පත් අංශයට (HR) කරුණු පැහැදිලි කරන්න.
අපට අන් අයගේ හැසිරීම් වෙනස් කළ නොහැකි වුණත්, ඒ සඳහා අප දක්වන ප්‍රතිචාරය පාලනය කරගැනීමට අපට පුළුවන්. ඔබේ අවධානය සගයන්ගේ නෙගටිව් වැඩ දෙසට නොව, ඔබේ වෘත්තීය සාර්ථකත්වය දෙසට යොමු කරන්න.